රුසියාවට ලියලා යවපු කවිය අවසානයේ ලස්සන සින්දුවක් වුණා - යමුනා මාලනී පෙරේරා
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන අප කුඩා කල සිටම අසා ඇත. එනිසාමදෝ නිරන්තර පතපොත ඇසුරට ප්‍රිය මිනිසුන් හා ඇසුර ඉතා ප්‍රියමනාප දෙයක් වේ. ඇය කුඩා කළ ඇගේ නිවස තුළද මේ කියවීමේ පුරුද්ද සහිත අය බොහෝ සිටින අතර අත්තම්මා හා පියා ඒ අතර ප්‍රධානය. ඒ වටිනා පුරුද්ද ළමා වියේ සිටම ඇයටද උරුම වූ නිසාම ඇය අද වනවිට නූතන ගජමන් නෝනා ලෙස ශ්‍රී ලාංකේය කලා රසික සිත්වල ආදරය ගෞරවය නිරතුරු හිමි කරගන්නට තරම් වාසනාවන්ත වූවාය. කිවිඳියක, ගී පද රචිකාවක, ලේඛිකාවක ලෙස තම පන්හිඳෙන් අප සිත් තුළ නෙක රටා මවන ඇය යමුනා මාලනී පෙරේරා නම් වන්නීය. අද හදසර අපේ කතාබහ ආදරණීය ඇය සමඟය.
මම ඉපදුණේ ගාල්ලෙ. ඉතා සුන්දර ගමක. අද කොළඹ ආශ්‍රිතව ජීවත් වුණත් ගම කියන්නෙ මට හැමදාම ආදරණීය ළෙංගතු නවාතැනක්. මගෙ තාත්තා හිටපු රක්ෂණ සංවිධායකවරයෙක්. අම්මා ගෘහණියක්. අපේ ගෙදර සහෝදර සහෝදරියන් පස් දෙනෙක් අතර මම තමයි දෙවැනියා. මම පාසල් ගියේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. උසස් පෙළ දක්වාම ඉගෙනගත්තේ සංඝමිත්තාවේ. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නෙ විද්‍යා අංශයෙන්. සාමාන්‍ය පෙළට මා ලැබූ ප්‍රතිඵලය තමයි ඒ සඳහා හේතු වුණේ. ඉතින් මගේ තාත්තා හරිම කැමැත්තෙන් හිටියේ මම වෛද්‍යවරියක් වෙනවා දකින්න. නමුත් කුඩා කාලේ සිටම කලාවට සාහිත්‍යයට මගේ තිබුණ ආදරය කැමැත්ත නිසාම වෙන්නැති අද මම මෙතැන රැඳී ඉන්නේ. උසස් පෙළ ප්‍රතිඵල වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න තරම් නොවුණ නිසාම පසු කලෙක මම ගිණුම්කරණ පාඨමාලාවක් හැදෑරුවා. එනිසාම මට DSI ආයතනයේ ගිණුම් අංශයේ රුකියාවක් ලැබුණා. වසර 30ටත් වැඩි කාලයක් මා එහි සේවයට එක්වුණා.
