රංජන් විකුණන්න පුළුවන් විකිණෙන්නෙ නැති නළුවෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ද ගේම් (The Game) සුරංග ද අල්විස් සිනමා ශාලාකරුවාගේ නවතම වාණිජ චිත්‍රපටයයි. මෙහි විශේෂත්වය වන්නේ මෙරට සිනමාවේ වත්මන් සුපිරි තරුව ලෙස හැඳින්වෙන රන්ජන් රාමනායක සිරගත වීමට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපටය වීමය. ද ගේම් මෙරට සිනමාවේ මොනවාගේ පෙරළියක් කරාවිද? සුරංග ද අල්විස් ද ‘ගේම්’ හැදුවෙ කොහොමද? අදියුරු හඬට පැමිණි සුරංග ද අල්විස්ගෙන් අපි ඒ විස්තර අහමු.

ඇයි දන්නවද මම රන්ජන් ගත්තෙ?

ද ගේම් ෆිල්ම් එක ෂූටිං කළ විදිය ගැන කියන්නට පෙර ඇයි මම මේ ෆිල්ම් එකට රන්ජන් රාමනායකව ගත්තේ කියන එක ගැන මුලින්ම කියන්නම්. 1988-89 කියන්නේ මගේ තාත්තා සංගීතඥ  සරත් ද අල්විස් අතිශය කාර්ය බහුලව සිටි සමයක්. 88 අවුරුද්දේ දවසක් තාත්තා මට කතා කරලා මෙහෙම කිව්වා. ලොක්කා (ලොකු පුතා මම නිසා ආදරේට ලොක්කා තාත්තා මට කිව්වේ) ඔබට දිවුරා කියන්නම් ෆිල්ම් එක දින 100ක් දුවලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් සම්මාන උළෙලක් තියෙනවා. මට යන්න වෙන්නෙ නැහැ. අම්මා එක්ක ගිහින් ඒක ගන්න කියලා.  ඉතින් මම අම්මා එක්ක තාත්තා වෙනුවට තාත්තගෙ සම්මානය ගන්න වේදිකාවකට ගිය මුල්ම අවස්ථාව ඒ මොහොතයි. එතකොට මම හිටියේ අටේ පන්තියේ. ප්‍රධාන සම්මානවලට අමතරව අතිරේක චරිත රඟපෑ ආධුනික ශිල්පීන්ටත් සම්මාන දුන්නා. ඒ විදියට අතිරේක නැත්නම් පොඩිම චරිතයක් රඟපෑ නළුවෙකුටත් සම්මානයක් එදා ලැබුණා. සුදු පාටින් ඇඳගෙන, සුදුපාට, සපත්තු දෙකක් දාගත්ත, කොණ්ඩය බොකුටු උස මිනිහෙක් මා ළඟින් ඇවිත් සම්මානය අතැතිව හිටගෙන සිටියා. අපි ඒ වනවිට දන්නෙ විජය, සනත් වගේ ප්‍රතාපවත් චරිත. මේ මොකාද මේ කියලා මම විමතියෙන් බලා සිටිය. මේ මිනිසා තමයි රන්ජන් රාමනායක.

හැබැයි පසු කලක මගේ සිනමා අධ්‍යක්ෂණය ජීවිතය ආරම්භ වුණේ රන්ජන් රාමනායක එක්ක. මේ වනවිට වසර විසි ගණනක් ඔහු එක්ක බොහෝම මිත්‍රශීලී ගමනක් ආවේ. ඉතින් එයා මේ චිත්‍රපටයට ගත්තෙ ඇයිද කියලා මගෙන් කවුරුහරි ඇහුවොත් ඒකට මම උත්තර දෙන්නෙ මේ විදියටයි. එක -  විකුණන්න පුළුවන් නළුවෙක්, දෙක - විකිණෙන්නෙ නැති නළුවෙක්. තුන - මගේම වචනයෙන් කිව්වොත් පජාත නොවූ නළුවෙක්. මට එයාව මගේ චිත්‍රපටයකට ගන්න පුළුවන් වුණාට, උදයකාන්තට ගන්න පුළුවන් වුණාට, සුදේශ් වසන්තට පුළුවන් වුණාට හැමෝටම එයාව ගන්න බැරි බව මම දන්නවා.

