ලෝකෙ තියෙන උතුම්ම චරිතය රඟ දක්වන්න මට අවස්ථාව ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදාවූ වෙසඟේ අසිරියත් සමගින් ඒ සම්බන්ධව කතා කිරීමටත් සමගින්ම නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් සම්බන්ධ කරගන්න හිතුවා. ඒ කතාබහට ඔහු විශේෂ කර ගත්තෙ රංගනය වෙනුවෙන් ඔහු දායක වුණු මුල්ම රංගන අත්දැකීම සිදුහත් චරිතය වීමයි. ඒ අත්දැකීම සහ වෙසක් අසිරිය සම්බන්ධයෙන් රංගන ශිල්පි කැලුම් ශ්‍රී සැඳැල්ලට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

කැලුම් ශ්‍රී මෙවර වෙසක්වලට ලක ලැහැස්ති වෙන්නෙ කොහොමද?

බුදු හාමුදුරුවන්ගේ තෙමඟුල කියන්නෙ අපිට තියෙන උතුම්ම දවසනෙ. අපේ ධර්මය අපට ලැබුණෙ ධර්මය ඉපදුණේ එතැනින්. ඉතින් මේ වෙසක් දවසට මම දැන්නම් ඉන්න කැමති ගෙදර තමයි. ගෙදර කට්ටිය එක්ක කූඩුවක් හදාගෙන ටීවි එකේ යන බණක් අහගෙන නැත්නම් පන්සලකට ගිහින් මල් පහන් පූජා කරලා බෞද්ධයෙකු වශයෙන් ඒ දවස ගත කරන්න කැමැතියි. මුළු රටම ආලෝකමත් කරලා සමරන්න ඕනෑ දවසක් තමයි ඒ.  ඉතින් පසුගිය වසර කිහිපයක්ම රටේ තිබුණු තත්ත්වය එක්ක වෙසක් සමරන්ට අපට හැකියාවක් තිබුණේ නැහැනෙ. මෙවර නම්  යම් කිසි මට්ටමක හෝ සැමරීමක් රට තුළ සිද්ධ වෙනවනෙ. ඉතින් මම මෙවර මගේ බබාට ආදර්ශයක් ලබා දෙන්න එක්ක වෙසක් කූඩු ගෙදරම හැදුවා. වෙනත් අවුරුදුවල ගෙදර කූඩු හදන්න අවස්ථාව ලැබුණේ නැහැ. කූඩු ගෙනාවෙ වෙළෙඳපොළෙන්. ඉතින් මෙවර ඒ හැමදේම කරගන්න මට අවස්ථාව ලැබුණා.

කැලුම්ගෙ පුංචි කාලෙ වෙසක් මතකයන් කොහොම ද?

ඒ කාලෙ අපි වෙසක් බලන්න කියලා යාළුවොත් එක්ක කිලෝ මීටර් 10, 15 පයින්ම තමයි යන්නෙ. මම මහනුවරනෙ ඉන්නෙ. මගේ ගම පිළිමතලාව. පිළිමතලාවෙ සිට මහනුවරට කිලෝ මීටර් 10 ක් වගේ තියෙනවා. ඉතින් අපි යාළුවෝ ටික කරන්නෙ පිළිමතලාවේ සිට මහනුවරට පයින්ම යනවා. නැවතත් කිලෝ මීටර් 10 ක් වෙසක් බල බලා දන්සැල් කකා පයින්ම ගෙදර එනවා. ඇත්තටම කාලය ගත වෙනවා දැනෙන්නෙ නැහැ.

ඒ ගමන්  මගේ අමතක නොවන සිදුවීම් ඇති ?

ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි ඉතින්. අපිත් කොලු ගැටයො කාලෙනෙ. දන්සල් කකා තොරන්, කූඩු බල බලා සෙනඟ අතරෙ එද්දී ගෑනු ළමයි එහෙමත් ඉන්නවනෙ ඉතින්. ඒ සමහර තැන්වල දී අපි ඒ ළමයින්ට දුරකථන අංකත් දීලා තියෙනවා. ඇත්තටම ගෙදරින් එළියට පැන ගන්නෙත් ඒ දවස්වල ගොඩාක් අමාරු වෙන්නෙ. ඒ නිසා ඉතින් අපි ඒ සුන්දරත්වය හොඳින්ම වින්දා. 

