රිදී තිරයේ සඳක් මැවූ සූකිරි කෙල්ල
හැත්තෑව දශකය ශ්‍රී ලාංකිය සිනමාවේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙයි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගත් ජනප්‍රිය චිත්‍රපටද තිරගත වූයේ මේ කාලයේදීය.
සුමනා අමරසිංහ නම් සිනමා තාරකාව පායා එන්නේද මේ කියන හැත්තෑව දශකයේදීය. සුමනාට ප්‍රේක්ෂකයන් අතරට යන්නට මඟ පෑදුවේ ඇගේ රූමත් බව නිසාම යැයි කිය යුතුය.
ඊට හොඳම උදාහරණයක් වන්නේ ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යයක් ඇසුරෙන් නිපදවූ ‘‘බිනරමලී’’ චිත්‍රපටයේ සුමනා රඟපෑ චරිතයයි. බිනරමලී ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේ ස්වර්ණා කහවිට වුවද ගීතයකට හා දර්ශන කීපයකට පමණක් සුමනා පෙනී සිටි සහාය චරිතයටද ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය වූහ. ඒ ඇගේ රූමත් බවටය.
‘‘මල් මල් මල් මැද පිපි බිනරමලී’’ ගීතය ගයමින් ඇය ඉදිරිපත් කළ රැඟුම දැනුදු ප්‍රේක්‍ෂක සිත්වල දැවටී තිබෙන්නකි.
එයින් පසු සුමනාගේ කැපී පෙනෙන රඟපෑම් වූයේ වානිජ චිත්‍රපට ලෙසින් අප වෙන්කරන ‘‘සූකිරි කෙල්ල, සුනේත්‍රා, ඔබයි මමයි’’ ආදී චිත්‍රපටය. මුල් යුගයේ මේ චිත්‍රපට බොහොමයකම ඇගේ පෙම්වතා වූයේ රෝයි ද සිල්වා ය.
රෝයි - සුමනා යනුවෙන් එකල චිත්‍රපට දැන්වීම්වල නිතර යෙදුණේ ඔවුන් සිංහල තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වූ බැවිනි.
සුමනා රඟ පෑ මේ චිත්‍රපට ආදායම් අතින් අතිශයින්ම සාර්ථක වූවකි. ඒවා දකුණු ඉන්දීය චිත්‍රපට වට්ටෝරුව වූ කෙල්ල – කොල්ලා - දුෂ්ටයා, විහිළුකාරයා, සටන් - ගැටුම් මිහිරි ගීත ආදිය යහමින් තිබූ විනෝදාත්මක චිත්‍රපට වූ අතර කර්මාන්තයක් ලෙස සිංහල සිනමාව පවත්වාගෙන යන්නට ඉන් ලද දායකත්වය අමතක කළ යුතු නැත.
ප්‍රේක්‍ෂකයන් අතර මේ චිත්‍රපට කෙතරම් ජනප්‍රිය වුවද විචාරකයන්ගෙන් නම් රෝයිලාට සුමනලාට සමාවක් ලැබුණේ නැත.
රෝයි - සුමනා යුගයෙන් පසුව ඊළඟට අාවේ තිස්ස – සුමනා කාලයයි. තිස්ස – සුමනා රඟපෑ චිත්‍රපට රෝයි - සුමනා චිත්‍රපටවලට දෙවැනි නොවීය. එහෙයින් ප්‍රේක්ෂකයෝ සිනමාහල් කරා රොද බැඳුනහ.
මුල් කාලයේදී ඇල්.ඇම්. පෙරේරාගේ ‘‘හතර පෙරළිය’’ චිත්‍රපටයේ රඟපාන්නට ගොස් සිටි සුමනාට රෝයි හඳුනාගන්නට ලැබිණි. ඒ හැඳුනුම්කම විවාහය දක්වා දිග්ගැස්සී ගියේය.
රෝයි - සුමනා හැත්තෑ ගණන්වල වාසය කළේ මොරටුවේය. මා වරක් ඔවුන් හමුවන්නට මොරටුව එම නිවසට ගිය විට රෝයි ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘‘ටොම් පචයා’’ ස්ටැන්ලි පෙරේරා සමඟ අධ්‍යක්‍ෂණය කරමින් සිටියේය.
‘‘මගේ ජීවිතයේ ‘හතර පෙරළිය’ සිද්ධ වූයේ හතර පෙරළියේ රඟපාන්න ගිහිල්ලයි. අපි මුණගැහුණේ හතර පෙරළියෙන් යයි ඇය කීවේ සිනාසෙමිනි.
