ලෝකයේ මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් තවත් දෙයක් තියෙනවද? ගෙවල්, කාර්වලින් ඒ සතුට ගන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

The Kids Voice France අවසන් වටය දක්වා පැමිණ ප්‍රංශයේ සිට වැඩ පෙන්වන හෙක්ටර් ඩයස්ගේ දියණිය ඩියෝනා කිරුළ දිනුවොත් ලෝකයම ඇය ගැනත් ලංකාව ගැනත් කතා කරාවි. සැක්සෆෝන් වාද්‍ය ශිල්පී සංගීත අධ්‍යක්‍ෂ සහ ගායන ශිල්පියකු වන හෙක්ටර් ඩයස් ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. වසර කීපයකට පෙරදි, මේරියන්ස් සංගීත කණ්ඩායමේ සිටි හෙක්ටර් අද කටයුතු කරන්නේ ඔහුගේම ඩී මේජර් සංගීත කණ්ඩායම සමගයි. ඊට අමතරව මියුසික් වීඩියෝ නිසා මිලියන ගණනක ප්‍රේක්‍ෂක ආකර්ශනයට නතුවූ හෙක්ටර් ගැන ලංකාවේ බොහෝදෙනා දන්නවා මෙන් ඔහුගේ දියණිය ගැන ප්‍රංශයේ බොහෝ දෙනා මේ දිනවල කතාවෙන බව කිව හැකිය. ද වොයිස් කිඩ්ස් වැඩසටහන නිසා ඩියෝනා ඩයස් වන ඇය ගැන ප්‍රංශය මෙන්ම යුරෝපයේ වැඩි දෙනා කතා වන බව සඳහන් කළ හැකිය. ප්‍රංශයේ ඉතා ජනප්‍රිය රියැලිටි ප්‍රාසාංගික මාලාවක් වන වයස 16 න් පහළ ළමුන් සඳහා විවර වූ 'The Voice Kids France' මෙවර පැවැත් වෙන්නේ 8 වැනි වතාවටය. 70,000 ක් පමණ වූ තරගකරුවන් අතරින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබන්නේ ඉතා සුළු පිරිසකි. ඒ අතරින් ද අර්ධ අවසන් වටය දක්වා තරග කිරීමට ලැබීම ජාත්‍යන්තර මට්ටමේ දුර්ලභ අවස්ථාවකි. ‘ඩියෝනා’ ඒ දුර්ලභ අවස්ථාව පසුකර යමින් මෙහි කිරුළ ලබා ගතහොත් මුළු යුරෝපය පමණක් නොව ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය ඇය ගැන කතා කරාවි. ඉතින් හෙක්ටර් ඩයස්ගේ මේ හැඩකාර දියණිය ජාත්‍යන්තර සංගීත වේදිකාවට සමීප වෙමින් සිටින මොහොතක ඇය සමග අපි කතා බහකට එක්වෙමු.

හෙක්ටර් සහ පාඨලි යුවළගේ ලොකු දුව ද මේ?

නැහැ, මම දෙවැනියා. මට අයියා සහ මල්ලි කෙනෙක් ඉන්නවා.

ඩියෝනා දැන් ඉන්නේ ප්‍රංශයේ. උපන්නෙත් ප්‍රංශයේ දී ද?

මම උපන්නේ 2007 අප්‍රේල් 13 ලංකාවේදී. වයස අවුරුදු 4 දි විතර අම්මයි, තාත්තයි තීරණය කළේ අපිව ප්‍රංශයට එක්ක යන්න. කොහොමටත් අම්මට ප්‍රංශය කියන්නේ අලුත් තැනක් නෙවෙයි. එයා හැදී වැඩුණේ සහ සරසවි අධ්‍යාපනය දක්වා ඉගෙන ගත්තේ සහ ඉන්පසුව රැකියාව කළෙත් ප්‍රංශයේදි. අම්මා ප්‍රංශයට මුලින්ම එද්දිත් එයාගේ වයස අවුරුදු 5 ක් වුණාලු. ඉතින් මම ආවෙත් අවුරුදු 4 දි. අම්මා වගේම මාත්, මේ දක්වා වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ ප්‍රංශයේ. අම්මා කියන විදියට අපේ පවුලම ප්‍රංශයට ආවෙම සංගීත කටයුතු සහ අපේ අධ්‍යාපන කටයුතු නිසයි. අම්මා උපාධිය අරගෙන රැකියාවක් කළත් දැන් කරන්නේ නැහැ. අපේ වැඩ සහ තාත්තාගේ ඩී මේජර් සංගීත කණ්ඩායමේ කළමනාකරණ කටයුතු කරන්නේ අම්මා. ඇත්තටම අම්මා රැකියාවක් කරනවාට වඩා අද රැකියා දෙකක් කරන තරමට කාර්යබහුලයි.

