ලොකු වැඩක් ගැන ලස්සන හීනයක් හිතේ තියෙනවා - Saman Alankara



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරයෙන් ඔව් ආදරයෙන් ස්තූතියේ සුවඳ තැවරුණු අලංකාර  මල් මිටක් මම අලංකාරගේ  දෑත් මත රඳවමි. ඒ සිංහල සිනමාව වෙනුවෙන් දරුවන්ගේ හද ගැස්මට සංවේදී වූ, දරුවන්ගේ ලෝකයට ස්නේහවත් ආමන්ත්‍රණයකින් ආමන්ත්‍රණය කළ සොඳුරු සංවේදී ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගත් සිනමා වියමනක් තෑගි කරන්නට සිනමා නිෂ්පාදකවරයෙක් වශයෙන් අලංකාර දැරූ ප්‍රසංශනීය ප්‍රයත්නය වෙනුවෙනි. සැබැවින්ම ලාංකික සිනමා ක්ෂේත්‍රය තුළ රංගවේදීන්ට, සිනමා අධ්‍යක්ෂවරුන්ට හිමිවන ඇගයීම සහ ගෞරවපූර්ව පිළිගැනීම චිත්‍රපට නිෂ්පාදකවරුන්ට එලෙසින්ම හිමිවේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් වුවත්, සිනමාව දියුණු කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය වූ ලෝකයේ බොහෝ රටවල ඇත්තේ ඒ හා සම්බන්ධව සුබවාදී පසුබිමකි.

එවන් වාතාවරණයක චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ රංගවේදියකු වශයෙන් දිගු ගමනක් වෙනුවෙන් අර්ථපූර්ණ සමාරම්භයක් සනිටුහන් කළ සමන් අලංකාර වෙනුවෙන් හදසර ඉඩහසරක් අප වෙන් කළේ හොරා අංකල් ළමා චිත්‍රපටය ආදරයෙන් ලාංකික දරු දැරියන්ගේ හදවත් රිදී තිරය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් හිඳින පසුබිමකය.

හොරා අංකල් නිෂ්පාදනයේ වගකීම දෙවුර දරාගත් ආදරණීය නිෂ්පාදකවරයා ඔබ. ඇයි හිතුණේ දරුවන් වෙනුවෙන් තිළිණ කළ චිත්‍රපටයකට වග වෙන්න?

මම දරුවන්ට හරි ආදරෙයි. දරුවන්ට සුවදායී හැඟීමක් දනවන, මානුෂිකව මනුස්ස හැඟීම් දිහා අසරණකම් දිහා බලන්න පෙළඹවීමක් ඇතිකරන මනෝවිද්‍යාත්මක පදනමක් සහිත නිර්මාණශීලී සිනමා නිමැවුමක් විදිහට තමයි මම හොරා අංකල් චිත්‍රපටය නිර්වචනය කර ගත්තෙ. ප්‍රවීණ ලේඛක නිහාල් පීරිස්ගේ තිර පිටපතේ අධ්‍යක්ෂවරයා වුණේ හර්ෂණ වික්‍රමසිංහ. සංගීතය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ. නිෂ්පාදනයෙදී මට තවත් නිෂ්පාදකවරයෙක්ගේ සහාය අවශ්‍ය වූ අවස්ථාවේ ආචාර්ය සුමින්ද ලොව් එම නිෂ්පාදන දායකත්වය මට ලබා දුන්නා. නම් ඔක්කොම නොකියුවත් දර්ශන තලයේ තේ කෝප්පය හදපු පුද්ගලයාගේ සිට සෑම කෙනෙක්ටම මම හදවතින්ම ස්තූතියි කියනවා. ජාති, ආගම්, කුල, පන්ති භේදයකින් වියුක්ත සහකම්පනයෙන් තව කෙනෙක් දිහා බලන්න, තේරුම් ගන්න පුළුවන් ආදරණීය ලෝකයක් අපේ ප්‍රාර්ථනාව නම්, දරුවන්ගේ හදවත් සොඳුරු ගුණ ධර්මතාවයන්ගෙන් පුරවාලීමේ වගකීම අප සතුයි. මම දෙවුර දැරුවෙ ඒ සමාජ වගකීම වෙනුවෙන් සිනමාමය වගකීමක්. මම ආසයි හැම දේකදිම බෙදෙන්න, වෙන් වෙන්න පුරුදු වෙච්ච ජාතිවාදී, ආගම්වාදී, පන්තිවාදී  මානසිකත්වයෙන් එහාට මානවවාදී චින්තනයකින් ලෝකය දකින මිනිස් සංහතියක් මේ ලෝකය තුළ දකින්න. ඒ විසල් ප්‍රාර්ථනාව වෙනුවෙන් අල්පමාත්‍රික හෝ දායකත්වයක් දුන්නා කියන සතුට අද මගේ හදවතේ හැම සියුම් ලේ නහරයකටම දැනෙනවා.

හොරා වුණත් දරුවන්ගේ ලෝකයෙදී එයා අංකල් වුණා. මේ දාරක මානසිකත්වය ඔබ කොහොමද සිනමාමය දෘෂ්ටියකින් දකින්නෙ?

