ලොකු ඇරියස් එකක් කවර් කළා කියලයි මට දැනෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තබමින් ප්‍රේක්‍ෂක හදවත් තුළ ලැඟුම්ගත් දක්ෂ ආකර්ෂණීය කලා තරුවක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඒ ආදරණීය කලා ශිල්පියා බුද්ධික ජයරත්න. 

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂවරයාගේ නවතම සිනමා නිර්මාණය ‘‘මිදුණු විශ්වය’’ තුළින් ඔබ රිදී තිරයට එනවා. ඒ ගැන මුලින්ම කතා කරමු ?

ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ හැමදාත් වෙනස්ම ආකෘතියේ නිර්මාණ බිහි කරපු අධ්‍යක්‍ෂවරයෙක්. ඉතින් ඒ හැම නිර්මාණයක් වගේම මෙවරත් ප්‍රේක්‍ෂකයන්ට විශිෂ්ට ගණයේ අපූර්වතම නිර්මාණයක් සකස් කරලා තියෙනවා. යුග දෙකක් සම්බන්ධ කරමින් ගොතපු හරි ලස්සන ආදර කතාවක් තමයි ‘‘මිදුණු විශ්වය’’ කියන්නෙ. ප්‍රේක්‍ෂකයෝ ඉතාමත් ආදරෙන් මේ නිර්මාණය වැළඳගනියි කියන දේ මට ගොඩක් විශ්වාසයි.

මේ තුළ ඔබේ රංගන දායකත්වය ගැන කතා කළොත් ?

මම ලොකු ඇරියස් එකක් කවර් කළා කියලා මට දැනෙන්නෙ. මගේ රංගන ජීවිතේ මට හරි පිපාසයක් තිබුණා. ඒ මිදුණු විශ්වය නිර්මාණය තුළ මට ලැබුණු ඩන්කන් චරිතය වගේ චරිතයක් රඟ දක්වන්න. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණෙම නැහැ. මම හිතන්නෙ ලෝකෙ නළුවෙකුට හෝ නිළියකට තමන් කැමතිම විදියෙ රංගනයන් ඉදිරිපත් කරන්න ලැබෙන අවකාශය ගොඩක් අඩුයි. යම්කිසි ප්‍රමාණයක් හරි ලැබෙනවනම් ඒක ඇත්තටම විශාල සතුටක්. ඉතින් මට මේ නිර්මාණය තුළින් ඒ අවස්ථාව උදා වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම මේ නිර්මාණය සහ චරිතය මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂයක් විදියට මම දකිනවා. 

ඩන්කන්ට ලැබුණු ප්‍රතිචාර කොහොම ද? 

මම හැම තිස්සෙම හිතනවා අපි චිත්‍රයක් ඇන්දම ඒ චිත්‍රයට අගයක් දෙන්නෙ ඒ චිත්‍රය බලන කෙනා කියලා. එය රංගනයෙ දී, අධ්‍යක්‍ෂණයෙ දී වගේම බොහෝ කාර්යයන් තුළ සිදුවන දෙයක්නෙ. ඉතින් අපි රංගන ශිල්පීන් විදියට අපි ගොඩනඟන දේට අගයක් ලබා දෙන්නෙ ප්‍රේක්‍ෂකයො. ඉතින් රංගන ශිල්පියෙක් විදියට චරිතයක් ගොඩනඟද් දී එය ඉතා අවංකව තෘප්තියකින් තමයි ගොඩ නඟන්නෙ. ඒ තුළ එහි ප්‍රතිඵලයක් වගේම විශාල ජයග්‍රහණයක් තියෙනවා. ඒ සියල්ල මත ප්‍රේක්‍ෂක අගය වැඩිවෙන්නෙ. ඇත්තටම මේ සිනමා නිර්මාණය තවම සීමිත සංඛ්‍යාවක් තමයි නැරඹුවෙ. මොකද මාධ්‍ය දර්ශනයනෙ පසුගියදා පැවතුණෙ. ජුනි 22 සිට තමයි මෙය ප්‍රේක්‍ෂකයන්ට විවෘත වෙන්නෙ. නමුත් මෙය නැරඹූ අයගෙන් ලැබුණෙ ඉතා ඉහළ ප්‍රතිචාර. මම හිතනවා මෙය ඉතා සාර්ථක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක් කියලා. 

උදාරි, උද්දික සහ ඔබ සිනමාව තුළ විශේෂ කතාබහට ලක් වූ තිදෙනෙක්. ඔබ තිදෙනා මේ නිර්මාණය තුළ එකට එක්ව රංගනයෙන් දායක වෙනවා. මේ සම්බන්ධතාව ගැන කතා කළොත් ?

ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනැ උද්දික කියන්නෙ තමන්ගේ දක්ෂතා ඉතාමත් සූක්ෂම ලෙස ජනතාවට පෙන්නුම් කර විශ්වාසනීයත්වය ලබාගත් රංගන ශිල්පියෙක්. ඒ විශ්වාසය හැමෝටම ලබාගන්න හැකියාවක් නැහැ. ඒ වගේම උදාරි කියන්නෙ දක්ෂකම සහ වාසනාව දෙකම අරගෙන ආපු රංගන ශිල්පිනියක්. ඉතින් මේ දෙදෙනා එක්ක මම මේ නිර්මාණය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් එකතුවෙලා හිටියත් අවාසනාවකට වගේ උද්දික සහ මට මෙහි එකට එක්ව රංගනයේ යෙදෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ අපි දෙන්නා ගත කරන්නේ මේ නිර්මාණය තුළ කල්ප වාසයන් දෙකක. නමුත් ඉතින් මේ දෙදෙනාගේ රංගනයන් ගැන කතා කළොත් නම් ඉතා 
 විශිෂ්ට රංගනයක් මම මේ තුළ දකිනවා. අධ්‍යක්‍ෂවරයාගේ මෙහෙයවීම යටතේ තම චරිතය ප්‍රතිනිර්මාණය කරද්දි තම තමන්ගේ රැකියාව හරි විදියට කරලා තියෙනවා කියන දේ විශ්වාසයෙන් කියන්න පුළුවන්. මම හිතන්නෙ මේ චිත්‍රපට කණ්ඩායමේ සියලුම දෙනාගේ සාර්ථකත්වය මම දැක්කා. අද ලැබෙන ප්‍රතිචාරවලින්ම එය වඩාත්ම පැහැදිලියි. 

මේ නිර්මාණය සමඟ ඔබට එක්වීමට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම සතුටුයි. මම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘‘හතර දෙනෙක් සෙන්පතියෝ’’ නිර්මාණය එක්ක තමයි මුලින්ම එකතු වුණේ. ඒ ටෙලි නිර්මාණය වෙනුවෙන් මම සම්බන්ධ වුණේ මීට අවුරුදු එකොළහ හමාරකට පෙරදි. ඒ තුළින් මට රංගන ජීවිතේ පළමු සම්මානයත් ලබාගන්න හැකියාව ලැබුණා. සම්මාන දෙකකටම පාත්‍ර වුණා. ඒ රංගනයෙදි තමයි මට තේරුණෙ රඟපෑම කියන්නෙ විෂයක් සහ එය හැදෑරිය යුතු දෙයක් කියලා. එහෙම හිතලා රංගනය ඕනෑකමින් කරන්නෙ කොහොමද කියන දේ තුළ හිටියා. ඒ නිසාම ඒ නිර්මාණයෙන් පසුව මම නැවතත් ඔහු එක්ක වැඩ කරන්න ලොකු කැමැත්තකින් සහ පෙර සඳහන් කළා වගේ දැඩි පිපාසයකින් හිටියෙ. නමුත් මට නැවතත් ඔහු එකක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මඟ හැරුණා. නමුත් අවුරුදු එකොළහ හමාරකින් පසුව මට නැවතත් ඔහු එක්ක වැඩ කරන්න දෛවය ඉඩ සැලැස්වූවා. ඒ ආදරණීය අවස්ථාව මම ආදරෙන් වැළඳගත්තා. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි සුදුසු දේ සුදුසු වෙලාවෙදි ලැබෙයි කියන දේ. ඉතින් මට අවුරුදු එකොළහ හමාරකට හෝ පසුව මේ ලැබුණු අවස්ථාව මාරම වටිනවා. ඉතින් හරිම සතුටුයි ඒ සම්බන්ධව. 

මේ නිර්මාණය හරහා පමණද ඔබ දැක බලාගන්න පුළුවන්? 

මම සම්බන්ධ වුණු නිර්මාණ 3ක් තියෙනවා. ශ්‍රී සිද්ධා සහ සීරුවෙන් තුළිනුත් දැකගන්න පුළුවන්. ඊට අමතරව පුංචි තිරයේ නිර්මාණ කිහිපයක් සමඟත් එකතු වෙලා ඉන්නවා. ඒ තුළ පසුගිය කාලයේ මම කැමතිම විදියෙ චරිත රංගනයකින් එකතු වෙලා හිටියා. ඒ තුෂාරි අබේසේකර මහත්මියගෙ ‘‘චන්දෝලි’’ නිර්මාණය හරහා. ඒ වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් නිර්මාණ කිහිපයක් කරගෙන යනවා. මේ සියල්ල තුළ මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ නම් සිනමාවට තමයි. ඒ වෙනුවෙන් අලුත් නිර්මාණ දෙකකට කතා කරලා තියෙනවා. ඉදිරියෙදි ඒවට පුළුවන් විදියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. 

ධනු විජේරත්න