රත්න ශ්‍රී අයියා මගේ දිහා බලලා ඔයාට දෙන්න සින්දු මගේ ළඟ නෑ කීවා - ලක්ෂ්මන් හේවාවිතාරණ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජයේ කුඩාම ඒකකය වන පවුල මිනිසෙකුගේ සමාජානුයෝජන ක්‍රියාවලියේදී ඉටු කරනුයේ මහඟු මෙහෙයකි. පවුලේ මව, පියා ප්‍රධාන කොට අනෙකුත් සාමාජිකයන්ගෙන් ඊට ලැබෙන පිටුබලය අති මහත්ය. මව, පියා සහ දරුවන්ගෙන් සැදුම්ලත් වත්මන් න්‍යෂ්ටික පවුල්වල නම් සිටිනුයේ බොහෝ විට එක් දරුවකු හෝ දෙදෙනෙකි. එහෙත් මීට කලකට, එනම් දශක හතරකට පහකට පෙර පවුලක් ගත් විට එහි දරුවන් වැඩි ගණනක් සිට ඇත. එය එවක අප සමාජය තුළ සුලබ කරුණක් විය. කෙළිදෙලෙන් ගත කරන්නට සේම රැකවරණය ආදරය ලබන්නටත් එවන් පවුලක ජීවත්වීම දරුවෙකුට ඉතා අගනේය. අද අප හා කතාබහට එක්වන්නේ එවන් පවුලක උපන් බාලම සහෝදරයාය. අයියලා තිදෙනෙකු සහ අක්කලා තිදෙනෙකුට පසුව පවුලේ බාලම දරුවා ලෙස හෝමාගමදී උපත ලැබූ ඔහු වර්තමානයේදී ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු ලෙස ද සොඳුරු ගී රුසක් අපට තිළිණ කළ ලක්ෂ්මන් හේවාවිතාරණය.

ලක්ෂ්මන් හේවාවිතාරණ කියූ සැණින් තවමත් තාරුණ්‍යයේ පසුවන මෙම ගායන ශිල්පියා සිහිවන කා හටත් සිහියට නැගෙන්නේ ඔහු හා බැඳි විදේශ ජීවිතය විය හැකිය. ඊට හේතුව ඔහු වසර ගණනක් යුරෝපයේ ජීවත් වීමයි. &අපේ පවුලේ මාත් එක්ක සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි පවුලේ බාලයා. මම ඉතා කුඩා කාලෙදි තමයි මගේ තාත්තා නැති වුණේ. එතරම් මතකයක් පවා නැහැ. අම්මා තමයි ගොඩක් මහන්සියෙන් අපිව හදාගත්තේ. අම්මා දන්ත වෛද්‍යවරියක් විදිහට තමයි රුකියාව කළේ. මහරගම විද්‍යාකර විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. පවුලේ බාලයා විදිහට මට හැමෝගෙම ආදරය ලැබුණා. ඇත්තම කිව්වොත් මට අවුරුදු 13ක් 14ක් වෙනකල් මම අතින් බත් කාලා නැහැ. අක්කලා තමයි මට කෑම කැව්වේ. හරිම සුන්දර ළමා කාලයක් තමයි මට තිබුණේ. මම එතරම් දඟ ළමයෙකුත් නෙවෙයි. හවසට වැඩ ඇරිලා එනකොට මොනවා හරි ගේනවාමයි. හැබැයි පැණි රස දේවල් ගේන්නෙ නැහැ. රටකජු වගේ දෙයක් නමයි. මුලින්ම දෙන්නේ මට. මමනෙ පොඩිම කෙනා. හැබැයි අක්කලා මාව එක එක සෙල්ලම් දාලා රවට්ටනවා. අර කුරුලු පැටව් සෙල්ලම තියෙන්නේ.. ඒක කරමු කියනවා. ඊට පස්සේ එයාලා කුරුලු පැටව් වෙනවා. මම එයාලට රටකජු කවනවා. අන්තිමේ එයාලා තමයි ඔක්කොම කාලා තියෙන්නේ. මට තේරෙද්දි රටකජු ඉවරයි. අද ඒ අතීතය මතක් වෙද්දි හරිම ආදරයක් දැනෙනවා. දැන් මගේ සහෝදර සහෝදරියෝ විදේශ ගතවෙලා ඉන්නේ. ඇත්තටම කුඩාම කාලෙන් පස්සේ අපි හත්දෙනාම එකට හමුවෙන අවස්ථා හරි අඩුයි. ඒත් ඒ ආදරය සිත්වල සුරක්ෂිතව තියෙනවා. අපේ පවුලෙ ඔක්කොම උසස් පෙළින් පස්සේ විදේශ ගතවීම අනිවාර්යයෙන්ම සිදු වුණා. මොකද මගේ එක අක්කා කෙනෙක් තානාපති සේවයේ රුකියාව කළා. ඒ නිසා හැමෝටම ඒ අවස්ථාව හිමිකර ගන්න පුළුවන් වුණා.* සොඳුරු අතීතය සිහි කරමින් ලක්ෂ්මන් පවසයි.

