රිදී තිරයේ ජනප්‍රිය දුෂ්ටයා
මීට මාසයකට දෙකකට පමණ පෙර විල්සන් කරු ගැන තොරතුරු විමසූ විට අපට අසන්නට ලැබුණේ කරු කාමරය තුළ සෙමෙන් සෙමෙන් ඇවිදින බවය. කරු බලා ගනු ලැබුයේ ඔහුගේම ඥාති සොහොයුරකු විසිනි.
‘ඒ වුණාට කරු අයියට තාම කතා කරන්න බෑ. දිගටම භෞත චිකිත්සක ප්‍රතිකාර කරනවා.’ ඔහු වැඩිදුරටත් කීවේය.
‘කරු අයියා ජනප්‍රිය දවස්වල නම් හරියට පිරිස හිටියා. ඒ වුණාට දැන් ඒ අය එනව යනව අඩුයි.’ ඔහු ඊට ඌණ පූර්ණයක් ද එකතු කළේය.
සැබෑව එයය. කෙනකු ජනප්‍රියත්වයේ, බලයේ සිටින විට සොයා එන ඇතැම් පිරිස් ඒ සියල්ල නැති වුණ තැන ක්‍රමයෙන් මඟ හරිති.
වයස අවුරුදු අසූවකට ළං වෙමින් සිටිය ද ඔහු ජවසම්පන්නව සිටියේය. එහෙත් ඔහු එක්වරම කපා හෙලූ ගසක් මෙන් ඇද වැටුණේය.
දුෂ්ටයකු ලෙස, චණ්ඩියකු ලෙස සිටියද ඔහු ලැජ්ජාශීලී පුද්ගලයකු විය. බොහෝ අවස්ථාවලදී ඔහු සිටියේ පසෙකට වීය. කැපීපෙනෙන්නට නොගියේය.
චණ්ඩිකමට යටින් අපූරු අහිංසක ගතිගුණ ද තිබුණේය.
දැන් කාලයේ ඇතැම් බොහෝ ටෙලි නළු නිළියන් ජනතාව අතර ගැවසෙන්නට එතරම් කැමැත්තක් නැත.
එහෙත් තිරයේ කිරුළු පලන් නළු නිළියන් සමග හරි හරියට රඟපාමින් දැක්ක ගමන්ම ප්‍රේක්ෂකයාට හඳුනා ගත හැකි කරු ඇතැම් විටෙක බස්රථයක යන්නට වුව මැලි නොවීය.
එක් අවස්ථාවකදී මා අධ්‍යක්ෂණය කළ ‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටයේ දර්ශන රූ ගත කළේ රත්නපුරයේය. කරුට ඉක්මනින් කොළඹ එන්නට අවශ්‍යව තිබිණ.
‘පොඩ්ඩක් වෙලා ඉන්න වාහනයක් ලෑස්ති කරල දෙනකම්’ අපි කීවෙමු.
‘එපා. මම ඉන්ටර්සිටි එකක යන්නම්.’ කී කරු රත්නපුරයේ සිට කොළඹ ආවේ නගරාන්තර බස් රථයකිනි.
ඔහු රොබින් ප්‍රනාන්දුට බෙහෙවින් ගරු කෙළේය. කරු හැම විටම කීවේ ඔහුට සටන් ගැන ඇල්මක් ඇති කළේ රොබින් ප්‍රනාන්දු බවය.
රොබින්ගේද ප්‍රථම සිනමා සටන් දර්ශනය වූ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ ඉදිරිපත් කළ සටනට කරු වහ වැටී සිටියේය. ඔහුට සටන් නළුවකු වන්නට හිතුනේ ඒ සටන දුටුවිට බව ඔහු කීප වරක්ම පවසා තිබේ.
කුඩා කාලයේදී මම ආසාවෙන් බලපු චිත්‍රපටයක් චණ්ඩියා. ගාමිණීගෙත් රොබින්ගෙත් ඒ සටන බොහෝ කාලයක් යනතුරුම මගේ හිතේ රැඳී තිබුණා’ ඔහු කීවේය.
