රසික ප්‍රතිචාර නිසාම තමයි දෙස් විදෙස් ප්‍රසංගවලට ඉල්ලුමක් ඇති වුණෙත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා.....
මම විඳින දුක වෙන කෙනෙකු වෙත
යළිත් කිසිදා දෙන්නෙ පා
සසරෙ කොතැනක මට ලැබුණු දුක
ඔබට ලැබෙනු එපා
දිනෙක ආයෙත් ළංවෙලා
නැවතත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මාගේ සිත් පුරා......

මීට වසර 10කට පමණ පෙර තරුණ තරුණියන්ගේ නොමඳ ආදරය ආකර්ෂණය දිනාගත් ඒ තරුණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. හොටු පෙරාගෙන ගීත ගායනා කරන ගායකයා බවටත් කලක් ඔහු ප්‍රසිද්ධ වුණා. ඒ විරහ ගීත බොහෝ සංඛ්‍යාවක් ගායනා කර තිබීම නිසාවෙන්. ඔහු අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. ඒ තමයි දිමංක වෙල්ලාලගේ.

මට දැන් වයස අවුරුදු 33ක්. ඒ අතරේ අවුරුදු දෙකක් වගේ කාලවකවානුවක ජීවිතේ සුන්දර මතක තියෙනවා ඒ කුඩා කාලයේ. ඒ සියල්ල අතරින් මගේ ජීවිගේ විශේෂිතම වූ කාලය තමයි මම ගායකයෙක් විදියට ජනප්‍රියත්වයක් ලබලා මිනිස්සු අතරට යන්න ලැබුණු කාලය. ඒ තමයි මගේ ජීවිතේ ස්වර්ණමය යුගය. මීට වසර 10කට පමණ පෙර එනම් 2013 වසරේ වගේ තමයි මට ඒ ආදරය ප්‍රතිචාර ලබාගන්නට හැකි වුණේ. මගේ ගීත අහලා ඒ ගීතවලට ආදරය කරන්න ගත්තු රසික පිරිසක් ලංකාව වටේම බිහි වුණා.

විශේෂයෙන් කියන්න ඕනෑ මම ජනප්‍රිය ගායකයෙක් වෙනවාමයි කියන ඒ අධිෂ්ඨානයක් එක්ක මම කරමින් සිටි රජයේ රැකියාවත් අතඇරලා තමයි එතනින් එළියට බැස්සේ. මම සේවය කළේ නාවික හමුදාවේ. නීත්‍යානුකූලව මට ඒ රැකියාවෙන් එළියට යන්න දුන්නෙත් නැහැ. නමුත් මට තිබුණෙ එකම අරමුණ ගායකයෙක් වීම තමයි. මගේ ධෛර්යය නිසාම තමයි මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආවේ. මේ හැමදේම මට එක රැයින් ලැබුණු දේවල් නෙමෙයි. ලොකු විශ්වාසයකින් කැපකිරීමකින් ආපු ගමනක්.

මම මීට පෙර සඳහන් කළා වගේ 2013 තමයි මගේ ජීවිතේ සොඳුරුම යුගය. ඒ කාලයේ මගේ දුරකතනයට නිවනක් නැති තරම්. ඒ තරමට රසික රසිකයන්ගෙන් දුරකතන ඇමතුම් ගලාගෙන එනවා. මට ඒ සතුට වචනවලින් කියන්න බැරි  තරම්. ඒ තරමට දරා ගන්න බැරි කාලයක් තිබුණා. ඒ ආරම්භ කරපු ගමනෙ අදටත් ඒ රසික ප්‍රතිචාර නොඅඩුව තියෙනවා.

