රිතූ,සචිනි දෙවිදියක දෙන්නෙක් එක් කෙනෙක් අහිංසකයි අනිත් කෙනා දඟකාරයි
නදුනි මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන ඉන්නවා නේද?
ඔව්. ඇත්තටම මේ දිනවල මම රංගනයෙන් දායක වෙන ‘‘දියණි’’ නිර්මාණය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවෙලා තියෙනවා. එහි මම ද්විත්ව චරිත නිරූපනයක් කරන්නෙ. ඒ මගේ පළමු අත්දැකීම. ඉතින් ලැබෙන ප්‍රතිචාරවලින් රංගනය සාර්ථකයි කියලා හිතනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
නදුනි මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන ඉන්නවා නේද?
ඔව්. ඇත්තටම මේ දිනවල මම රංගනයෙන් දායක වෙන ‘‘දියණි’’ නිර්මාණය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවෙලා තියෙනවා. එහි මම ද්විත්ව චරිත නිරූපනයක් කරන්නෙ. ඒ මගේ පළමු අත්දැකීම. ඉතින් ලැබෙන ප්‍රතිචාරවලින් රංගනය සාර්ථකයි කියලා හිතෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
ද්විත්ව චරිත රංගනය අලුත් අත්දැකීමක් කිව්වනෙ. ඒ වගේම ලොකු අභියෝගයක් වෙන්න ඇති ?
අනිවාර්ය්යයෙන්ම. මොක ද මම ද්විත්ව චරිත රංගනයක් කරන පළමු වතාව. මේ චරිත දෙක දෙවිදියක්. රිතූ සහ සචිනි කියන චරිත දෙක. මෙහි චරිත ලක්ෂණ එකිනෙකට වෙනස්. එක චරිතයක් අහිංසකයි. අනික් චරිතය විලාසිතාවකට බර ටිකක් දඟකාර චරිත රංගනයක්. ඉතින් මේ චරිත ද්විත්වය පුළුවන් උපරිමයෙන් කළා කියලා හිතනවා.
නදුනිට සාමාන්‍යයෙන් ලැබෙන්නෙත් අහිංසක ගැමි චරිත නේද?
ඔව්. මට මෙතෙක් ලැබිලා තියෙන්නෙ එවැනි චරිත. මට ප්රේක්ෂකයො මුලින්ම ආදරය කරන්න ගත්තෙත් නිවුණු අහිංසක චරිතයක් හරහානෙ. ඒ ‘‘පාවෙනා වළාකුළේ ඒවිද අම්මා’’ රංගනයෙ නිරාෂා චරිතයට. අදටත් ඒ ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනවා.
ඉතින් මේ දිනවල ‘‘දියණි’’ ගැන කතා කරන නිසාම ඒ ගැන වැඩි විස්තර ටිකක් කියමු ?
‘‘දියණි’’ ද්විත්ව චරිත රංගනයට මාව සම්බන්ධ කර ගන්නෙ දෙරණ නාළිකාවෙන්. ඔවුන් මාව මේ වෙනුවෙන් යෝජනා කරලා තියෙද්දී එහි අධ්යක්ෂවරයා හර්ෂ උඩකන්ද මහත්මයා තමයි මට ආරාධනා කරන්නෙ. ඉතින් ඇත්තටම මාව විශ්වාස කරලා මට මේ චරිත රංගනයන් ලබා දුන්න ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ.
‘‘දියණි’’ එක්ක නදුනි මේ දිනවල ඉස්කෝලෙත් යනවා නේද ?
ඔව්. දියණි නාට්‍යයත් එක්කම මගේ අනිත් නිර්මාණ දායකත්වය ‘‘ඉස්කෝලෙ’’ එහි මම ගුරුවරියකගේ චරිතයක් රඟ දක්වන්නෙ. ආලෝකා ටීච. ඇයට මාර ආදරයක් තියෙනවා ගොඩක් දෙනෙක්ගෙ. වැහෙන්න යන ඉස්කෝලයක් බේරගන්න උත්සාහ කරන අවංකව දුෂ්කර සේවයට ඇවිල්ලා ගමක ජීවත් වෙන තරුණ ගුරුවරියක් ඇය. ඉතින් මේ චරිතයට බොහෝ දෙනෙක්ගේ පැහැදීමක් තියෙනවා. ලොකු, කුඩා භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා. පාර තොටේ වුණත් පුංචි ළමයි මාව දැක්කම දණ ගහලා වඳිනවා. ඒ තරමට ඒ ටීචට ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම මේ වගේ ගෞරවනීය චරිත රංගනයන් තුළින් ආදරයක් ලබන්න මම කොච්චර වාසනාවන්ත ද? කියලා හිතෙන තැන් තියෙනවා.
නදුනිට පුංචි දරුවෝ එක්ක ගොඩක් වැඩ කරන්න ලැබිලා තියෙනවා නේද?