දෛවයේ හාස්කමකින් මෙන් කරුට තම ප්‍රථම සිනමා සටන ඉදිරිපත් කරන්න සිදුවූයේ ද රොබින් සමගය.
ඒ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටය වෙනුවෙනි. පුණ්‍යා බුලත්සිංහලගේ ඉල්ලීම පරිදි කරු රොබින් සමග එම සටන් ජවනිකාවේ රඟපෑවේ මාවනැල්ල පැත්තේ කැලෑබද ප්‍රදේශයකදීය.
එතැන් සිට ඔහු සිනමාවේ දුෂ්ටයා විය. සටන් නළුවා විය. ඔහු රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව 250 ක් පමණ වෙයි.
රූපවාහිනිය ලංකාවට පැමිණ නොතිබූ යුගයක ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත්වීම අභියෝගයක් විය. රූපවාහිනියෙන් නොමිලේ චිත්‍රපට, ටෙලිනාට්‍ය නැරඹිය හැකි වුවද චිත්‍රපටයක් නැරඹීමට මුදල් ගෙවා යා යුතුය.
මේ නිසා ප්‍රේක්ෂකයන් අතර රැඳෙන්නට හැකි වූයේ දක්ෂතාවෙන් පිරි කලාකරුවන්ටය. කරුටත් නොදැනීම ඔහුගෙන් පළවූ ඒ රංගන දක්ෂතා නිසා ඔහු තිරයේ ජනප්‍රිය දුෂ්ටයා, සටන් නළුවා විය.
ඒ නිසාම ඔහු චිත්‍රපටවල සටන් කළේ ජීවිතය පරදුවට තබාය. ඔහුට ප්‍රධාන නළුවාගෙන් පහර කෑමට පමණක් නොව මාරක පිමි පනින්නට ද සිදුවිය.
ගාමිණී ෆොන්සේකා සටන් ජවනිකාවල දී බොහෝ විට ඇත්තටම පහර දුන්නේය. ඔහුගේ පහර වළකමින් නිර්භීතව සටන් කරන සටන් නළුවන්ට ගාමිණී බොහෝ සේ ප්‍රිය කෙළේය.
‘මිස්ට ෆොන්සේකා ඇත්තටම ගහනවා. කොටිවලිගයේ එක සටන් ජවනිකාවකදී මට කන්ටේනර් යාඩ් එකක උඩ සිට පහළට වැටෙන්න තිබුණා. මිස්ට ෆොන්සේකා මගෙන් ඇහැව්ව පුළුවන්ද කියලා. මම කැමැති වුණා.’
ඒ සටන ඉතාමත් සාර්ථක අයුරින් නිම වුවද ඔහුට ටික දිනක් යනතුරු තෙල් බෙහෙත් පත්තු බඳින්නට සිදුවිය.
ඔහු වැඩියම සටන් කර ඇත්තේ ගාමිණී හා විජය සමගය.
කරුට තිබුණේ අපූරු මුහුණකි. එය සිනමා තිරයට අපූරුවට ගැළපෙන්නක් විය. ඔහුගේ සමීප රූපයක් තිරයට වැටුණේ නම් එහි හැඟීම් නිරූපණය වන්නේ ඉබේටමය.
‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටයේ සටන් ජවනිකාවල දී කුංග්පු සටන් ගුරුවරයකු වූ සීවලී වික්‍රමආරච්චි ඇත්තටම කරුට පහර දුන්නේය.
‘මාස්ටර්ගේ ෆයිට් එකෙන් පස්සෙ මම සතියක් පත්තු බැන්දා’ ඔහු පසුව මා සමග පැවසීය.
කරු කොතරම් සටන් කළ ද ඔහුට දීර්ඝ දෙබස් එක්ක චරිත ලැබුණේ කලාතුරකිනි. ඔහුට දීර්ඝ දෙබස් කණ්ඩ ලැබුණ විටදී මදක් කලබලයට පත් වූවේය. ඒ නිසා බොහෝ චිත්‍රපටවල ඔහුගේ ජවනිකා සඳහා දෙබස් පටිගත කිරීම්වල දී එකල වෙනත් ශිල්පියකු යොදාගැණින.