ඒ මතකයන්වල සුන්දරත්වය එහෙම දකිද්දී පසු කලෙක ඔබ රංගන ශිල්පියෙකු වීම තුළ ලෝකයේ උතුම්ම චරිතය වූ සිදුහත් චරිතය වෙනුවෙන් රංගනයෙන් දායකත්වයට අවස්ථාව ලැබුණා නේද?

ඔව්. ඇත්තටම ලෝකෙ තියෙන උතුම්ම චරිතය රඟ දක්වන්න මට අවස්ථාව ලැබුණා. කලා ක්ෂේත්‍රයේ රංගනය තුළ ප්‍රධාන චරිතයක් වශයෙන් ප්‍රේක්ෂකයන් අතරට යන්න මුලින්ම අවස්ථාව ලැබුණේ මට ඒ චරිත රංගනය හරහා. ඇත්තටම ලෝකෙන්ම නළු නිළියන්ගෙන් ගත්තත් මේ චරිතය රඟ දක්වන්න ලැබිලා තියෙන්නේ සිමිත පිරිසකට, ඒ පිරිස අතරින් මට වාසනාව ලැබුණා. එවැනි උතුම් චරිත රංගනයකට යන්න. ඇත්තටම බෞද්ධයෙක් විදියට මට මාරම භාග්‍යයක් ඒ ලැබුණු අවස්ථාව.

මේ චරිත රංගනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් ඇති ?

කැප කිරීමක් කියන්නෙ මම මුලින්ම නම් මේ අවස්ථාව ලැබෙද්දී ටිකක් බය වුණා. මොකද ඒ චරිතයට රූපෙන් හෝ කිසිවකින් සමකරන්න මෙලොව කිසි කෙනෙකුට බැහැ.

ඉතින් එවැනි චරිත රංගනයකට හෝ සම්බන්ධ වීම මටත් ප්‍රශ්නයක් වුණා. නමුත් මට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෑ කියන තැන මම හිටියා. කොහොමත් මම පුංචි කාලෙ ඉඳන් වගේ ඒ කියන්නේ අවුරුදු 12 දී 13 වගේ පටන්ම නිර්මාංශිකයි. මස් මාංශවලින් තොරවෙලා හිටියෙ. ඇත්තටම මම විශ්වාස කරනවා ඒ පිනම තියෙන්න ඇති මෙවැනි චරිත රංගනයකට මට සම්බන්ධ වෙන්නට ලැබීම සම්බන්ධයෙන්. ඒ රංගනය තුළ මට අත අරින්න වුණේ යාළුවොත් එක්ක සාදවලට සම්බන්ධවීම් වගේ දේවල් තමයි. විශේෂයෙන් ‘සුරාමේරය’ රකින්න වුණා. ඒ කාලෙදී මම ඒ කිසිවක් ලබා ගන්නෙ නැහැ. චරිතය වෙනුවෙන් කැපවුණා. ඒ හැමදේම තුළත් මේ චරිත රංගනය සාර්ථක කරගන්න හැකි වුණා.

ලැබුණු ප්‍රතිචාර ගැනත් කියමු?

ඇත්තටම මේ චරිත රංගනය ආරම්භයේ සිටම යහපත් වූ ප්‍රතිචාර තමයි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණෙ.
මම මේ චරිතය වෙනුවෙන් සම්බන්ධ වුණේ 2016 වසරේදී. එදා ඒ ආරම්භ කරපු ගමන අද දක්වාම යහපත් ප්‍රතිචර එක්ක තමයි මෙතෙක් ගමනක් එන්න ලැබුණෙ. අදත් මට ඒ චරිතයේ වීඩියෝ දර්ශන ඒ ඡායාරූප දකිද්දී මාරම සතුටුයි. එවැනි චරිතයක් කිරීමට සුදුසු විදියෙ යම් හෝ රූපයක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ දේ මට ලැබෙන්න ඇත්තෙ පෙර පිනකට හෝ වාසනාවකට කියලා තමයි මම විශ්වාස කරන්නෙ.

ධනු විජේරත්න