ඒ 2000 දශකයේ මුල් වකවානුවයි. එක්තරා ගීතයක් එවක පැවති නාලිකා කිහිපයේම නිරන්තරයෙන් ඇසෙන්නට විය.

ආදරය වගෙ නොවෙයි

අගහිඟ දැනෙයි කූඩුවේ

දුක දරාගන්න වේවි නුඹට

මහ මෙරක් වගේ..

එම ගීතයයි. මේ ගීතයත් සමඟ ලක්ෂ්මන් හේවාවිතාරණ නමින් ගායන ශිල්පියෙක් මෙරට ගායන ක්ෂේත්‍රයට පියවර තැබීය.

මම ඇත්තටම යොවුන් කාලේ රංගන ශිල්පියෙක් වෙන්න කැමැත්තෙන් හිටියා. අවස්ථා කිහිපයක් චිත්‍රපට සඳහා නළු නිළියන් තෝරාගත්තා. සම්මුඛ පරීක්ෂණවලටත් සහභාගි වුණා. මට මතකයි සමහර චරිත ගැමි චරිත. ඒ වෙනුවෙන් මම සම්මුඛ පරීක්ෂණයට ගියාම ඔයා මේකට පැහැපත් වැඩි වගේ කතාවක් තමයි කිව්වේ. ඔහොම කිහිපයක් වුණාම මට ඒ ගැන තිබුණු කැමැත්ත නැතිව ගියා. ඔය අතරේ මම වයස විසි ගණන්වලට එද්දි ප්‍රංශයට ගියා. ඒ නිසා මගේ ඒ සිහිනය සැබෑවක් වුණේ නැහැ. එහෙ ගිහින් මම විවිධ රැකියා කළා. හරිම සැහැල්ලු ජීවිතයක් ගත කළා. ඔන්න ඔය කාලෙදි මගේ යාළුවෝ කට්ටියක් එක්ක එකතුවෙලා සංගීත කණ්ඩායමක් හදාගත්තා සුවරිද්ම කියලා. අපි යාළුවො ටික මාසෙකට දෙකකට සැරයක් හමුවෙනවා. පුහුණු වෙනවා. මේ විදිහට ටික කාලයක් යද්දි කපුගේ අයියා (විශාරද ගුණදාස කපුගේ) සංගීත ප්‍රසංගයකට සහභාගි වෙන්න ප්‍රංශයට ආවා. ඇවිත් අපිව හමුවෙලා හරිම සුහදව කාලය ගත කළා. කොහොම හරි ප්‍රසංගය නිමාවෙලා දින කිහිපයක් ඔහු ප්‍රංශයේ නැවතී හිටියා. එක දවසක් මම අපේ නිවසට ඔහුට ආරාධනා කළා. එහෙම ඇවිත් නැවත නැවතී සිටි හෝටලයට නොයා අපේ නිවසේම එම දින කිහිපය ගත කළා. අපි හවසට සාද පවත්වනවා. ගීත ගායනවා හරිම සතුටින්. දවසක් මෙහෙම ගීත ගායනා කර කර ඉද්දි මටත් ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. මම එදා ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කරන සඳකඩ පහණක ගීතය. කපුගේ අයියා හොඳින් අහගෙන ඉඳලා මාව හරියට අගය කරලා කිව්වා මල්ලි අපි ගීතයක් කරමු ලංකාවට ගියාම කියලා. ඇත්තටම ඒ හමුවීම හරිම දෛවෝපගත හමුවීමක්.* ලක්ෂ්මන් තමන් ගායකයකු වීමේ පළමු පියවර විස්තර කළේ එලෙසිනි. 