ඔව්, ඇත්තටම මගේ පළමු නිර්මාණයෙත් පුංචි දරුවෙක් එක්ක වැඩ කළේ. එතැනින් පසුවත් පුංචි දරුවෝ එක්ක වැඩ කරන්න ලැබුණා. ‘‘ඉස්කෝලේ’’ නිර්මාණයේ නම් ටිකක් ලොකු දරුවෝ එක්ක වැඩ කරන්න ලැබුණෙ. ඇත්තටම ගොඩක් දඟයි ඔවුන්. පුංචි දරුවොනෙ. නමුත් හරිම සොඳුරුයි. පුංචි දරුවෝ එක්ක වැඩ කරද්දී ඔවුන් ඇත්තටම ගොඩක් දක්ෂයි. වැඩ කරන්න වුණත් හරි පහසුයි. ඉතින් ඒ කාල සීමාවෙ ලොකු සතුටක් වගේම හිතටත් සහනයක් ලැබෙනවා. මමත් හරිම ආසාවෙන් ඒ දරුවෝ එක්ක වැඩ කරන්නෙ. මේ දිනවලත් මට ‘‘දියණි’’ නාට්‍යයේ පුංචිම දරුවෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ පුංචිම දරුවෙක් මාස 3ක. ඒ රංගනය නම් ටිකක් අපහසු වුණා. මොක ද ඒ බබා පොඩි වැඩියි. අඬනවා රූගත කරද්දී එහෙම. ඇයි ඉතින් අව්ව එහෙම එද්දී අපහසුයිනෙ බබාට. ඉතින් ඒ වගේ යම් යම් අපහසුතාවලට ද පත්වෙනවා. නමුත් ඉතින් හරි සුන්දරයි ඒ හැමදේම.
මේ රංගනයන්ට අමතරව නියැළෙන නිර්මාණ මොනව ද?
සියත නාළිකාවෙ විකාශය වන ටෙලි නිර්මාණයක මම මාධ්යවේදිනියකගෙ චරිතයක් කරනවා. ඒක වෙනස්ම චරිත රංගනයක්. සමාජ අසාධාරණයට එරෙහිව වැඩ කරන ප්‍රබල මාධ්‍යවේදිනියක්. ඉතින් ඒ චරිතයටත් ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. මේ චරිතය ලැබෙද්දිත් මම ගොඩක් ආසාවෙන් භාර ගත්තෙ.
නදුනි කලු හෝ සුදු වේවා ඕනෑම චරිත රංගනයන් භාර ගන්න සූදානම් ද?
අනිවාර්ය්යයෙන්ම. මට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනෑම චරිතයක් කරන්න මම සූදානම්. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකුට ඕනෑම චරිතයක් අභියෝගයක් භාර ගන්න හැකි වෙන්න ඕනෑ. මමත් එකම රාමුවක කොටු නොවී විවිධාකාර චරිත රංගනයන්ට යන්න ආසයි.
මෙතෙක් ලැබිලා නැති කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනව ද?
ඔව්. මම ආසයි දුෂ්කර ගමක ජීවත් වෙන දුප්පත් අහිංසක තරුණියකගෙ චරිතයක් කරන්න. ඒ වගේම වෙනම විදියකට ආරූඪ වෙන්න පුළුවන් පිස්සු චරිත, මන්ද මානසිකත්වයෙන් පෙළෙන චරිතයක් වගේ කරන්න කැමතියි. එවැනි චරිත රංගනයක් ලැබුණොත් ඉතා කැමැත්තෙන් භාර ගන්නවා.
රංගනයට අමතරව ගායනය සහ නිරූපණයෙන් ඉදිරියෙන් ඉන්නවා නේද?
මම මුලින්ම ක්ෂේත්රයට ආවෙ බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට. නමුත් මම රංගනයට අවතීර්ණ වුණාට පස්සෙ ඒ පැත්ත ටිකක් මඟ ඇරුණා.
මොකද දැන් කාලය කළමණාකරනය කරගන්න ටිකක් අමාරුයි. සංගීතය පැත්තෙන් නම් මගේම ගීත නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම ගොඩක් කැමතියි ගායනයට. ඒ නිසා මේ අවුරුද්දෙ කොහොම හරි මගේම ගීත නිර්මාණයක් එළිදක්වන්න ඕනෑ.
නදුනිත් දිනුෂත් එකතුවෙලා ගීත නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
අපි දෙන්නගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැනටත් සැලසුම් කරලා තියෙන්නෙ. නමුත් රටේ පවතින තත්ත්වය එක්ක ඒවා ක්‍රියාත්මක කරගන්න බැරිව ඉන්නෙ.
පුංචි තිරයේ මේ වෙද්දි කාර්ය බහුල වෙලා ඉන්නවනෙ? ඉතින් මේ ඉල්ලුම එක්ක පුංචි තිරයෙන් රිදී තිරයට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැද්ද?
මේ වෙද්දී ආරාධනා නම් කිහිපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම තිර පිටපත බලලා තමයි තෝර ගන්නෙ. මට කරන්න පුළුවන් කියලා හිතෙන චරිත රංගනයක් ලැබුණොත් අනිවාර්යයෙන් ඒ අත්දැකීමටත් මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ඉතින් මේ යන විදියට අපේ අනාගතේ සැලසුම් තියාගන්න බැහැනෙ. කළින් තිබුණු සැලසුම් ඔක්කොම කණපිට ගහලා තියෙන්නෙ මේ වෙද්දී. ඒ නිසා අද දවස ගැන හිතලා තමයි වැඩ කරගෙන යන්නෙ. ඉදිරිය ගැන ලොකු සැලසුම් ගහලා නැහැ. එන දේකට මුහුණ දෙනවා.
ඉතින් අද මේ ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නෙ?
ඒ ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. ඒ ආදරය ප්‍රතිචාර හරිම සුන්දරයි. ප්‍රේක්ෂක ආදරය කියන දේ මාරම දෙයක්. කොහේ ගියත් දැන හඳුනගෙන කතාබහ කරන අය ඉන්නවා. ඉතින් ඒ ලැබෙන සතුට තෘප්තිය වෙනත් කිසිම දේකින් ගන්න බැහැ.
ධනු විජේරත්න
ඡායාරූප - සජීව ලක්ෂාන්
හැඩගැන්වීම් - ප්‍රසන්න කොළඹආරච්චි