ද ගේම් පටන් ගත්ත විදිය

මගේ හොරා පොලිස් චිත්‍රපටයේ රඟපෑ ගංගු රොෂානා, දවසක් මට කතා කරලා  අයියෙ ෆිල්ම් එකක් කරන්න අලුත් නිෂ්පාදකවරයෙක් ඉන්නවා කිව්වා. අනුර සමරජීව මහතාව හඳුනා ගත්තෙ ඒ විදියටයි. මගේ අදහස කිව්වාම අනුර අයියාට පොඩි කැමැත්තක් ආවා. මම රන්ජන් අයියා ප්‍රධාන නළු චරිතයට එදාම යෝජනා කළා. හැබැයි එයා ඉන්න වග අනෙක් නළු නිළියන්ට නොකියා අපි සෙසු චරිතවලට නළු නිළියන් තේරීම සිදු කළා. පිටපත ලියන්න මුලදි නිශාන්ත වීරසිංහගෙන් පසුව නදීශ සමිත් සහ අරුණ ශාන්ත එක්වුණා. ප්‍රධාන නිළිය ලෙස අලුත් චරිතයක් ලෙස අපි කරින්දි ප්‍රනාන්දුව තෝරා ගත්තා. දෙවැනි රෝල් එකට කතා කළේ ජනිත් වික්‍රමගේට. ජනිත් මට උත්තරයක් දුන්නෙ ටික දවසක් ගිහින්.  මේකෙ ප්‍රධාන නළු චරිතය කවුද කියලා ජනිත් මගෙන් ඇහුවා. ඒත් ඒ වෙලාවෙ රන්ජන්, ඇමැතිවරයෙක්. ඒ නිසා දින ගැනීමේ ප්‍රශ්නයක් අපට තිබුණා. ඒ නිසා වෙන විකල්පයක් ගන්නත් අපි හිතුවා. පසුව කොහොම හරි අපට රන්ජන් අයියාව ගන්න පුළුවන් වුණා. එතකොට තමයි මම ජනිත්ට කිව්වේ ඔයාගෙ එක්ක ඉන්න ප්‍රධාන නළුවා එයා කියලා. අන්න එතකොට තමයි ජනිත් එයාගෙ කැමැත්තත් ලබා දුන්නේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, චතු සහ ගීතිකා රාජපක්ෂ ඇතුළු සෙසු නළු නිළි පිරිස තෝරා ගත්තෙ ඉන් පසුවයි. ඔවුන් සියලු දෙනා ලබාදුන් දායකත්වය හරිම ඉහළයි. මිනිත්තු දෙකේ තුනේ චරිතවලට පවා ගත්තෙ ප්‍රවීනයින්.

රූගත කිරීමට දර්ශන තල 51ක්

ද ගේම්, රූගත කිරීම් වෙනුවෙන් අපි රූගත කිරීමේ ස්ථාන, නැතිනම් දර්ශන තල 51ක් විතර තෝරා ගත්තා. කලා අධ්‍යක්ෂණය කළේ ඇහැලියගොඩ සෝමතිලක ප්‍රවීනයා. නුවරඑළිය විතරක් දර්ශන තල 7කදී විතර රූගත කිරීම් කළා. ලංකාවේ චිත්‍රපටයක රූගත කිරීම් සඳහා වැඩියෙන්ම ස්ථාන (ලොකේෂන්) තේරා ගන්තෙ ‘ද ගේම්’ එකට වෙන්න පුළුවන්.

