රටේ තියෙන සෑම දෙයක් සමඟම බැදුණු කතාවක් තියෙනවා. ඒ වගේ තැන් ගොඩක අපි ඇවිද්දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර Star Travel විශේශාංගය වෙනුවෙන් සඳැල්ල හා එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුජානි මේනකා.

Travel කරන්න කොච්චර කැමතිද? 

ඇත්තටම මම Travel කරන්න ගොඩාක් කැමති කෙනෙක්. ඒක මගේ තාත්තාගෙන් ලැබුණු පුරුද්දක් මම හිතන්නේ.  ඒ කාලේ තාත්තාට නිවාඩුවක් හම්බුණාම ගොඩක් ඈතක නොවුණත් කොහොමහරි කොහෙහරි ඇවිදින්න යන්න සැලසුම් කරනවා. තාත්තා ලැබෙන හැම වෙලාවෙම පිට පළාතකට හරි අපිව ඇවිදින්න එක්කන් යනවා. පසු කාලීනව මම Travel කරන්න කැමති හස්බන්ඩ් කෙනෙක් සමඟ විවාහ වීම නිසා මට තවත්  Travel කරන්න අවශ්‍ය නිදහස සහ කැමත්ත වැඩි වුණා. 

ලංකාවේ වැඩිපුරම Travel කළේ කොහෙද?

මම හිතන්නේ මට යන්න බැරි වුණු තැන් මොනවද කියන දේ තමයි වැදගත්. මොකද මම ලංකාවේ ගොඩක් තැන් වල Travel  කරලා තියෙනවා. මට ඒ අවස්ථාව මගේ වෘත්තීය එක්ක ලැබෙනවා. පුංචි කාලේ ඉදලා රංගන ක්ෂේත්‍රයේ රැඳුනු කෙනෙක් විදියට ලංකාවේ ගොඩක් තැන් වල සංචාරය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතර මඩකලපුව පැත්තට මට යන්න අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ ඒ බලාපොරොත්තුවත් ඉශ්ට කරගන්න හැකි වුණා. ඒ වගේම යාපනේ ගිහින් තිබුණේ නැහැ. ඒ කැමත්තත් ඉටු වුණා. මට හිතාගන්නත් බැහැ ලංකාව ඇතුළේ මට තව කොහෙද Travel  කරන්න තියෙන්නේ කියලා. මගහැරුණු තැන් ඇති ගම් ඇතුළට වෙන්න එහෙම. නමුත් සංචාරය කරන්න ගියපු තැන් තමයි ගොඩක්ම තියෙන්නේ. 

පිටරට වල වැඩිපුරම Travel කළේ  කොහෙද?  

දැනට මම රටවල් 20ක විතර Travel  කරලා තියෙනවා. මැද පෙරදිග සෑම රටකම, ඕස්ට්‍රේලියාවල හොංකොං ඉතාලිය වගේම ඒ අතරින් වැඩිපුරම Travel  කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට තමයි. මට Travel  කරපු රටවල් මතක නැති තරම් රටවල් කිහිපයකම සංචාරය කරලා තියෙනවා. 

සුජානි මෙච්චර කාලෙකට Travel කරපු හොඳම සංචාරය මොකක්ද?  

