රටේ ප්‍රශ්න ඉවර වුණොත් සතුට වැඩිවෙයි
සංජානා ගමාරච්චි සහ හෂාන් රත්නායක කියන්නෙ කලා ක්ෂේත්රයේ නවක කලා ශිල්පීන් ලෙස අද වනවිට ඉදිරියෙන්ම සිටින චරිත ද්විත්වයක්. මෙවර සඳැල්ල කවරය හැඩ කරන්නෙත් මේ දෙපළ. අවුරුදු සිරියත් එක්කම ඔවුන් සඳැල්ල හා ගොඩවැදුනෙ මෙලෙසින්.
හෂාන් මේ දිනවල සිද්ධවෙන රංගන කටයුතු ගැන කතා කරමු?
මම සම්බන්ධ වෙලා හිටපු ටෙලි නිර්මාණයක් වුණු ‘‘ධරණි’’ පසුගිය සතියේ අවසන් වුණා. එහි ‘‘දේවින්දගෙ’’ චරිතයට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඉතින් අද වෙද්දි මම දායකවෙලා ඉන්න ‘‘ගුග්ලි’’ නිර්මාණයේ ‘‘රදීෂ්ට’’ අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඉතින් ඉදිරියේදිත් මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා වගේම තවත් නිර්මාණ සඳහා ආරාධනාත් ලැබිලා තියෙනවා.
‘‘ගුග්ලි’’ රූගත කිරීම් සිදුවෙද්දි හෂාන් ගොඩක් සංවේදී වෙනවා කියන්නෙ ඇත්තද?
ඔව්. ඇත්තටම රදීෂ් කියන්නෙ ගොඩක් සංවේදී චරිතයක්. මේ නාට්‍යය රංගනයේ නෙහාරා පීරිස් තමයි මගේ අක්කාට ඉන්නෙ. අයියා ගයාන් වික්‍රමතිලක, අම්මාට රංගනයෙන් දායකවෙන්නෙ ප්‍රියා මහත්මිය. ඉතින් මේ පිරිස එක්ක වැඩ කරද්දි එකම පවුලක් වගේ. මම තමයි පවුලෙ බාලයා. ඉතින් ගොඩක් වෙලාවට මට රංගනයෙන් දායකවෙන්න තියෙන්නෙ අයියා සහ අක්කාත් එක්ක. ඒ අතරින් අක්කා එක්ක රංගනයෙන් දායකවෙන්න තියෙන සිද්ධි වැඩියි. ඒ තුළ අක්කා සහ මල්ලි කියන බැඳීම හරිම ශක්තිමත්. ඉතින් මේ නාට්‍යයේ සිදුවීම් ගලාගෙන යන විදියට අක්කා සංවේදී වෙන තැන්වලදි ඇයගේ කඳුළුවලදි රංගනයක් වුණත් මගේ ඇස්වලටත් කඳුළු එනවා. ගොඩක් වෙලාවට සංවේදී වෙන තැන් තියෙනවා. ඒ දේ ඉබේම සිද්ධවෙන්නෙ.
ඉතින් මේ අලුත් නාට්‍ය කණ්ඩායමෙන් හෂාන්ට ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මෙහි අධ්යක්ෂවරයා මේනක රාජපක්ෂ අයියා ඇතුළු අනෙක් හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම ‘‘ගුග්ලි’’ කියන්නෙ දැන් අපි එකම පවුලක් වගේ. හැමදෙනාම එකම බැඳීමකින් කටයුතු කරනවා. ඒ බැඳියාව නාට්‍යයේ සාර්ථකත්වයට ලොකු පිටිවහළක් වෙලා තියෙනවා කියල මම විශ්වාස කරනවා.
මෙහිදී ඔබේ පෙම්වතිය විදියට රංගනයෙන් දායකවෙන්නෙ සංජානා. ඇයගෙන් ලැබෙන සහය කොහොමද? සහ ඒ මුණගැහීම කොහොමද?
ඇත්තටම සංජානා මට මුලින්ම මුණගැහෙන්නෙ 2018 වසරේ. ඒ වසරේ හිරු නාළිකාවෙ අවුරුදු කුමරා කුමරිය තරගයෙන් ජයග්‍රහනය කරන්න අපි දෙන්නටම අවස්ථාව ලැබෙනවා. ඒ මුණගැහීමත් එක්ක ඇය මේ ක්ෂේත්රයේ හොඳම යාළුවා වෙනවා. ඒ තැනින් පසුව ගොඩක් වෙලාවට අපි දෙන්නට නිරූපන ක්ෂේත්රයේ එකට එකතුවෙලා වැඩ කරන්න ලැබෙනවා. පෙම් යුවළක් විදියට විශේෂයෙන් බ්‍රයිඩ්ල් ෂූට් වලත්, මියුසික් වීඩියෝවලත්, වෙළඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙනවා. මම හිතන්නෙ අපි දෙන්නා මේ වෙද්දි කරන්න බැරි තරම් බ්‍රයිඩ්ල් ෂූට් කරලා ඇති. ඉතින් ඒ දේවල් එක්ක අපි දෙන්නත් බලාගෙන හිටියා. එකට එකතුවෙලා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඉතින් ‘‘ගුග්ලි’’ නිර්මාණය හරහා තමයි අපේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබුණෙ. ඉතින් මේ ආරාධනාව ලැබුණම අපි දෙන්නම ගොඩක් සතුටින් මේ දේ භාරගත්තෙ.
ඒ විදියට දෙන්නාට එකට එකතුවෙලා වැඩ කරන්න ලැබෙන්නේ ඇයි ‘හෂාන්’ හිතන විදියට?