හැත්තෑව දශකය ගෙවී 80, 90 දශක ලබන විට සිංහල සිනමාව වට්ටෝරුවෙන් මිදී නව අන්තර්ගත සොයාගෙන ගිය කාලයයි.
සුමනා රඟපෑ සිනමා චරිතවලට විචාරකයන්ගෙන් ලද නිර්දය විචාර නිසා ඇයටද කලාත්මක චිත්‍රපටයක ගැඹුරු චරිත රඟපෑමට අවශ්‍ය විය.
ඇය තම සැමියා සමඟ එකතුව ‘‘තණ ගිරවි’’ නිර්මාණය කළේය. ‘‘තණ ගිරවි’’ සඳහා විචාරක අනුග්‍රහය ලැබුවද ‘‘තණ ගිරවි’’ ආදායම් අතින් සාර්ථක නොවීය.
සුමනා යළින් රෝයි සමඟ එක්ව විනෝදාත්මක විකට චිත්‍රපට නිෂ්පාදනය කරන්නට පටන්ගන්නේ ඉන් පසුවය. ඒවා බොහෝ සේ ජනප්‍රිය විය.
සුමනා මුළු ජීවිතයම කැප කළේ සිනමාව වෙනුවෙනි. සිනමාවෙන් තොරවූ ජීවිතයක් ඇයට නොවීය.
රුක්මණී දේවිගේ අවසන් කාලයේදී සුමනාත් රෝයිත් බොහෝ සේ ඇයට සමීප වී සිටියහ. ඔවුන් එකට රූගත කිරීම් පමණක් නොව වේදිකා නාට්‍ය සඳහාද සහභාගී වූ අතර බොහෝ විටෙක රුක්මණී දේවිය එකල රෝයි - සුමනාගේ ගෙදර නැවතී සිටියාය. මට මතක විධියට ඔවුන් ඒ කාලයේ පදිංචිව සිටියේ බොරලැස්ගමුවේය.
‘‘කඩවුණු පොරොන්දුව’’ වේදිකා නාට්‍යයක් ලෙස යළි රඟදැක්වෙද්දී සුමනා රුක්මණී දේවිය රඟපෑ චරිත රඟපෑවාය. ඉන්පසුව ‘‘කඩවුණු පෙරොන්දුව’’ වර්ණ චිත්‍රපටයක් ලෙස යළි නිර්මාණය වෙද්දී රුක්මණී දේවිය රඟපෑ චරිතය ඇයට රඟපාන්නට ලැබීම ගැන ආඩම්බරයෙන් සඳහන් කළාය. ඇය කීවේ සිංහල සිනමාවේ මුල්ම චිත්‍රපටය වූ ‘‘කඩවුණු පොරොන්දුව’’ විශිෂ්ට නිළි රුක්මණී දේවිය රඟපෑ චරිතය රඟපාන්න ලැබීම ඇය ලද භාග්‍යයක් බවයි.
වරක් ඇය සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ 70 දශකයේදී කොතරම් ජනප්‍රියද යත් ඇතැම් නිෂ්පාදකවරුන් දර්ශන තලවලට පැමිණ රඟපෑම් සඳහා ගිවිසුම් අත්සන් කරගෙන ගිය බවය.
දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහ වූ ඇය උපන්නේ මහනුවර කටුගස්තොටය. එහෙත් සිය පවුල සමග කොළඹට පැමිණ ඇය අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ බෞද්ධ බාලිකා විද්‍යාලයේය. ඉන්පසුව කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයට ඇතුළත් වූවාය.
ඇය සිනමාවට පිවිසියේ රූබි ද මැල් අධ්‍යක්‍ෂණය කළ ‘‘පිපෙන කුමුදු’’ චිත්‍රපටයෙනි. එකල ජනතා පත්‍රය මගින් පැවැත්වූ ලස්සන මුහුණ තරගයෙන් ජයග්‍රහණයක් ලද ඇයට එහි විනිශ්චය මණ්ඩලයේ සිටි රූබිද මැල් හමුවිණි. සිනමා ගමන පටන් ගැනුණේ එතැනිණි.
ඊට පෙර දෙහිවල පැවැති අවුරුදු කුමාරි තරගයකට සහභාගී වූ ඇය ඉන්ද ජය ලැබුවාය. එම අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලයට එකල සුපිරි තාරකා වූ ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි සහභාගී වූ බව ඇය සම්මුඛ සාකච්ඡාවලදී පැවසුවාය.