කවිය ඇයගේ ආරම්භය විය. කුඩා වියේදී හඳ මාමා ගුවන් විදුලි වැඩසටහනට සවන්දෙන අතර ඇයටද කවියක් ලියා යවන්නට හිතක් පහළ විය. මන්ද මේ වනවිටත් කියවීමේ පුරුද්දට ඇබ්බැහිව සිටි ඈට ලිවීමේ හැකියාවක්ද තමා වෙත ඇතැයි දැනී තිබුණ නිසාය. ඇය තම කැමැත්ත පියාට පැවසුවාය. තාත්තා එතරම් කැමති වුණේ නැහැ. මොකද මේ දේවල්වලට යොමුවීමෙන් අපේ අධ්‍යාපනයට බාධා වේවි කියලා. නැත්නම් මගේ තාත්තත් හරියට සාහිත්‍යයට ලැදියි. විවේක වෙලාවට කළේම පතපොත කියවීම. ඒ වගේම මට මතකයි ඉස්සර මගේ අත්තම්මා හරියට බණ පොත් කියවනවා. විශාල පොත් පෙරළගෙන අත්තම්මා ඒවා කියවද්දී මම කියනවලු ඉන්නකො මම අත්තම්මා කියවන පොත්වලට වැඩිය ලොකු පොත් ලියනවා කියලා. ඒ තරමටම ලේඛනයට, පොත පත පරිශීලනයට මගේ කැමැත්තක් තියෙන්න ඇති. ඒ පුංචිම කාලෙදි පවා. ඉතින් තාත්තා එපා කියද්දීත් මම ඇවිටිලි කළේ ඒ කැමැත්ත නිසාම වෙන්නැති. පස්සේ එහෙනම් මෙන්න මේකෙ කවියක් ලියලා දෙන්න කියලා තාත්තා මට පෝස්ට්කාඩ් එකක් දුන්නා. මම කවි දෙකක් ලිව්වා. ගොවියෙකු ගැන තමයි ඒ කවි දෙකෙන් කියවුණේ. තාත්තා මේක අරන් ගිහින් තැපැල් කළා. ඉතින් එදා ඉඳන් මම තවත් උනන්දුවෙන් හඳ මාමා අහනවා. ඔහොම දවසක් රේඩියෝවට කන තියාගෙන අහන් ඉද්දි එක සැරේටම මගේ නම කියලා කවිය කිව්වා. සුමනා ජයතිලක මහත්මිය තමයි මගේ කවිය කිව්වේ. එතුමිය සමග ලැම්බට් පෙම්මාවඩු මහතා ඒ වනවිට හඳ මාමා ඉදිරිපත් කළේ. හඳ මාමාගෙන් ඇරඹි ගුවන් විදුලියයට ලිවීම දශක කිහිපයක් මා ඉතා ආශාවෙන් උනන්දුවෙන් කළා. මට මතකයි එදා මගේ කවිය ගුවන් විදුලියෙන් ඇහෙද්දී තාත්තාගේ ඇස්වලටත් කඳුළු ආවා. ඒත් තාත්තා ඒ වෙලාවෙත් කිව්වේ දැන් ඇති පුතේ. ඉගෙනීමට හිත යොමුකරන්න කියලා. නමුත් මට ලිවීමේ ආශාව නැතිවුණේ නැහැ.
ඒ කාලෙ මගෙ සටහන් පොත්වල අවසාන පිටුවේ මම ගොඩක් දේ ලිව්වා. හැබැයි කාටවත් පෙන්නුවේ නැහැ. ඒ වගේම මේ කාලයේ මගේ හිතට එන විවිධ දේ ලියන්න වෙනම පොතක් මා යොදාගත්තා. ඒකත් කාටවත් නොපෙනෙන්න තමයි තියාගත්තේ. පොත් රාක්කයේ යටම තමයි තිබුණේ. අදහස් පොත නමින් වූ මේ පොත ගැනත් ඇගේ මේ ලිවීමේ උනන්දුව ගැනත් ඈ ලියූ ඉත සිතින්ම යොවුන් නවකතාව තුළ සටහන්ව ඇත. පාසලේ පහ ශ්‍රේණිය පමණ වනවිට රචනා ලිවීමට ඈ සතුව තිබුණේ විසල් හැකියාවකි. ඇයට සිංහල සාහිත්‍යය ඉගෙන ගැනිමට කැමැත්තක් තිබුණත් සාමාන්‍ය පෙළ විභාගයේදී ලද ප්‍රතිඵල මත ඇයව තෝරා ගැණුනේ විද්‍යා විෂය ධාරාවටය. එහෙත් ඇය පොත් කියවීම අත් නොහැරියාය. තාත්තාට ඇවිටිලි කොට පුස්තකාල සාමාජිකත්වයත් ලද ඇය අධ්‍යාපන කටයුතු අතරමැද කියවීමද දිගටම කරගෙන ගියාය. තාත්තා උපදෙස් දුන්නේ බොළඳ නවකතා නොකියවන ලෙසය. කොග්ගල මහා ප්‍රාඥයා යැයි විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය, ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය ඇය ප්‍රියකළ ග්‍රන්ථ අතර ඉදිරියෙන්ම තිබුණි. උසස් පෙළට ලියා ප්‍රතිඵල එනතෙක් නිවසේ සිටි කාලයේ ඇය නැවත ගුවන් විදුලියට ලිවීම ඇරඹුවාය. ලාලන රේඛා, ශනිදා සාදය, කාන්තා කළඹ, මලක මහිම, පසන් නිවස ආදී වැඩසටහන්වල ඈ ලියූ දෑ නිතර ප්‍රචාරය විය. ගාල්ලේ, බ්‍රවුන්ස් පාරේ යමුනා මාලනී ද සිල්වා යනු එවක ගුවන් විදුලි ශ්‍රාවකයා අතරද ජනප්‍රිය වූ නාමයකි. නිතර ඇගේ නිර්මාණ ගුවන් විදුලිය ඔස්සේ ඇහෙද්දී ඇගේ ලිපිනයදටද ලිපි ලැබෙන්නට විය. ඒ අතර ශ්‍රාවක ජනයා සේම මෙරට කලා ලොව සුප්‍රසිද්ධ පුද්ගලයින්ද ඒ අතර විය