මෙතෙක් Travel  කරපු හොඳම සංචාරය කිව්වොත් ඉතාලිය සංචාරය තමයි. මොකද හස්බන්ඩ් සහ මම ඉතාලියට තමයි එකට පිටරටක සංචාරය කළේ. සාමාන්‍යයෙන් හස්බන්ඩ් සහ මම වැඩ වලට පිටරට වලට ගියේ වෙන වෙනම නමුත් ඉතාලි සංචාරයට අපි දෙන්නටම එකට සහභාගි වෙන්න ලැබුණා. අපි දෙන්නා ඉතාලියේ සංචාරය කරපු සෑම තැනක් ගැනම කාතා බහ කළා. අපි ඉතාලිය ගැන දැන ගෙන හිටපු දේවල් සජීවීව දකින්න ලැබුණ එක තවත් සුන්දර අත්දැකීමක් වුණා. ඉතාලිය කියන්නේ ගොඩක්ම ඓතිහාසික වටිනාකමක් තියෙන වෙනස්ම රටක්. ඒ රටේ තියෙන සෑම දෙයක් සමඟම බැදුණු කතාවක් තියෙනවා. ඒ වගේ තැන් ගොඩක අපි ඇවිද්දා. ඉතාලියේ ඕනෑම තැනකම ඇවිද්දොත් ඒ ඇතුළේ අපි දන්න කතා තියෙනවා. ඒ කතා ඇතුළේ තිබුණු තැන් වලට ගියාට පස්සේ දැනෙන්නේ වෙනමම හැඟීමක්. රෝමියෝ ජුලියට් කතාව අහලා ඉතාලියේ වෙරෝනා නගරයේ රෝමියෝ ජුලියට් හිටපු තැනට ගියාම ඒක හරි සුන්දර හැඟීමක්. ඒ නිසාම ඉතාලිය කියන්නේ වෙනමම ලෝකයක් වගේ.  

සුජානි මේ වසරේ Travel කරන්න බලාපොරොත්තු වෙන තැන් මොනවද? 

මම මේ වසර පටන් ගත්තෙත් ඔස්ට්‍රේලියානු සංචාරයකින්. ඉදිරියේදී හස්බන්ඩ්ට සහ මට කැනඩාවේ සංචාරයක් යෙදිලා තියෙනවා. ඒකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාව ඇතුළේ නම් අප්‍රේල් මාසේ කියන්නේ අපි දෙන්නටම පොඩි නිවාඩුවක් හම්බෙන මාසයක්. ඉතින් ඒ ලැබෙන නිවාඩුව සැලසුම් කරලා Travel කරන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වසරේ රිවස්ටන් යන්න වගේම කැලේක  ඇතුලට වෙන්න දවස් දෙකක් තුනක් විතර Travel  කරන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව හස්බන්ඩ් සහ මම කැමති හැම අවුරුද්දෙම කරන දෙයක් තමයි මුහුදක් අයිනට වෙන්න ගාල්ල හෝ මාතරට වෙන්න දවස් කිහිපයක් විවේක කාලය ගත කරන්නයාම.   

සුජානි Travel කරද්දී කන්න ලැබුණු රස කෑම මොනවද ?

ඇත්තටම මම සාමාන්‍යයෙන් Travel  කරන්න යනවා නම්, හරිම කැමති දෙයක් තමයි රට රටවලට ආවේණික කෑම වර්ග ට්‍රයි කරලා බලන එක. ඒ වගේම තමයි ලංකාවේ වෙනස් පැතිවල වෙනස් ආහාර රසවිදින්න මම හරිම කැමතියි. එකම කෑම වුණත් විවිධ ප්‍රදේශ වලදී රස වෙනස්. ඉතින් මම කැමති Travel කරන්න ගියාම අලුත් කෑම ට්‍රයි කරලා බලන්න.

Travel කරද්දි සුජානිට සිදු වුණු අමතක නොවෙන රසබර මතක මොනවද?