ඒ රසික ප්‍රතිචාර නිසාම තමයි දෙස් විදෙස් ප්‍රසංගවලට ඉල්ලුමක් ඇති වුණෙත්. ප්‍රසංග කාලෙට මේ වෙද්දී සෑහෙන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙනවා. ඉතින් ඒ සියලුම දේ ලැබෙන්නේ රසිකාවන්ගේ ආදරය නිසාම තමයි. අපිත් අපේ වටිනාකම තියාගන්න තාක්කල් රසිකයන්ගේ ආදරය තියෙන තාක්කල් ප්‍රසංග වේදිකාවේ සහ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යවල අපි ගැන නිරන්තරයෙන් කතා බහ වෙයි.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගැන සඳහන් කළ නිසාම මම විශේෂයෙන් කියන්න කැමතියි ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය. අපි සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වුණු චරිත නෙමෙයිනෙ. මොකද අපි මේ ක්ෂේත්‍රයට ආපු කාලේ සමාජ මාධ්‍ය ජාලා අද වගේ දියුණු නැහැ. ඒ කාලෙ මාධ්‍යවලින් අපිට ලබාදුන්නු ශක්තිය තමයි මේ තැනට එන්න බෙහෙවින්ම ඉවහල් වුණේ. දිමංක වෙල්ලාලගේ කියන පුද්ගලයාගේ රූපය දැකගන්න දැන ගත්තෙ මේ මාධ්‍යයන් නිසා. ඉතින් ඒ හැමදේම එක්ක මේ දක්වා ආපු ගමන ගැන නිරහංකාර සතුටක් තියෙනවා.
විශේෂයෙන් කියන්න ඕනෑ තරුණ පරපුරේ පිරිස විතරක් නෙමෙයි, මට ආදරේ කළේ. වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් ආදරය කළා. ප්‍රසංගවලට, රූපවාහිනී වැඩසටහන්වලට එහෙම සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒ ආදරය ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ කිසිම දෙයක් මුදල්වලටවත් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මම නිතරම හිතන්නේ මේ දේවල් ලබන්න පෙර පිනක් සහ වාසනාවක් තියෙන්නත් ඕනෑ. මම විශ්වාස කරන විදියට රසිකයන් සහ අපි අතර තියෙන්නෙ ඕන සරල රේකාවක් හා සමාන බැඳීමක්. එතකොට තමයි ඔවුන් තව තවත් අපිත් එක්ක ආදරෙන් බැඳෙන්නේ. ඒ තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මොකද හැම පුද්ගලයාම එක වගේ නැහැනෙ. විවිධ සමාජ තලවල පිරිස් අපිට මුණ ගැහෙනවා යන එන තැන්වල. ඒ හැමෝම එක්ක අපිට හැකි විදියට සම්බන්ධතා පැවැත්වීම තමයි යහපත් වෙන්නේ. 

සමහර වෙලාවට ප්‍රසංගවලට ගියාම අසීමිත ප්‍රතිචාර දක්වන පිරිස් ඉන්නවා. සමහර ප්‍රතිචාර හරිම ආදරණීයයි. මේ මෑතක දී රත්නපුරේ ප්‍රසංගයකට සම්බන්ධ වුණාම අසාමාන්‍ය ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ප්‍රසංගයට සම්බන්ධ වුණේ ‘‘සනිධප’’ සංගීත කණ්ඩායම. එදා ඒ මම ගීත ගායනා කරද්දී ගැහැණු ළමයි පස් දෙනෙක් විතර ඒකට එකතු වෙලා කරට අත දාගෙන වට වෙලා රවුමට ඩාන්ස් කර කර හිටියා. මම ගීත ගායනා කර කර වේදිකාවෙන් පහළට බැහැලා යද්දී එක ගැහැණු ළමයෙක් ඇවිල්ලා මගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන මාව සිපගෙන සිපගෙන ගියා. ඒ මොහොතේ ඒ ළමයාගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ඇත්තටම මමත් හරිම සංවේදී වුණා මේ තරම් ආදරය කරන පිරිසක් ඉන්නවා නේද කියලා හිතද්දී. ඒ වගේ සිදුවීම් රැසක්ම මට ප්‍රසංගවල දී සිදුවෙලා තියෙනවා. ළඟට ඇවිල්ලා තුරුල් කරගෙන සිපගන්න අවස්ථා තියෙනවා. ඒවා ඇත්තටම සාමාන්‍ය දේවල්. ඒ තරමට ආදරයත් කරන්න ඔවුන් අපි එක්ක මොන තරම් බැඳීමකින් ඇත්ද? ඒ නිසා ඒ ලැබෙන ආදරය ඒ ප්‍රතිචාර කවදාවත් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කළොත් මම හිතන්නෙ නැහැ සොබාදහමෙන්වත් අපිට දෙයක් ලැබෙයි කියලා. මේ හැමදේම අපි ආදරෙන් විඳින්න ඕන. රසික රසිකාවියන්ට කවදාවත් ලොකු සීන් දාන්න හොඳ නැහැ. ඔවුන්ගේ ආදරය නිසානේ අපි මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නේ. ඒ නිසා පෙර පිනකට ලැබිලා තියෙන මේ දේවල්වලින් අයුතු ප්‍රයෝජන ගන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් වෙන්නෙ හැම දෙනාගෙන්ම අප්‍රසාදයට ලක්වීම. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන ගමන තව තවත් ලස්සන කරගෙන ඒ තුළින් ඉදිරියට යන්න තමයි මම හිතන්නෙ. එතකොට මේ තුළ පැවැත්මක් තියෙයි. හැමදාම මේ ක්ෂේත්‍රය තුළ ස්වර්ණමය යුගයක් ගත කරන්න ලැබෙයි.

ධනු විජේරත්න