 

ඔහු කුඩා කලදී ආචාර්ය දයාරත්න රණතුංග යටතේ සංගීතය හැදෑරීය. එහෙත් ගායකයකු වීමේ සිහිනයක් තමන්ට නොතිබූ බව ඔහු පවසයි. කෙසේ හෝ එදා ප්‍රංශයේදී හමුවූ කපුගේ සූරීන් ලංකාවට පැමිණි ලක්ෂ්මන්ට නැවත හමුවිය. &ඇත්තෙන්ම කපුගේ අයියා ඉතා නිහතමානී මිනිසෙක්. මම ලංකාවට ආවට පසු දිනක් ඔහු ඔහුගේ සර්පිනාවත් රුගෙන මාව බලන්න මගේ නිවසට පැමිණියා. මම ප්‍රංශයේදී ගොඩක් ආසාවෙන් කළ දෙයක් තමයි ලංකාවේ පුවත්පත්වල කවි පිටුව කියවීම. මාසෙකට සැරයක් තමයි පුවත්පත් ලැබෙන්නෙ එහෙට. මම ඉතින් මේ කවි පිටුව කියවලා හිත යන කවි කපලා පොතක අලවලා එකතු කරනවා. ඉතින් මේ කවි පොතත් අරන් තමයි මම යන එන තැනකට යන්නේ. එදා කපුගේ අයියා අපේ ගෙදරට ඇවිත් මල්ලි මම ඔයාට සින්දුවක් කරමු කිව්වනෙ.. මේ සැරේ එකක් කරමු කියලා කිව්වා. මම අර කවි එකතු කරලා තිබුණු පොත අරන් ඒකෙ මගේ හිත ගිය කවියක් අරන් කපුගේ අයියට දුන්නා. එයා ඒකට තනුවක් දාලා මම ආපසු ප්‍රංශයට යන්න කලින් ගීතය පටිගත කළා මර්වින් බෙන්ස්ගේ නෙකෝ ශබ්දාගාරයේදී. ගීතයට අවශ්‍ය කරන සියලුම වියදම් දැරුවේ කපුගේ අයියා. ගීතය කරලා මාත් එක්කම ගුවන්විදුලි නාලිකා කිහිපයකට ගියා එයාගෙම වාහනේ. 2002 දි මම මේ කියන්නේ. ඉතින් සතියකට දෙකකට පස්සේ ගීතය ඒ සියලු නාලිකාවල ප්‍රචාරය වුණා. එය තමයි මගේ පළමු ගීතය.