ඇත්තටම හොඳම මතකය තියෙන්නේ මගේ පළවෙනි විදේශ සංචාරය අවුරුදු 22 දී විතර ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාව. ඒක මගේ පළවෙනි විදේශ සංචාරය වගේම ෆ්ලයිට් එකක යන පළවෙනි අත්දැකීම. ඉතින් මගේ ඉස්කෝලේ යාලුවෙක් හිටියා කළින් Travel  කරලා තිබුණු කෙනෙක්. මම එයාගෙන් අැහුවා කොහොමද ඒ අත්දැකීම මොකද වෙන්නේ කියලා එයා කිව්වා ඔයාට සැරෙන් සැරේ බඩගිනි වෙයි සමහරවිට ෆ්ලයිට් එකේ යද්දී කියලා. ඒ නිසා චීස් පෙට්ටියකුයි, බිස්කට් එකකුයි අරන් යන්න කියලා කිව්වා. නමුත් හොදට ෆ්ලයිට් එකේ කෑමත් දුන්නා, බඩගිනි වුණෙත් නැහැ. ඕස්ට්‍රේලියාවට ගිහින් උවමනාවකට මගේ බෑග් එක අදිද්දී අර බිස්කට් එකයි, චීස් පෙට්ටියයි වැටුණා. කට්ටියම විහිළු කරන්න ගත්තා ඕස්ට්‍රේලියාවට චීස් ගෙනාපු කෙනා කියලා. ඉතින් ඒ මතකය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේ Travel කරන්න ගිහින් පාර වැරදුණු මතක, පාර හොයාගන්න බැරුව රැයවල් පාර අයිනට වෙලා හිටපු සුන්දර මතක තියෙනවා. 

සුජානිගේ පුංචි කාලේ Travel මතක මොන වගේද? 

අපිට ඉස්සර වාහනයක් තිබුණේ නැහැ. ඉතින් අම්මයි, තාත්තයි, මමයි, නංගියි ඇවිදින්න ගියේ කෝච්චියේ, බස් එකේ තමයි. අපි කෝච්චියේ නම් යන්නේ අපේ තාත්තා පහුවෙන හැම ගමක් ගැනම කතාවක් කියනවා මේ ගමේ විශේෂත්වය මේ දේට කියලා. අපේ තාත්තා ගොඩක් හොදට පොත් පත් කියවන කෙනෙක් ඒ නිසාම තාත්තාට හොඳ මතකයක් තියෙනවා. තාත්තා අපි ඇවිදින්න ගිය තැන් වලට එක්කන් ගිහින් ඒ තැන විශේෂත්වය, කලාවට සම්බන්ධ දේවල් පැහැදිළි කරලා කියනවා. තාත්තා මිනිස්සු ගැන, සත්තු ගැන, පරිසරය ගැන දන්න දේවල් අපිට හරි ආදරයෙන් පැහැදිළි කරලා දෙනවා. 

මොකද හිතන්නේ Travel කරන එක ගැන?

Travel  කරනවා කියන එක මට නම් ලොකු මානසික සහනයක්. අපේ රංගන ක්ෂේත්‍රය කියන්නේ හරිම කාර්‍යයබහුල ජීවිතයක් ගත කරන මිනිස්සු ඉන්න ක්ෂේත්‍රයක්. ඉතින් අපේ ගෙදරත් දෙන්නගෙන් එක්කෙනෙක් හරි කාර්‍යයබහුල වුණාම අනික් කෙනාට ඒ දැනෙන පාලුව තනිකම එක්ක ඒ දේවල් නිදහස් කරගන්න, අපිට නැවුම් බවක් ලබාගන්න Travel  කරනවා කියන දේ හොඳ අත්දැකීමක් කියලා මම හිතනවා. අපිට විවිධ මිනිස්සු දේශගුණ තත්ත්වයන් අත්දකින්න ලැබෙනවා. ඒ දේවල් මේ ජීවිතේ දී මිනිස්සු විදින්න අවශ්‍ය දේවල් කියලා මම හිතනවා. මේ වෙද්දී අපේ රටේ වුණත් ගොඩක් මිනිස්සු තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් Travel  කරන එක තෝරගෙන තියෙනවා. 

ජීවිතේ කවදහරි දවසක Travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න තැන මොකද්ද?

ඇත්තටම මම හරිම කැමති ඊජිප්තුවට යන්න. ඒක මගේ හීනයක්. පිරමීඩ සහ ඓතිහාසික දේවල් ගැන මම හරියට අධ්‍යයනය කරනවා. හස්බන්ඩ් නම් එයාගේ රාජකාරි කටයුත්තකට ඊජිප්තුවට ගිහින් ආවා. ඉතින් පළවෙනියටම මම යන්න ආසාවෙන් ඉන්න තැන ඊජිප්තුව තමයි.

අමා අලහකෝන්