..එහෙත් ටෙලිනාට්‍ය පටන් ගැනීමත් සමග ඔහුට ඉන් මිදීමට හැකි විය. ටෙලිනාට්‍ය දෙබස් එවෙලේම පටිගත කිරීම නිසා කරුට දෙබස් නොකියා සිටින්නට බැරි විය.
ඔහු එකල බෙහෙවින්ම ප්‍රිය කළ චිත්‍රපටයක් වූයේ ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ ය. එම චිත්‍රපටයේ ඔහු කිවුලෙ ගෙදර මොහොට්ටාල ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කෙළේය.
ඔහු එම චිත්‍රපටය සඳහා ගාලු කොටු පවුරේ සිට මාරක පිම්මක් පහලට පැන්නේය. තවත් බටහිර චිත්‍රපටයකට කරු ත්‍රිකුණාමලේ කෝණේශ්වරම් ගල මුදුනේ සිට පහළ මුහුදට පැන්නේය.
ඒ හැරුණු විට ඔහුගේ එකල විශේෂ බලාපොරොත්තුවක් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපාන්නටය. එය රංගන ශිල්පියකුට සුවිශේෂී අවස්ථාවක් බැවිනි.
‘මගේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා. මම ලෙස්ටර් මහතා අධ්‍යක්ෂණය කළ පුරන්අප්පු චිත්‍රපටයේ රඟපෑවා.’ ඔහු කීවේය.
1942 ඔක්තෝබර් 28 වැනිදා උපන් විල්සන් කරුට (අප විල්සන් කරු කීවත් ඔහුගේ නම විල්සන් කරුණාරත්නය) අවුරුදු අසූව පිරෙන්නට තිබුණේ මේ අවුරුද්දේය.
තනිකඩ ජීවිතයක් ගත කළ කරු සටන් නළුවකු, දුෂ්ටයකු ලෙස පමණක් නොව චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයකු ලෙස ද සිනමාවට දායක විය.
දරුවන් පස්දෙනකු ඇති පවුලක දෙවැනියා ලෙස උපත ලද කරුට වැඩිමහල් සොහොයුරෙක්, නැගනියන් දෙදෙනෙක් හා බාල සොහොයුරෙක් වෙති. කරු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ලුම්බිණි විදුහලෙනි. කුඩා කළ සිටම සටනට ඇල්මක් දැක්වූ කරු එකල චීන අඩි හා පාපන්දු ක්‍රීඩාවට විශේෂ දස්කමක් දැක්වීය. මේ ක්‍රීඩා දස්කම් නිසාම පුණ්‍යා බුලත්සිංහල නම් තිරකතා රචක හා සහාය අධ්‍යක්ෂවරයා කරුට රඟපාන්නට අවස්ථාව ලබා දුන්නේය.
‘හදවත් නැත්තෝ’ තුළින් පටන් ගත් සිනමා රංගනය ද රන් කහවනු තුළින් පටන් ගත් ටෙලිනාට්‍ය රංගනය ද කරුට නළුවකු ලෙස මහත් ජනප්‍රියත්වයක් ගෙන දුන්නේය. එහෙත් සියල්ල නොසිතූ ලෙස කෙළවර විය. නාන කාමරයේදී හදිසියේම ඇදවැටුණු කරු බොහෝ වේලාවක් සිහිසුන්ව සිටියේය. මේ තත්ත්වය දැන ගන්නා විට කල්වේලා ගතවී තිබිණ. කරු කාලයක් ගිලන්ව සිට මේ අයුරින්ම මෙසේ අප අතරින් නික්ම යන්නේ මේ අතපසුවීම නිසාවෙනි. එහෙත් ඔහුගේ රංගන කුසලතා ශ්‍රී ලාංකික සිනමාව පවතිනතුරු ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත.
රොඩ්නි විදානපතිරණ