ඒ වගේම වැඩිම කාලයක් ගිය චිත්‍රටපයත් ද ගේම්. ලොකුම ප්‍රශ්නය ආවේ රන්ජන්ගෙන් දින ලබා ගැනීමයි. දින දෙකක් දීලා ආයෙ දිනයක් දෙන්න මාසයක් විතර ගියා. මල්ලි මට මාසයකට බ්‍රේක් එකක් ඕනෙ ඒලෙවල් කරන්න කියලා. පසුව OL ගණිතය ලියන්නත් කාලය ඉල්ලා ගත්තා. කොහොම හරි එයා රූගත කිරීම්වලට දායක වෙලා එක් දිනකදී ෂූටිං කල්දාමු කියලා මම රන්ජන් අයියාට කිව්වා. නෑ මල්ලි රෑ එලිවෙනකල් හරි කරලා අද අපි මේක ඉවර කරමු කියලා කිව්වා. එදා පාන්දර හතරට අපි ෂූටිං ඉවර  කරලා කිරිහොඳි එක්ක ඉඳිආප්ප කෑවා. අපි විසිර ගියා. ගිහින් විනාඩියක් ගියේ නැහැ. රන්ජන් අයියාව අත්අඩංගුවට  ගත්තා. දින 42කට. ඒ දින 42න් පසුව රන්ජන් අයියා එළියට ගත්තාට පස්සේ තමයි ‘ඩබිං’ එහෙම කළේ. ඊට පසුව කොවිඩ් වසංගතය ආවා. ඒ මදිවට රන්ජන් අයියා හිස බූ ගාලා. ඉතින් අන්තිම ගීතය රූගත කරන්න අපට රන්ජන් අයියාගෙ කොණ්ඩය වැවෙනකල් ඉන්න වුණා. ඒ විදියට මාසයක් දෙකක් ඉඳලා ඒ ගීතයේ රූගත කිරීම් ඉවර කළා විතරයි ආයෙත් රන්ජන් අයියාව අවුරුදු හතරකට හිරේ දැම්මා. මේ වගේ අභියෝග රැසක් මැදින් තමයි මම මේ ‘ද ගේම්’ චිත්‍රපටය නිම කළේ. මේ චිත්‍රපටය සමහර විට මගේ අධ්‍යක්ෂණයේ අවසාන චිත්‍රපටය වේවි. මොකද කිව්වොත් මේ චිත්‍රපටයට  එච්චරටම මහන්සි වුණා. ලොකු පිඩනයක්, මුදලක්, කාලයක් දරා ගෙන කළ චිත්‍රපටයක්.

පාදුක්කෙදී චණ්ඩිගෙන් බාධා

‘ද ගේම්’ රූගත කිරීම් සිදු කරද්දී පාදුක්ක ප්‍රදේශයේ ෆැක්ටරි එකට අපි ෂූටිං දාගෙන තිබුණා. ඒ පැත්තෙ චණ්ඩි සෙට් එකක් ආවා අපට ගහන්න. මොකද ඒ වනවිට දේශපාලනික විරුද්ධ පාර්ශ්වයකින් රන්ජන්ට ප්‍රශ්න තිබූ නිසා. සමහර විට රන්ජන් රඟපාන නිසා එහෙම කරන්න ඇති. අන්තිමට අපිට සිද්ධ වුණේ ‘ප්‍රභූ’ ආරක්ෂකයින් යොදා ගෙන ෂූටිං කරන්නයි. මොකද රන්ජන් ඒ වනවිට ඇමැති ධුරයක් දැරුවා. කොහොම වුණත් අපි එදා ඒ චණ්ඩි එක්ක පැටලෙන්න බය වුණා. එයාලගෙ ගමනෙ.

පිළියන්දල සෙල්ලම් බඩු ෆැක්ටරිය වට කර ගත්ත ගම්මු

ආයෙත් දවසක අපි ෂූටිං දාගෙන තිබුණෙ පිළියන්දල සෙල්ලම් බඩු ෆැක්ටරියක. ඒක හරි. එදා රන්ජන්ගෙ ෂූටිං තිබුණෙ. මුළු ගමම වගේ ඇවිත් ෆැක්ටරිය වට කළා. ෂූට් කරන්න දුන්නෙම නැහැ. අපිට අකුලගෙන යන්න සිද්ධ වුණා. පිළියන්දල පොලිසියටවත් ගමේ මිනිස්සු පාලනය කර ගන්න බැරි වුණා.