අපි දෙන්නාගෙ පෙනුම පෙම්වතුන් විදියට ගැළපෙනවා ඇති. මම කළින් කිව්වා වගේ අපි සැබෑ ජීවිතේත් හොඳම, ළඟම යාළුවො ජීවිතේ ගොඩක් දේවල් බෙදා හදා ගන්නවා. ඒ බැඳීමත් අපි අතර තියෙනවා. ඉතින් අපි නිරූපන කටයුතුවලදී වුණත් හරි සහයෝගයෙන් වැඩ කරගෙන යන්නෙ. ඉතින් අපේ මිත්‍රත්වය සහ ඒ බැඳීම නිසාත් ගොඩක් දෙනෙක් පෙම් යුවළක් විදියට අපිව කලා නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා ඇති.
ඊට එහා ගිය සම්බන්ධයක් නැද්ද?
අනේ නැහැ. නමුත් ගොඩක් දෙනෙක් කියනවා අපි පෙම්වතුන් වෙන්න ඇති කියලා. ඒ විදියට ගොසිප් ගොඩක් ගිහින් තියෙනවා. නමුත් අපි ඇත්තටම හොඳම යාළුවො විතරයි.
හෂාන් රත්නායක කියන්නෙත් අවුරුදු කුමාරයෙක් විදියට මේ ක්ෂේත්රයට ආපු කෙනෙක්නෙ. ඒ කියන්නෙ ‘‘බක් මාසය’’ හෂාන්ටත් වාසනාව ගෙනාවා?
ඔව්. ඇත්තටම අප්‍රේල් කියන්නෙ මගේ ජීවිතේ ගොඩක් තැන් වෙනස් කරපු මාසයක්. ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියන්න පුළුවන්. ඉතින් මම අවුරුදු කුමාරයා තරගයට 2018, 2019 වසරවල සම්බන්ධ වුණා හිරු නාළිකාවෙත් සිරස නාළිකාවෙත්. ඒ තුළින් ජයග්‍රහණය කරන්න ලැබීමෙන් අනතුරුව තමයි මට මේ ක්ෂේත්රයන්ට එන්න අවස්ථාව ලැබුණෙ.
ඉතින් ඒ ආපු ගමන් මගේ මම මේ වෙද්දි අවුරුදු කුමර කුමරියෝ තරගාවලිවල විනිශ්චය කරන්න එකතුවෙලා ඉන්නවා. විශේෂයෙන්ම මෙවර ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමර කුමරියෝ තෝරද්දී ඒ වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ වුණා. ඒ වගේම මේ මාසය තුළ ගොඩක් තරගාවලිවලට ඒ විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
මේ හැමදේම මට අලුත්ම අත්දැකීමක්. මට මතකයි මමත් මුලින් අවුරුදු උත්සවවල අවුරුදු කුමර කුමරි තරගාවලිවලට සම්බන්ධ වුණා. නමුත් ඒ හැම තරගයකින්ම ජයග්‍රහණය කරන්න ලැබිලා නැහැ. ගොඩක් කටු කාලා තමයි මේ තැනට ආවේ. මම අලුතින් එන නවකයන්ට වුණත් කියන්නෙ තමන්ට යම් දෙයක් ගැන අරමුණක් බලාපාරොත්තුවක් තියෙනව නම් ඒ දේට විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා නැවතෙන්න හොඳ නැහැ. අපිත් පියවරෙන් පියවර තමයි මේ දේවල් ලබා ගත්තෙ. ඉතින් මේ හැමදේම ජීවිතේට ලැබුණෙ වාසනාවන්ත බක් මාසය නිසා තමයි.
බක් මාසය වාසනාවන්තයි කිව්වනෙ? ඉතින් පුංචි කාලෙදි ඒ මාසය ගත කළේ කොහොමද?
මම පුංචිම කාලෙදි හැදුනෙ මාතර. පසුව තමයි කොළඹට එන්නෙ. මාතර කියන්නෙ ගොඩක් ගම්බද ප්‍රදේශයක්නෙ. ඉතින් අපි ඒ කාලෙදි අප්‍රේල් අවුරුදුවලට සූදානම් වෙන්නෙ ජනවාරි මාසෙම ඉඳලා වගේ තමයි. ආච්චිලා ගෙවල්වල ගොම මැටි ගානවා. කැවිළි පෙවිළි හදන්න සුදානම් වෙනවා. ගෙවල්වල ඔංචිලි බඳිනවා. ඉතින් අපි කජු ඇහිඳින්න, අඹ කඩන්න යනවා. හරිම සුන්දරයි. ඉතින් ඒ මතකයන් හැමදාම හිතේ තියෙනවා.
මෙවර බක් මාසයට තියෙන සූදානම කොහොමද?
පසුගිය කාලෙදි රටේ තිබුණු වසංගත තත්ත්වයත් එක්ක අපි හිරවෙලානෙ හිටියෙ. නමුත් ඉතින් මේ අවුරුද්ද ඊට වෙනස් වෙලා ටිකක් කාර්බහුල වෙලා තියෙනවා. නාළිකාවල අවුරුදු උත්සවවලට සම්බන්ධ වෙනවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලවලට සම්බන්ධ වෙනවා. ඒ අතරතුර රංගන කටයුතුත්, නිරූපණ කටයුතුත් කරගෙන යනවා. ඉතින් වෙනදට වඩා 2022 අවුරුද්ද වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනසට මම ගොඩක් කැමතියි. හරි සතුටින් මේ මාසෙ ගතවෙලා යන්නෙ. රටේ ප්‍රශ්නත් අවසන් වුණොත් ඉතින් ගොඩක්ම සතුටින් ජීවත්වෙන්න පුළුවන් වෙයි.
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්
ඇඳුම් නිර්මාණය – ප්‍රනීත් රණවීර