රස්සාවෙන් ඉංජිනේරුවෙක් වුනත් වැඩි කැමැත්ත ගායනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුදු දිය දහරකි ඔබේ වදන්
පිරිමදිනා සිත කය පුබුදා
ඈත මෑත සිට මා අමතන්නී...

අසෙනිය කුසුමකි මට වදදුන්
ලෙන්ගතුකම් දුක අස්වසනා
කටුක වටපිටාවේ ගිනි මුදනා
වැහිපතනය සේ ඔබ පැමිණේ

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ලියා රංජිත් ප්‍රේමවීර ගේ සංගීත නිර්මාණයෙන් ඉමිහිරි වූ මේ ගීතය ගයන්නේ ෆියස් මිස්කින් නමැති ගායන ශිල්පියෙකි.
වත්මන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ඔහු වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවෙකි.
එහෙත් ඔහුගේ හදවත සංගීතයට ඇලී බැඳී තිබේ. ඒ ලංකාවේ වෙසෙන සමයේ සිටමය. මහරගම උපන් ඔහු බොරැල්ලේ වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහුගේ සංගීත ඇල්ම වැඩිවූයේත් දැනුම වර්ධනය වූයේත් පාසලේදීමය. ඔහු එකල පාසල් තූර්ය වාදක කණ්ඩායමේ එකෝඩියන් වාදකයා වූයේය.

එසේම විද්‍යාලයේ කලා කටයුතු වලදී මුල්තැන ගත් ඔහු සාහිත්‍ය සංගම් වේදිකාවේදී මෙන්ම විවිධ ප්‍රසංග වලදීද ගීත ගායනා කළේය.

ඔහුගේ ගී හඬ සිත නිවද්දී පාසලේ දඟකාර කොල්ලන් වුවද මීක් හඬක් නැතුව මිස්කින්ගේ ගී හඬට වසඟව සිටියේය.

ගුණදාස කපුගේ, සෝමතිලක ජයමහ වැනි ගායන ශිල්පීන්ගේ ගී ගැයූ ඔහු ඒ ගීත වලට නව පණක් දෙන්නට සමත්වූයේය.

මිස්කින් ඊළඟට මොරටුව සරසවියට ඇතුළත් විය. හැදෑරුවේ යාන්ත්‍රික පාඨමාලාවක් වුවද කලා සංගමයේ සඟරා සංස්කාරක වූයේ ඔහුය. පාරිසරිකයෝ, විමංසා වැනි විවිධ විෂයක සඟරා පළකරන්නට ඔහු ප්‍රමුඛ සංස්කාරක මඩුල්ල සමත්වූහ. මිස්කින් ඒ කාලයේද සංගීතය සහ ගායනය අමතක කළේ නැත. මොරටු සරසවියේ ඉංජිනේරු පීඨය ස්වරමධු නමින් කලා උළෙලක් සංවිධානය කරද්දී, මිස්කින් ද එහි ගායකයකු විය.

‘‘මුලින්ම මම ගායනයට යොමුවුණේ අවුරුදු 15 දී. මගේ තාත්තාත් ලස්සනට සිංදු කිව්ව කෙනෙක්. තාල භාණ්ඩ වාදනයට වගේම හින්දි ගීත කියන්නත් තාත්තා බොහෝම දක්ෂයෙක් වුණා. ඔය ආභාෂය නිසා තමයි මමත් ගී ගයන්න පුරුදු වුණේ. මං ඒ කාලේ නිතරම ගයන්නේ මනමාල ගිරව්.. ගීතය.’’

මිස්කින් ඔහුගේ අතීත මතකයේ කිමිදෙන්නේය.

‘‘ඉන් පස්සෙ මම විශාරද එඩ්වඩ් ජයකොඩිගෙන් ගායනයත් බටනලාව සහ වයලීනය සරත් ජයරත්නගෙනුත් තාල භාණ්ඩ වාදනය විජේරත්න රණතුංගගෙන් ඉගෙන ගත්තා. මම මගේම ගීතයක් ගායනා කළේ මේ විදිහට හැදෑරීමකින් පස්සෙ.’’

මිස්කින්ගේ පළමු ගීතය ජනගත වූයේ 2018 වසරේදීය. නාලක අංජන කුමාරගේ සංගීතයට එහි පද ලියා ගත්තේ ඔහුමය. ඉනික්බිති තව තවත් ගී ගැයූ ඔහු මේ වනවිට ගීත 11 ක් ජනගත කර තිබේ. මේ දිනවල තවත් ගීත හයක වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතී. රඹුකන සිද්ධාර්ථ හිමි, මහින්ද චන්ද්‍රසේකර, සුනිල් ආර්. ගමගේ, වසන්ත කුමාර කොබවක, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, රත්න ශ්‍රී විජේසිංහ, කුලරත්න ආරියවංශ වැනි ගී පද රචකයන් මිස්කින්ට ගී ලියා තිබේ.