පළවැනිම දවසෙ ෂූට් කළ පළවැනිම දර්ශනය දා සිදුවූ දේ

ද ගේම් චිත්‍රපටයේ පළවැනිම දර්ශනය රූගත කළේ කඩුවෙල පාලම උඩ. එදා මුළු දවසම වැස්ස. ගඟ උතුරන්න වතුර. මේ සීන් එක රඟපාන්න හිටපු නළුවා ඒ සීන් එක කරන්න බය වුණේ ගඟ සැර නිසයි. ලනුවක එල්ලිලා තියෙන දර්ශනයකට තමයි එයාට පෙනී සිටින්නට සිදුවුණේ. අන්තිමට චිත්‍රපටයේම සටන් අධ්‍යක්ෂ ඒ අභියෝග බාර ගත්තා. එයාගෙ අත පය ගැට ගහලා ලනුවකින් එල්ලෙන දර්ශනයක්. මේ වගේ දර්ශනයක් කරන්න පෙර ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නට ඕන. ආරක්ෂිත ජැකට්, දිවි ගලවා ගැනීමේ බෝට්ටු සහ කිමිදුම්කරුවන් යොදා ගන්නට ඕනෑ. ඒත් ඒ කිසිවක් නැතිව ඒ අභියෝගය සටන් අධ්‍යක්ෂවරයා බාර ගත්තා. හෙණ ගහද්දී එයා ලනුවෙ එල්ලිලා ඒ දර්ශනයට පෙනී සිටියා. එදා ලනුව කැඩිලා ගියා නම්? අද මේ කතාව වෙනස්ම එකක්. මොකද බේරෙන්න විදියක් ඇත්තෙ නැති නිසා. ඒ නිසා මේ වගේ ගොන් වැඩ ආයෙමත් නම් මම කරන්නෙ නෑ කියලා එදා ඒ දර්ශනය රූගත කලාට පස්සේ මම හිතා ගත්තා.

දීර්ඝ වෙලාවක් ගත කළ දර්ශනය

මගේ ෆිල්ම්ස්වල තියෙන්නෙ ඉන්දියානු මසාලා පැට්න් එක. මේකෙ අයිටම් සෝන්ග් (සිංදුවට) මම යොදා ගත්තෙ ජීවන මේ ගමන සංසාරේ කියන පැරණි ගීතය. ඒක ප්‍රතිනිර්මාණයක් කරලා අපි කළා. එහි රූගත කිරීම් වෙනුවෙන් පැය 36ක් එනම් දවස් එකහමාරක් එක දිගටම ෂූට් කළා. ඒක තමයි මේ චිත්‍රපටයේ දීර්ඝතම දර්ශනය. තරින්දි ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළා.

රන්ජන්ව මිනී පෙට්ටියෙ දාලා වැළලූ සීන් එක

ද ගේම් චිත්‍රපටයේ රන්ජන්ගේ රඟපෑම් පටන් ගත්තෙ එයා මිනී පෙට්ටියක දාලා වළදාන සීන් එකකින්. මේ ෂූට් එක කරන්න සූදානම් වූ සෑම දිනකදීම වැස්සා. ඒ නිසා දිනෙන් දින මේක කල්දාන්න සිද්ධ වුණා. අපි පළාත මාරු කරලා වෙන පළාතක් ඒ වෙනුවෙන් දාගත්තාම එතැනටත් වැස්සා. ඒක මහා පුදුමාකාර සිදුවීමක්. කොහොමහරි මේ ෂූට් එක අපට කරන්න ලැබුණෙ මගේ උපන් දිනය යෙදෙන දවසට මොහොතකට පෙරදා එනම් ඊට පෙරදා රාත්‍රී 12ට පෙරදියි. ඕකේ කට් කියලා ෂූටිං ඉවර කළේ උපන් දිනය ලබන්න විනාඩි දෙකකට විතර පෙරදියි. ඒක හරිම පුදුමාකාර සිදුවීමක් ලෙසත් හඳුන්වන්න පුළුවනි.

මේ විදියට තවත් බොහෝ සිදුවීම් තියෙනවා. ඒ ඔක්කොම කිව්වොත් ප්‍රේක්ෂකයන්ට මෙහි අගයක් නැති වේවි. මේ චිත්‍රපටය ලාංකිය සිනමාවේ සියලු ආදායම් වාර්තා බිඳ දමන බව නම් මට විශ්වාසයි. ඒ නිසා 20 වැනිදායින් පසුව සුපිරි තරුව රන්ජන්වත් හමුවන්න බලාගෙන දිවයින පුරා සිනමා ශාලා වෙත එන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

සඳුන් ගමගේ