දරුවන්ගේ ලෝකය නානාවිධ සමාජමය කාරණාවන්ගෙන් අවර්ණ වීමට පෙර ඒ ලෝකය සුදු කඩදාසියක් තරමට නිර්මලයි පිරිසිදුයි. හරි අකලංකයි. ඉතින් ඒ හිත්වලට ඒ මනුස්සයා හොරෙක් වුණෙත් කොයිතරම් මානුෂික හේතුවක් පදනම්වද කියලා ගැඹුරින් හිතන්න නොතේරුණත්, ඒ දරුවන් ඒ මනුස්සයා දිහා බැලුවෙ හරි ළෙන්ගතු හැඟීමකින්. ඔද්දල් නොවුණු ඒ දරු සිත් තමන්ගෙ අම්මා තාත්තා ඒ මනුස්සයාට හොරා කියද්දී ඒක එයාගෙ නම විදිහට අරගෙන හොරා අංකල් කියන ආමන්ත්‍රණය පාවිච්චි කරනවා වගේ පසුබිමක් තියෙන්නේ. ඇත්තටම වරද සාධාරණීකරණය කරන්න නොහැකි වුණත් කෙනෙක් වරදකට පෙළඹෙන පසුබිම තුළ කොයිතරම් මානුෂවාදී සමාජීය වශයෙන් සාධාරණ හේතු තියෙනවාද කියලා විමසන්නත් මේ චිත්‍රපටය අපිට කියලා දෙනවා.

හොරා අංකල් විඳි ආදරණීය රසිකාගාරයෙන් ඔබට ලැබෙන සංවේදී ප්‍රතිචාර මට කියන්න

කන්තලේ දී තාත්තා කෙනෙක් මේ චිත්‍රපටය බලලා හුඟාක් ඇඬුවා. ඒ තාත්තාට කතා කරගන්න බෑ, අඬ අඬා මට කියනවා අපේ දරුවෙකුට මෙහෙම වුණොත් මොකද කරන්නෙ කියලා හිතෙනවලු. ඒ අම්මාත් අඬනවා. දුප්පත්කම හුඟාක් දේවල් මනුස්ස ජීවිතවලින්, දරුවන්ගේ ජීවිතවලින් උදුරා ගන්නවා. ලස්සනයි, හරිම සතුටුයි මෙහෙම දෙයක් චිත්‍රපටයකින් කතා කළාට කියලා අන්තිමට ඒ තාත්තා කියනවා. ඇත්තටම ලංකාවේ දරුවෙක් යම් හේතුවක් මත අසරණ වුණොත් එහෙම ජීවිත යළි ගොඩනංවන්න ලංකාවේ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවාද කියන එක ගැඹුරු ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදය මැද්දෙ මහා සැප සම්පත් විඳින්න නෙවෙයි, හුස්ම අල්ලාගෙන ජීවත් වෙන්න මේ රටේ අම්මලා තාත්තලා කරන අරගලය හරි සංවේදීයි. තව ඇඹිලිපිටියෙ පොඩි දුවක් හොරා අංකල් බලලා කියනවා, මගේ අම්මා මට හැමදේම කරලා දෙනවා. ඒක මට හුඟාක් දැනෙනවා. මගේ තාත්තා රට. ඒත් තාත්තා ඈත රටක ඉඳන් මම වෙනුවෙන් කරන දේ මට හුඟාක් දැනුණේ හොරා අංකල් බැලුවට පස්සෙ කියලා. ඒ ප්‍රතිචාර හරි සංවේදීයි.

අරුන්දතී මං මනමාලයි... සමන් අලංකාර කියන වේදිකා නළුවා කොහොමද ඔබ දකින්නේ?

මම වේදිකා නාට්‍ය දෙක තුනකට කලින් රංගනයෙන් සම්බන්ධ වුණා. ඒත් මට වැඩිම රංග තෘප්තියක් ගෙනත් දුන්න, ප්‍රේක්ෂක ප්‍රතිචාර ගෙනත් දුන්න වේදිකා නාට්‍ය අරුන්දතී මං මනමාලයි. සුගත් ශාන්ත මොරගහකුඹුර ආදරණීය හිතවතා මේ මොහොතේ මම හුඟාක් ගෞරවයෙන් සිහිපත් කරනවා.

ලංකාවේ බහුතර ප්‍රේක්ෂක රසවින්දනය සහ ප්‍රේක්ෂකාගාරය අලංකාරට දැනෙන්නෙ කොහොමද?

ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයකට චිත්‍රපටයක් හැදුවට සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකාගාරය සමන්විත වෙන්නෙ ලක්ෂ 10ක් විතර. කලාව සහ කලාව සමඟ හදවතින්ම යා වෙන හිත් මම හිතන්නේ හරි සංවේදීයි, හරි ආදරණීයයි. ප්‍රේක්ෂකාගාරය තුළ වගේම මේ ක්ෂේත්‍රය තුළත් සුන්දර අසුන්දර මිනිසුන් ඉන්නවා. ඒත් කලාව කියන්නෙ න්‍යායන් ඔස්සේ පමණක් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. එය හරි ප්‍රායෝගික විෂයක්. මම විශ්වාස කරනවා සැබෑ කලාවේදියෙක් වෙන්න හොඳ සමාජ රස්තියාදුවක්, සහකම්පන ගුණයක්, සංවේදීත්වයක් කෙනෙක්ට තියෙන්න ඕනෑ කියලා.

ඉතින් හෙට දවසකත් සිනමාව ගැන ඔබ එක්ක කතා කරන්න අපිට මාතෘකාවක් අරගෙන එන්න බලාපොරොත්තුවක් ඔය හදවතේ තියෙනවාද?

ඇත්තටම ඔව්. කවදාවත් මම සිනමාවෙන් සහ කලාවෙන් දුරස් වෙන්නෙ නෑ. ඒක මගේ හුස්ම සහ ජීවිතය සමඟ යා වුණු හැඟීමක්. ලොකු වැඩක් ගැන ලස්සන හීනයක් හිතේ තියෙනවා. ඒ ගැන කතා කරන්න තාම කල් වැඩියි.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