ඩියෝනා’ සංගීතය කරන්න හිතුවේ පවුලේ ආභාෂය නිසාද? නැත්නම් කැමැත්තට ද?

උපන් දවසේ ඉඳලාම මම දැක්කේ ඇහුවේ සංගීතය. හැදී වැඩුණේ සංගීත පරිසරයක. ඉතින් සංගීතයම තමයි ජීවිතය වෙලා තියෙන්නේ.

සංගීතය ඔස්සේ මොන වගේ දෙයක් කිරීම ද අරමුණ?

සංගීත ශිල්පිනියක ලෙස ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වෙන්න. ඒ ප්‍රසිද්ධිය මට විතරක් නෙවෙයි, මගේ උපන් රටටත් ලබා දෙන්න ආසයි.

ඒ ජාත්‍යන්තර ගමන යාමට වඩා පහසු ලංකාවේ හිටියොත් ද? ප්‍රංශයේ සිටියොත්ද?

මම හිතන්නේ ප්‍රංශයේ සිට මට මේ ගමන යන්න පහසු වේවි.

ඩියෝනා ප්‍රංශයේ ‘ද වොයිස් කිඩ්ස්’ රියැලිටි තරගයට ලාංකීය දැරිවියකට අවස්ථාව ලැබෙන්නෙ කලාතුරකින්ද? නැතිනම්, අවස්ථා තියෙනවද?

ඕනෑම කෙනෙකුට මේ රියැලිටි තරගයට සහභාගි වෙන්න බැහැ. මට මේ අවස්ථාව එක් රැයකින් ලැබුණු එකක් නෙවෙයි. අවුරුදු කීපයක් තිස්සේ තරගවලට සහභාගි වෙලා ආව ගමනක්. මෙම රියැලිටි තරගයට මුලින්ම 70,000 ක් පමණ ගැහැණු සහ පිරිමි ළමුන් ඉදිරිපත් වුණා. ඒ විදියට ආ පිරිසෙන් බ්ලයින්ඩ් ඔඩිෂන් එක දක්වා ඒම ඇත්තටම ලොකු වාසනාවක්. පූර්ව අර්ධ අවසන් වටයට 24 දෙනෙක් තේරී පත්වුණා. එයිනුත් 12 දෙනෙක් විතරයි අර්ධ අවසන් වටයට තේරුණේ. ඒ දොළහට මාත් ඇතුළත්. ඒක ඇත්තටම ලෝකෙට ගියා වගේ අවස්ථාවක්. අවුරුදු 7ක මහන්සියේ ප්‍රතිඵල තමයි අද මම ලබන්නේ. මේ වගේ තරගයකට ගිහින් තේරෙන එකක් නැහැ කියලයි හිතුවේ. ඒත් අම්මි තමයි මාව ධෛර්යවත් කළේ. මුලින්ම 90,000 ක් විතර අයදුම් කරලා තිබුණාම බයක් හිතෙන්නෙ නැද්ද?

කොහොම හරි ඔබට මේ තරගය නියෝජනය කරන්න වරම් ලැබුණාම, මුලින්ම ගැයුවේ මොන ගීත ද?

මාව තෝරා ගත්තාම ගීත තුනක් ගයන්න තිබුණා. එයින් එකක් ප්‍රංශ ගීතයක්. අනෙක ඉංග්‍රීසි ගීතයක්. අනෙක් එක සිංහල ගීතයක්. අමරදේව ශූරීන් ගැයූ ‘නිම් හිම් සෙව්වා’ ඒ ගීතයයි. විනිශ්චය මඩුල්ල වගේම අනෙක් බොහෝ දෙනාගේ අවධානය ලැබුණේ එම ගීතයටයි.