විශාරද ගුණදාස කපුගේගේ ආදරණීය අතහිත දීමත් සමඟ සංගීත ලෝකයට පය තැබූ ලක්ෂ්මන් හේවාවිතාරණට ඔහුගේ සංගීත ගමනට ඉන් පසුවද කපුගේ සූරීහු අතහිත දුන්හ. ඇත්තටම මේ ගීතය ජනප්‍රිය වුණාට එය ලිව්වේ කවුදැයි මමවත් දැන සිටියේ නැහැ. දිනක් රෑපවාහිනී වැඩසටහනකදි මම ඒ ගැන කියලා කවිය ලියූ කෙනාට මට ලියන්න කියලා කිව්වා. විශ්වාස කරන්න.. මට ලිපි විශාල සංඛ්‍යාවක් ලැබුණා තමන් ඒ කවිය ලියූ බව කියලා. නමුත් ඒ කවියේ එක් තැනක් වෙනස් කරලා තමයි මම ගීතය පටිගත කළේ ගායනයේදී යම් අපහසුවක් ආ නිසා. ඒ නිසා ලිපි එවූ අය අතර කවියේ නියම හිමිකරු නොමැති බව මට තේරුණා. මෙහෙම කාලයක් යද්දි මහාචාර්ය සුනිල් ආරියරත්න මට කතා කළා. ලක්මාල් කියලා කෙනෙක් මේ කවිය ලියූ බවත් එහි කටු සටහන පවා තමන්ට පෙන්වූ බවත් කිව්වා. ඉතින් ඒ අනුව තමයි එම ගීතය බවට පත්වූ කවිය ලියූ කෙනා අප සොයාගත්තේ. පසුව මට කුලරත්න ආරියවංශ කිව්වා ගීත එකතුවක් කරමු කියලා. ඒ වගේම ලලිත් වසන්ත කතා කළා. කැසට් පටයක් කරන්න ගීත කිහිපයක් අවශ්‍යයිනෙ. ඉතින් මේ ගැන කියද්දි කපුගේ අයියම තමයි කිව්වේ මේ ගමන්ම තව සින්දු ටිකක් කරන්න කියලා. එහෙම කියලා එච්.එම්. ජයවර්ධන ඇතුළු බොහෝ දෙනෙක්ව කපුගේ අයියම තමයි මට හඳුන්වලා දුන්නේ. මාස දෙකක් වගේ ඇතුළත ගී තැටියකට අවශ්‍ය තරම් ගීත නිර්මාණය කර ගන්න මට හැකි වුණා. ශාන්ත කුමාර විතාන ලියූ මල් කැකුළකට ආදරේ කරන්න ගීතය මම සංගීතවත් කළා. අමිලා තේනුවර ලියූ මං අහන්නෙ නම් නෑ රත්තරනේ එච්.එම්. අයියා (එච්.එම්. ජයවර්ධන) සංගීතවත් කළ ගීතය ඇතුළු ගීත නිර්මාණය වුණා. ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ ලියූ එපා වෙන්නට පෙර ඔබට ගීතයත් මට ලැබුණා. ඒකත් හරිම අපූරු සිදුවීමක්. කපුගේ අයියම තමයි කිව්වේ රත්න ශ්‍රීට කියලා සින්දුවක් ලියාගන්න කියලා. එතකොට මම රත්න ශ්‍රී අයියව දන්නෙ නැහැ. මම ඉතින් පිටරට ඉඳන් ඇවිත් මාස දෙකක් විතරනේ. ලංකාවෙ විලාසිතා නෙවෙයිනෙ ඉස්සර කළේ. ඉරිච්ච ඩෙනිමක් ඇඳලා, මාල දාලා. ඉතින් මම දුරකථන ඇමතුමකුත් දීලා ගියා. කොල්ලුපිටිය පැත්තේ කාර්යාලයක. මම ගිහින් කිව්වා කපුගේ අයියා කිව්වේ කියලා. රත්න ශ්‍රී අයියා මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට හොඳට බැලුවා. බලලා ඔයාට දෙන්න සින්දු නම් මගේ ළඟ නැහැ කිව්වා. මට තේරුණා මගේ ස්වරෑපය අනුව තමයි මෙහෙම කියන්නෙ කියලා. මම කිව්වා නෑ අයියේ.. කරුණාකරලා පොඩ්ඩක් පහළට ඇවිත් කාර් එකේ කපුගේ අයියා කරලා දුන්න මගේ සින්දුව අහන්නකෝ කියලා. අනේ රත්න ශ්‍රී අයියා ඇවිත් ඇහුවා. ඇහුව ගමන් හරි හරි යං.. මම ලියූ සින්දුවක් තියෙනවා.. ඔයාට දෙන්නම් කියලා එපා වෙන්නට පෙර ඔබට ගීතය මට ලබා දුන්නා

මේ වනවිට ඔහු ගීත විශාල සංඛ්‍යාවක් සඳහා සංගීතවේදියකු ලෙස ද දායක වී ඇත. එමෙන්ම ඔහු ගැයූ ටෙලිනාට්‍ය තේමා ගීත අතර පූජා ටෙලිනාට්‍ය වෙනුවෙන් ගැයූ පෑල දිග අහසේ ගීතය ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක්ම තිබේ. ඉදිරියේදී ඔහුගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගය ද අපට විඳීමට ඉඩ ලැබෙනු ඇති බව ලක්ෂ්මන් පවසයි. පසුගිය අප්‍රේල් දෙවැනිදා තමයි ගලේවෙලදි එය පවත්වන්න නියමිතව තිබුණේ. ඒත් රටේ පැවැති තත්ත්වය, ඇඳිරි නීතිය නිසා එය පවත්වන්නට බැරි වුණා.

ඉදිරියේදී බලමු යැයි ඔහු පවසද්දී මම විවාහය ආදරය ගැන මොනවාද කියන්නේ යැයි ඇසුවෙමි. තරුණ කාලේ විදේශගත ජීවිතයක් ගත කරද්දී මට වගකීමක් ගැන අවබෝධයක් තිබුණෙ නැහැ. හරිම කෙළිලොල් ජීවිතයක් තමයි ගත කළේ. ඔහු අතීතය පිළිබඳව කල්පනාබරව පවසයි. ඉතින් ගායකයෙකු, සංගීතවේදියෙකු ලෙස තව තවත් රසික ජනතාව පිනවන්නට ඔහුට හැකියාව ලැබේවායි හදසර අපි සුබ පතමු.

මොනිකා සේරසිංහ / සේයාරූ I අන්තර්ජාලයෙන්