රසට කෑම නම් උයන්න පුළුවන් ඒත්, වෙලාව තමා නැත්තේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට පුංචි තිරේත් සිනමාව තුළත් දුටු ගීතිකා ඉදිරි කාලයේදී තවත් කලා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණිමට සූදානමින් සිටියි. මේ නිසාම අප ඇයටද ඉඩක් වෙන් කළා. නිතර කලා තොරතුරු විමසන නිසාම අපි ගීතිකාට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් මෙවර යොමු කළා.

ගීතිකාගේ දවස ආරම්භ වෙන්නේ කොහොමද?

වැඩ තියෙන දවසට නම් ඉතින් පාන්දර පහට විතර තමයි මම නැගිටින්නේ. ඒ නැගිටලා නාලා ඇඟ හෝඳගන ලැහැස්ති වෙනවා. සමහර දවසට තේ එකක් බොනවා. එහෙම නැති අවස්ථාත් තියෙනවා ඉතින්.  ඊට පස්සේ රූපගත කිරිම්වලට යනවා. වැඩ නැති දවස්වලට නම් මම ටිකක් වැඩිපුර නිදාගන්නවා. උදේ දහය වෙනකම් වගේ. ඊට පස්සේ ඉතින් තේ එකක් බිලා සැහැල්ලු කැමක් උදේට අරගන්නවා සුපුරුදු විදිහට දවස ගෙවනවා.

ගීතිකාට රසට කෑම උයන්න පුළුවන්ද?

පුළුවන්. හැබැයි ඉතින් කෑම උයන වෙලාවල් තමා මට නැත්තේ. රසට උයන්න පුළුවන් පරිප්පු, සෝයා මිට් වගේ දේවල්. ගෙදර උයනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ කෑමක් අනිවාර්යයෙන්ම උයනවා. ගෙදර කට්ටිය වැඩිපුර ඉන්න දවස්වල නම් ඉතින් විශේෂ කෑම එහෙමත් මම හදනවා.

අලුත් කෑම හදන්න උනන්ඳුවක් නැද්ද?

කොවිඩ් වසංගතය කාලේ නම් ඔය දේවල් කළා. මොකද, රටම වහලා ගෙදරටම කොටු වෙලානේ ඒ කාලේ හිටියේ. නිතරම වගේ අලුත්  කෑම වර්ග හැදුවා යූ ටියුබ් එක බල බලා. ඒ කාලේ නම් කෑම උයද්දි ගොඩක් දේවල් අලුතෙන් දැනගත්තා. ඒත්, කාලයත් එක්ක ආයේ වැඩ පටන් අරගෙන කාර්යබහුල වෙන කොට ඒ කෑම හදන්න බැරි වුණා. දැන් නම් මට මතකත් නැහැ ඒ හදපු කෑම වර්ග.

විවේකයක් ලැබුණොත් ගීතිකා වැඩිපුරම කරන්නේ මොනවද?

ගොඩක් වෙලාවට කරන්නේ චිත්‍රපට බලන එක. විශේෂයෙන්ම මලයාලම් හා තෙළිඟු චිත්‍රපට. තව ඉංග්‍රීසි චිත්‍රපටත් එහෙමත් බලනවා. මම කැමතියි ගොඩක් සායි පල්ලවි ඉන්න චිත්‍රපට නරඹන්න. ඇයගේ හැම චිත්‍රපටයක් වගේ මම බලලා තියෙනවා. පල්ලවිට කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඇය රඟපාන විදිහ හරිම තාත්විකයි. ඒ වගේම ඇය කරන චරිතයට උපරිමය දෙනවා. මොන වෙලාවකදීවත් ඇයගේ රඟපෑමේ අඩුවක් චරිතයට වගේම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැති විදිහට.

ඇඟ හැඩය තියාගන්න ව්‍යායාම් එහෙම කරන්නේ නැද්ද?

කරනවා. වැඩත් එක්ක නිතරම යන්න බැරිවුණත් මම පුළුවන් හැම වෙලාවේම ජිම් එකට යනවා. දවසට පැය දෙකක් තුනක් ව්‍යායාම් කරනවා. ඒ වගේම කෑමත් පාලනය කරනවා. වැඩත් එක්ක කරන්නම බැරි දෙයක් තමයි ඔය කෑම පාලනය කරන එක. මොකද, රූපගත කිරිම් කටයුතුවලට ගියාම අපිට ලැබෙන කෑම වෙලත් එක්ක ඒ දේ හරියටම කරන්න අමාරුයි. හැබැයි ගොඩක් වෙලාවට ගෙදර ඉන්න අවස්ථාවලදී නම් මම කෑම එහෙම පාලනය කරනවා.

ඇදුම් විලාසිතාවලට ගීතිකාගේ තියෙන කැමැත්ත කොහොමද?

ගොඩක් වෙලාවට මම ඇඳුම් තෝරගන්නේ ඒ තැනට ගැළපෙන විදිහට. ගෙදර ඉන්න වෙලාවට නම් කොට ෂෝට් එකක් ටී ෂර්ට් එකක් වගේ සැහැල්ලු ඇඳුම් අදිනවා. ඒ වගේම ඇඟට වඩා ලොකු ටී ෂර්ට් එකක් පොඩි ෂෝටක් වගෙත් ගෙදර ඉන්න වෙලාවට අඳිනවා. ගැහැනු අපි හැමෝම කැමති නේ ඉතින් ඇඳුම් විලාසිතා කරන්න. මාත් ඉතින් කැමතියි ඒ වගේ දේවල්වලට.

ඔබට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක් නේද?

ඔව් එහෙම එකක් දකිනවා මමත්. හැමෝමත් එහෙම කියනවා. හැබැයි ඉතින් මම කෙලින් කතා කරන කෙනෙක්. මගේ යාළුවෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒක වැරදියි කියලා කියනවා. යාළුවෙක් අමාරුවේ වැටෙනවා නම් ඒ දේ පහදලා දෙනවා. සමහර අයට ඒක ප්‍රශ්නයක්. නමුත්, හිතට අවංකව මම කියන්න ඕනා දේ මුහුණටම කියන කෙනෙක්.

බුද්ධික සේනාධීර
ඡායාරූප හිමන්සු ගුණරත්න