අද වන විට ඔබ මෙම තරගාවලියේ අවසන් 12ට ඇවිත්?

යුනිවර්සල් ස්ටුඩියෝ එකත් එක්ක කොන්ත්‍රාත් එකකට ගිවිස ගැනීමේ අපූරු අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තරයට ගියා කියන එක තමයි.

ඒ කියන්නේ මේ තරගය දින්නොත් ගෙවල්, කාර් වගේ දේ ත්‍යාග ලෙස ලැබෙන්නේ නැද්ද?

මෙහේ ගෙවල් දොරවල්, කාර් කියන ඒවා මිනිසුන්ට වටිනා දේ නෙවෙයි. හැමෝටම එක වගේ සම්පත් තියෙනවනෙ.

එහෙම නම් ඩියෝනාට වටින්නේ.

මට වටින්නෙ ලෝකයට යාමයි. ලෝකයේ මිනිස්සු අතරට යාමයි. ලෝක තරුවක් වීමට ලැබුණු මේ අවස්ථාව ඇත්තටම ගෙයක්, කාර් එකක් ලැබෙනවා වගේ නෙවෙයි, ඊට එහා ගිය සුවිශාල වාසනාවක්. ලෝකයේ මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් තවත් දෙයක් තියෙනවද? ගෙවල්, කාර්වලින් ඒ සතුට ගන්න බැහැ.

ඩියෝනා, රඟපෑමටත් ආසලු නේද?

ආසයි.

ලංකාවේ හොඳ ෆිල්ම්ස් හැදෙන කාලයක්නෙ මේ. ආරාධනාවක් ලැබුණොත්?

හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බාර ගන්නවා.

ටෙලි නිර්මාණයකට?

එ්ත් එහෙමයි, හොඳ නිර්මාණයක මට ගැළපෙන චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.

ලංකාවේ ගායක, ගායිකාවන් අතරින් ඩියෝනා වඩා කැමති.

බොහෝ දෙනාගේ සිංදු අහනවා. ඒ අතරින් ඩෙස්මන් ද සිල්වා, සුනිල් පෙරේරා, රුක්මණී දේවිය, අමරදේව ශූරින්, විජය කුමාරතුංගයන් වැනි ප්‍රවීනයින්ගේ ගීත අහන්න වැඩිපුර ආසයි. බටහිර ගායිකාවන් අතරින් විට්නි හූස්ටන්ගේ ගීත තමයි වැඩිපුර අහන්නේ.

එතකොට තාත්තාගේ ගීත අහන්නේ නැද්ද?

මගේ මුළු ලෝකයම තාත්තා. තාත්තයි, අම්මායි, අයියයි, මල්ලියි.  මගේ ලස්සනම ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදියටයි.

ප්‍රංශ ජනතාව ‘ඩියෝනාව’ දැන් හොඳින් හඳුනනවා ඇති?

දන්නා අයත් ඉන්නවා. මගේ පාසලේ බොහෝ දෙනෙක් මාව දන්නවා. ප්‍රංශයේ ජනතාව අතරින් සමහර අය මට මැසේජ් කරනවා.

ඩියෝනා මොන වගේ කෙනෙක් ද?

මම ඇත්තටම හරි සතුටින් ඉන්න කෙනෙක්. සිංදු කියන්න සතුටින් ඉන්න ආසයි. සමහර දවස්වලට දුක හිතෙන වෙලාවලුත් තියෙනවා. කවුරු හරි මට බැන්නොත් එහෙම ඒ වගේ දුක හිතෙනවා.

අපරාධ’ සොයා යන්න ආසයි කියලා අම්මා කිව්වා?

මම ආසයි 'Criminologist' කෙනෙක් (අපරාධ විෂය සම්බන්ධ විද්‍යාඥයකු) වෙන්න. ඒ නිසා ඒ විෂය හදාරනවා.

සඳුන් ගමගේ