මට මතකයි ධර්මසිරි ගමගේ මහතා, බොබී බී. බොතේජු, කේ.ජී. ජිනසේන වැනි අයත් මට ලිපි එව්වා. ජිනසේන මහතා කියා තිබුණා පොතක් කරනවා නම් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් පවා කරන්නට හැකියි කියලා. ඒ වගේම ධර්මසිරි ගමගේ මහතා ලියා එවා තිබුණා ඔබේ ලේඛන කලාව ඉදිරියට කරගෙන යාමට හැකියි. ලේක්හවුස් ආයතනයට පැමිණ ඔහුව හමුවන්න කියා. මම තාත්තට මේ ගැන කිව්වා. තාත්තත් සතුටු වුණා. මොකද ඒ වෙද්දිත් එතුමා ගැන අසා තිබුණා. ඉතා හොඳ මහත්මයෙකු කියා. මේ අතරෙදි තමයි මට DSI ආයතනයේ රුකියාව ලැබුණේ. ඉන්පසු මම ගිහින් ධර්මසිරි ගමගේ මහතාව හමුවුණා. එතුමා ආරම්භ කළා යොවුන් ජනතා පුවත්පත. ඉතින් මමත් එයට ලිව්වා. මා වගේම තව බොහෝ දෙනෙකු පහන් වැට නිසා තමන්ගේ නිර්මාණ දිවියට ආලෝකයක් ලබාගත්තා. බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම්, අනුර බී. සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, හේජිත් මල්ලියවඩු, පුෂ්පා ඉලංගන්තිලක ආදී තව බොහෝ දෙනෙක් ඉන්නවා. මට මතකයි දවසක් මා ලියූ කවියක් පිළිබඳ අගයමින් අනාගත ගී පද රචිකාවියකගේ ලකුණු පෙන්නුම් කරනවා යැයි ධර්මසිරි ගමගේ මහතා සටහනක් ලියා තිබුණා. ඒ වගේම අපිට අනෙකුත් පුවත්පත්වලටත් ලියන්න කියලා එතුමා කිව්වා. මම කවි පිටුව තෝරන්නත් එකතු වුණා. මේ විදියට කලක් යද්දී එතුමාම තමයි මට කිව්වේ පොතක් කරන්න කියලා. ගොඩගේ මහතා හමුවී ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරගෙන යන්නට පවා එතුමා මැදිහත්ව උපදෙස් ලබා දුන්නා. ඒ අනුව තමයි 1991 වසරේදී මගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය ණයට ගත් සාජ්ජය එළි දැක්වූයේ. ඈ කිවිඳියක ලෙස නිර්මාණ දිවියට පිවිස දශකයකටත් වැඩි කලක් ගත වූ පසුය ඇගේම කියා කෘතියක් බිහිවන්නේ. නිර්මාණකාරිනියක ලෙස ඇ සතු ඉවසීමයි ඉන් ප්‍රකට වන්නේ. එම කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ට කෘතියක් ලෙස නම්වූ අතර ඈ ලියූ කුලී මාලිගා කාව්‍යය සංග්‍රහයද රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ විය. ඉන් අනතුරුව ඈ ලියූ තිත්ත මකරන්දය වෙනුවෙන් 1993 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ මෙරට ප්‍රථම වරටය. ගජමන් නෝනාගෙන් පසු රාජ්‍ය සම්මාන දිනූ මෙරට ප්‍රථම කිවිඳිය වීමේ වරම ඇය සතුවූයේ එලෙසය. ඒ සියල්ල ඇතුළුව මේ වනවිට ඇය ලියා ඇති කාව්‍ය කෘතීන් ගණන 15ක් පමණ වේ. තවද කෙටිකතා, නවකතා, යොවුන් හා ළමා සාහිත්‍ය කෘති මෙන්ම ලිපි එකතුන්ද ඇතුළුව කෘතීන් 65ක් පමණ අය මෙරට සාහිත්‍ය වංශයට තිළිණකොට ඇත. ඒ අතරට ගීත සංග්‍රහ 8ක්ද ඇතුළත් වේ.
කිවිඳියක, ලේඛිකාවක වූ යමුනා මාලනී සිල්වා පසුකලෙක ගීත රචිකාවියක වන යමුනා මාලනී පෙරේරා නම් වන්නී ඔහු නිසාමය. එනම් ඇයම කියන පරිදි සුන්දර වරදක් වූ ආදරය නිසාමය. ඔහු ප්‍රවීණ රංගවේදියෙකු වූ සේනක පෙරේරාය.
ඒ 1981 වසරයි. මා එතකොට බම්බලපිටියේ බෝඩිමක නතර වී හිටියේ. මගේ යෙහෙළියන් පිරිසක් හිටියා මේ බෝඩිමේ. එයාලා නාට්‍ය බලන්න යනවා. මාත් ඉතින් දවසක් මෙයාලා එක්ක ලුම්බිණි රඟහලට ගියා. පරාස්ස නාට්‍යය තමයි බැලුවේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, සේනක පෙරේරා ඇතුළු ශිල්පීන් හරි අපූරුවට රඟපෑවා. ඉතින් මාත් මේ රඟපෑමට වශීවෙලා හිටියේ. මම නාට්‍යය බැලුව කාලය පුරාම සේනකගේ රඟපෑම අගය කළා. කොහොම හරි නාට්‍යය නිමාවුණාම මගේ යෙහෙළියෝ රංගන ශිල්පීන්ට කතා කරන්න ගියා. ඒත් මම ගියේ නැහැ. එයාලා යමු කිව්වත් මම කිව්වා අනේ මට යන්න බැහැ කියලා. මම කොරිඩෝවේ කණුවකට හේත්තුවෙලා යාළුවෝ ටික එනකල් බලන් හිටියා. මෙන්න එතකොට අර රංග වස්ත්‍ර පිටින්ම සේනක එතැනට එනවා. ඇවිත් මාත් එක්ක කතා කළා. මම නුවරද ඇහුවා. මම කිව්වා නෑ මම ගාල්ලෙ කියලා. එතැනින් ඇරඹුණ කතාබහ තමයි ගොඩක් දුර ආවේ. පසුව අපි පෙම්වතුන් බවට පත්වුණා. ඒත් ටික කලකින්ම සේනකට ශිෂ්‍යත්වයක් ලැබුණා රුසියාවට. අපි විවාහ ගිවිසිගත්තා. ඔහු රුසියාවට ගියාම අප ආදරය ප්‍රකාශ කළේ ලිපි ඔස්සේ. ඒ ලිපියක තිබුණ කවියකින් තමයි මා ගීත රචිකාවක වුණේ. සේනක ලංකාවට ඇවිත් වැඩකළේ මහවැලි කේන්ද්‍රයේ. සුනිල් අයියත් (විශාරද සුනිල් එදිරිසිංහ) එහි වැඩකළා. මා කවි ලියන වග දැන හුන් ඔහු සේනකට කියා තිබුණා යමුනට කියලා ගීතයක් ලියාගෙන එන්නකෝ කියලා. ඒත් සේනක කිව්වලු කවි නම් ලියනවා ඒත් සින්දු ලියල නම් නැහැ කියලා. මට කිව්වා මම කළේ එයා රුසියාවේ ඉද්දි එයාට ලියල යැවුන කවියක් අරන් සකස් කරලා සේනකට දුන්නා සුනිල් අයියට දෙන්න කියලා. ඔහු එය හොඳට කියවලා සේනකගේ පිටට තට්ටුවක් දාලා කිව්වලු ආ... මේක හොඳ ලස්සනට ලියල තියෙයි කියලා. පසුව එය ආචාර්ය රෝහණ වීරසිංහට කියා තනුවක් යොදා සුනිල් අයියා ගායනා කළා.
අහස පොළව වටපිටාව හරිම හිත් තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් - නැහැනෙ තනිකමක්.
ඒ ඇගේ පළමු ගීයයි. එය ගුවන් විදුලියේ ජනප්‍රියතම ගීයක් වූ අතර ඉන්පසු ඈ ලක්ෂ්මන් විජේසේකර වෙනුවෙන් සඳ කිණිති නැමී, මාලනී බුලත්සිංහල වෙනුවෙන් මා නෙතු මගහැර, කරුණාරත්න දිවුල්ගනේ වෙනුවෙන් රෝස තෙල් සිඹිමි යන ගීත රචනා කළාය. මේ සියල්ල ශ්‍රාවක රසික ජනයා ආදරයෙන් වැළඳගත් අතර අද වනවිට ඈ ලියා ඇති ගීත ප්‍රමාණය හයසීයකට වැඩිය. ලේඛනය කියන්නෙ මගෙ පුදුමාකාර බැඳීමක්. මට මතකයි වරක් මා කියූ කතාවක් ලොකු ආන්දෝලනයකට හේතුවුණා. අපි විවාහ වුණාම මම සේනකට කිව්වා ඔයා වගේම මම ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා. සේනක ගැස්සිලා ගිහින් බලන් ඉද්දි මම කිව්වා, ඒ තමයි ලේඛන කලාව කියලා. ඔහු හොඳටම හිනාවුණා. ඇත්තෙන්ම සේනක මට ජීවිතයේ රස කියා දුන්නා. දෙයක ලස්සන මට තේරුණේ සේනක ඒක ලස්සනයි කියා කීවාම. කොටින්ම මම නිවසට ගේන බඩු භාණ්ඩ ගැනවත් දැනගෙන සිටියේ නැහැ. සියල්ල සොයාබලා කළේ ඔහු. ඒත් 2003දී ඔහු සදහටම මගෙන් හා දියණියන්ගෙන් සමුගත්තම මට සිද්ධ වුණා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න. ජීවිතය දරාගන්න. ඉතින් අර විවාහ වූ පසුව මං සේනකට කිව්වා වගේම ඔහු නැති මගේ ජීවිතය ජීවත් කළේ ලිවීමේ කලාව. එයට මා ආදරය ඒ නිසයි. හඬා නොවැටෙන, නොවැළපෙන සවිමත් දිරිමත් ගැහැනියක ලෙස ජීවිතය දකින්න එය අත්වැලක් වුණා. දැන් අපේ දියණියන් ලොකුයි. දෙදෙනාම රුකියා කරනවා. ලොකු දුව ප්‍රතිභාප්‍රභා. ඇය ජාත්‍යන්තර පාසලක සේවය කරනවා. දෙවැනි දුව ප්‍රමුදි ශෝභා. ඇය ප්‍රමිති ආයතනයේ සේවය කරනවා. දෙන්නම ලස්සනට ලියනවා. ප්‍රතිභා ගීත ගායනයටත් එක්වුණා. තනිවම ජීවිතයට මුහුණ දී ඔවුන් රුගෙන ආ දුර ගැන ඈ ආදරයෙන් සිහි කරන්නීය. ඇගේ පන්හිඳෙන් මැවුණු කවි පද, ගීත ආදී නොයෙකුත් නිර්මාණ තුළින් අපේ සිත් කොතරම් සැනසුණේද? සඳ එළිය තරම්ම අප හද බැඳි ඇගේ ගී උල්පත තවත් සිය දහසක් ගී ගඟුල් මවන්නට ඉඩහසර ලැබේවා යැයි අප ප්‍රාර්ථනා කරමු. නූතන ගජමන් නෝනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.
මොනිකා සේරසිංහ
සේයාරූ I අන්තර්ජාලයෙන්