ඇයට ඒ දිනවලදීම සිනමා වරම් ලැබුණද ගෙදරින් එයට සහභාගී වන්නට ඉඩ නොලැබිණි. එහෙත් රූබි ද මැල් හඳුනාගැනීමෙන් පසු ගෙදරටම පැමිණ කතා කළ නිසා ඇයට සිනමාවට පිවිසීමට ගෙදරින් අවසරය ලැබිණ.
‘‘මේරේ ලාල්’’ හින්දි චිත්‍රපටය කොළඹ වාර්තා ගත ලෙස ප්‍රදර්ශනය වීම නිසා පැවැත්වූ රූ රැජිණ තරගය ‘‘මිස් මේරේ ලාල්’’ විය. එයටද සහභාගී වූ ඇය මිස් මේරේලාල් ලෙස අභිෂේක ලැබුවාය.
ඇය රෝයි සමඟ විවාහ වූයේ 1975 දීය. 1967 දී පිපෙන කුමුදු චිත්‍රපටයෙන් පටන් ගත් ඇගේ සිනමා දිවිය ‘‘රෑන ගිරව්, මේ දෑස කුමටද?, ලොකුම හිනාව, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, රන්වන් රේඛා, මංගලා, ටොම් පචයා, ගීතාංජලි, සැලමුතු පින්න, තණ ගිරවි, චෙරියෝ කැප්ටන්, සුදු පිරුවට, මිහිදුම් සිහින, මධු සිහින’’ ආදී චිත්‍රපට 100කට කිට්ටු සංඛ්‍යාවක් කරා දිව යයි.
‘‘මේ දෑස කුමටද, මිහිදුම් සිහින, මධු සිහින’’ ආදී චිත්‍රපටවලදී ඇයට රඟපාන්නට ලැබුණේ මාලිනීගේ ආදර සම්බන්ධතාවලට බාධාවක් වූ චරිතය.
විජය කුමාරතුංග සමඟ රඟපෑ එම චරිත ප්‍රේක්‍ෂක හැඟීම්වලට කතා කළ චරිත ලෙස ජනප්‍රිය විය.
ඇය ගායිකාවක, නිෂ්පාදිකාවක, සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කලා ක්ෂේත්‍රයට දායක වූ අතර රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසද රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගියාය.
ක්‍රමයෙන් බිඳවැටුණු සිංහල සිනමාවේ තේජස සමඟ බොහෝ සිනමාකරුවන්ට, ශිල්පීන්ට මෙන්ම ඇයටද ආර්ථික අමාරුකම් දරා ගන්නට සිදුවිය.
සුමනාත් රෝයිත් ජීවිත කාලය පුරාම එකතු කළ සියලු සේසත ඔවුන් එක්තරා මූල්‍ය සමාගමක තැන්පත් කළේ අමාරු කාලයේ එම පොලියෙන්වත් ජීවිතය පවත්වාගෙන යන්නටය. එහෙත් ඒ මූල්‍ය සමාගම බංකොලොත් වී වැසීගිය අතර ඔවුන් තැන්පත් කළ මුදල් ලබා ගැනීම දුෂ්කර විය.
සුමනා අවසන් වරට රඟපෑ චිත්‍රපට දෙක වූයේ ඇමෙරිකාවේදී රූගත කළ ‘‘ටොම් පචයෝ’’ හා ‘‘සිහින ලොවක් සොයා’’ය ‘‘ටොම් පචයෝ’’ කීත් රංග හා චන්න ඔබේසේකරගේ නිෂ්පාදනයකි. ‘‘සිහින ලොවක් සොයා’’ සුමනා අමරසිංහ නිෂ්පාදනයෙන් දායක වූයේ ඇන්ඩි සමරසේන සමඟය.
ආර්ථික බිඳවැටීමත්, මේ චිත්‍රපට දෙක තිරගත කර ගැනීමට නොහැකිවීමත් සහ රෝයි හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වීමත් සමග සුමනා වඩාත් අසරණ වූවාය.
රෝයි මෙලොවින් නික්ම යන්නට පෙර ආහාර විෂ වීමක් නිසා සුමනා බලවත් ලෙස රෝගාතුරවී ලෙඩ ඇඳේ ගත කළාය. එයින් ඇගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි.
එහෙත් මේ සියලු කරදර එක දිගට එද්දී ඇයට දරා ගන්නට අපහසු වූවා විය යුතුය. හදිසියේම රෝගාතුරවී ඇය මෙලොවින් නික්ම යන විට ඇගේ වයස අවුරුදු 74 කි. සුමනා අමරසිංහ රඟපෑ සිනමා චරිත බොහෝ කල් යනතුරු ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත.