රජුන් තනන්නට ගීත ගැයුවත් ඔවුන්ගෙන් මම කිසිවක් අරගෙන නැහැ - සේනානායක වේරලියද්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වැව් බැඳි රටෙන් අපගේ කලා ලොව සරු කරන ශිල්පියකු යැයි කී සැණින් ඕනෑම රසික සිතකට නිරන්තරයෙන් සිහිවන රුවකි. නිරන්තර සවනත රුඳෙන හඬකි. ගායන ශිල්පියකු, සංගීතඥයකු, නර්තන ශිල්පියකු, වාදන ශිල්පියකු ලෙස කලාවේ විවිධ ඉසව් ජයගත් ඔහු නමින් සේනානායක වේරලියද්ද නම් වෙයි. අද හදසර My Story කතාබහ ඔහු සමඟය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ග්‍රාමීය රෝහලේදී උපත ලැබූ ඔහුගේ උපන් බිම දුටුවැවයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු හය හතර නොදන්නා පුංචිම සන්ධියේ සිට සංගීත භාණ්ඩ වාදනය කළේය. ඊට මඟ පාදන්නට මූලිකම හේතුව වූයේ පියාගේ කලා හැකියාවන්ය. වේරලියද්දේ ලොකුබණ්ඩාර නම් වූ ඔහුගේ පියා දේශීය වෛද්‍යාචාර්යවරයෙක් සේම කලාකරුවෙක්ද විය. ඔහු තම නිවසේම කලායතනයක් පවත්වාගෙන ගියේය.

මගේ තාත්තා ගම් ප්‍රදේශයේ වෙද මහත්තයා වගේම කලායතනයක් කරගෙන ගියා. මේ නිසා අපේ ගෙදර කොයි වෙලාවෙත් ගොඩක් කට්ටිය හිටියා. ගොවිතැන් කටයුතුත් කළා. අම්මා මේ හැමදේටම උදව් කරගෙන අපිව බලාගෙන හිටියා. මේ වෙද්දි නම් අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. තාත්තා 2002 අවුරුද්දෙ ජීවිතයෙන් සමුගත්තා. අම්මා 2009 දි අපිව දාලා ගියා. මේ වෙනකොට අයියලා දෙන්නෙකුත් ජීවතුන් අතර නැහැ. අයියා කෙනෙක් සහ අක්කා කෙනෙක් පමණයි දැනට අප අතර සිටින්නේ. මේ වනවිට අපි ජීවත් වෙන්නෙ අවුකන සිරිමාගම ප්‍රදේශයේ. දුටුවැව ජීවිතය ගත කරද්දි ගොවිතැන් කටයුතුවලට ජල හිඟකම ලොකු අර්බුදයක් වුණා. ඉතින් ඒ හින්දම අපි දුටුවැව අතහැරලා අවුකන සිරිමාගමට ආවා. දැන් සෑහෙන කාලයක් ගතවෙනවා මෙහෙට පැමිණිලා.

වේරලියද්දේ ලොකුබණ්ඩාර මහතා, නොඑසේ නම් වේරලියද්දගේ පියා ඉතා සාර්ථකව තම කලායතනය කරගෙන ගිය අතර කුඩා කල සිටම බෙර වාදනයට, කවි ශ්ලෝක ගායනයට යොමු වූ කුඩා වේරලියද්ද මඟුල් බෙර වාදනය තුළින් පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ රුසක් ලබාගනිමින් ඉදිරියට ආවේය.

1974 අවුරුද්දේ ඉඳන් අපේ කලායතනය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම කලායතනය වුණේ. බෙරයක් අතට අරන් වාදනය කරන්න බැරි තරම් පොඩි කාලේ ඉඳන් මම බෙර වාදනය කළා. ඒ පැත්තටයි මේ පැත්තටයි හැරි හැරී බෙර, දවුල්, තම්මැට්ටම්, තබ්ලාව, උඩරට, පහතරට වාදන භාණ්ඩ විශාල ප්‍රමාණයක් මම වාදනය කළා. මඟුල් බෙර වාදනයෙන් කුසලතා දැන්වීමත් එක්ක තමයි මට කොළඹට එන්න අවස්ථාව ලැබුණේ. 1979 දි තමයි මට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වීම මත ශ්‍රී ජයනා කලායතනයට එන්න ලැබුණේ. පළමු සම්මුඛ පරීක්ෂණයෙන්ම මාව බඳවා ගත්තා. මම කලමුල්ල ජයනා කලායතනයේ වසර දෙකක් පමණ හිටියා. ඉන්පසු නැවතත් ගමට ගියා. ගිහින් ඒ කලායතනයේ කටයුතු කරගෙන යද්දි තමයි සංස්කෘතික දෙපාර්තමේන්තුව රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායමට ශිල්පීන් බඳවා ගන්නවා කියන පණිවුඩය ලැබුණේ. 1983 දී පමණ මම ඊට එක්වුණා. බෙර වාදන ශිල්පියෙකු ලෙස. මට ගායනයටත් හැකියාව තිබුණු නිසා මේ දෙපසෙම මම වැඩ කළා. ඒ කියන්නෙ වාදනය, ගායනය වගේම මම නටලත් තියෙනවා. බැලේ සහ විවිධ ගීත නාටකවලටත් මම රංගනයෙන් එක්වෙලා තියෙනවා. තාත්තගේ කවි ශ්ලෝක හඬ නගා කීමේ හැකියාව සහජයෙන් මටත් ලැබී තිබුණා.

සේනානායක වේරලියද්ද යනු දශක කිහිපයක්ම මෙරට ජනප්‍රියතම ගායන ශිල්පියෙකි. එසේම ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ශිල්පියෙකි. ප්‍රාසාංගික අත්දැකීම නිර්ලෝභීව තම රසික ප්‍රජාව වෙත තිළිණ කරන ඔහුට පරපුර කිහිපයකම ආදරය නොඅඩුව ලැබෙයි. ඔහු කොළඹ අගනගරයේ නොසිටියත් නිරතුරු නිර්මාණ ඔස්සේ තම සහෘදයන් සමඟම රුඳෙන්නේය. ගායකයෙකු ලෙසින් ජන හද දිනා සිටියද ඔහු අතිදක්ෂ සංගීතඥයෙක් ද වන්නේය. ඔහුගේ ගායන දිවියට ගීත එක්වන්නේද මේ දක්ෂතාව මුල් කරගෙනය.

රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමට සම්බන්ධවීමත් එක්ක මට ගායනය සඳහා විවිධ අවස්ථා ලැබෙනවා විවිධ වැඩසටහන්වලට, සාහිත්‍ය කලා උළෙලවලට ආදී වශයෙන්. රෑපවාහිනිය ආරම්භයේදී මට එලෙස විවිධ පටිගත කිරීම් සඳහා ඉඩ ලැබී තියෙනවා. ඉස්සර මම රජරට සේවයේ විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. රජරට කැකුළු ආධුනික ගීත ප්‍රසංගය ඉන් එකක්. පසුව නව රුල්ල සඳහා එක්වුණා. ඒ වගේම රජරට සේවා සරල ගී වැඩසටහන්වලටත් ගායනයෙන් එක්වුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායකයෙකු ලෙස මම සමත් වුණා. ඉතින් මේ කාලයේදි මම මගේම ගීත ගායනය ඇරඹුවා.

රන් කෙන්ද දෝ - දෑඟිලි වෙලූ
ගිනි කන්ද රණ හංසියේ
මොන සාපෙකින් - අප ළං වුණේ
මොණරිඳුට රණ හංසියේ...

සාලිය ගුණවර්ධන ලියා සේනානායක වේරලියද්ද සංගීතවත් කොට ගැයූ මෙම ගීතය එවක රජරට සේවය තුළින් නිති ප්‍රචාරය වූ අතිශය ජනප්‍රිය ගීයක් විය. ගීයක් තුළින් ප්‍රථම වරට ඔහු ජන හද බැඳි ගායකයෙකු වන්නේ මෙතැනදීය. ඉන්පසුව ඔහුම සංගීතවත් කළ ගීත හතරක් මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්විය. ශාන්ත දේශබන්දු ලියූ සාගරය බඳු - වේදනාවෝ සහ මල් වියනින් බැඳි මහ බැද්දේ සිට හා මහින්ද කේ. ප්‍රේමසිරි ලියූ පුංචි දඟකාරියේ සහ කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් යනු එම ගීත හතරයි. එමෙන්ම විජය ගුණසිංහ ලියා සිරිල් පෙරේරා සංගීතවත් කළ කුස පබාවතී පුවතක් ගීතයද ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. මේ අතර තිබූ බොහෝ ගීත 80 දශකයේ පටිගත කළ ඒවා වූ අතර 90 දශකයේදී කැසට් සඳහා යළි පටිගත විය. මල් වියනින්, කන්ද පිරිමැද, අතිනත ගත් දා ඉඳලා නමින් ඔහු කැසට් පට තුනක් කළේය.

මම වරක් රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායම සමඟ ඉන්දියාවේ ගියා. එහිදී දින ගණනාවක් ප්‍රාන්ත ගණනාවක අප සංචාරය කළා. එතැනදි මගේ සාගරය බඳු ගීතයේ තනුවට හින්දියෙන් පරිවර්තනයක් කරලා ගායනා කළා. සිංහල ගීතයේ බුද්ධ දර්ශනය පිළිබඳව කතා කළාට ඒ හින්දි ගීතයේදී ආදරය ගැනයි කියැවෙන්නේ. එවක කණ්ඩායම භාරව සිටි ප්‍රවීණ සංගීතවේදී සේන වීරසේකර මහතා මේ සඳහා විශාල මැදිහත්වීමක් කළා. එම ගීතයට ඉන්දියාවේ රසිකයන්ගෙන් විශාල ප්‍රසාදයක් ලැබුණා. අදටත් මම ලංකාවේ සමහර ප්‍රසංගවලදී විතරක් මේ එකම තනුවට භාෂා දෙකෙන්ම ගීතය ගයනවා. ඒත් එය හින්දී පටිගත කිරීම කරලා නැහැ. ඉදිරියේදී පටිගත කරන්නත් මම හිතාගෙන ඉන්නවා.

වේරලියද්ද යනු කා අතරත් ආදරය දිනූ ශිල්පියෙකි. තම ගීත අලුත් පරපුර ගැනීම පිළිබඳ කිසිවිට උරණ නොවූ ගායකයෙකි. අද තරුණ පරපුර හද දිනූ චාමර වීරසිංහ හා දමිත් අසංක වැනි ගායකයින් තම මුල් අවදියේ ගායන දිවිය අරඹන්නේ ඔහුගේ ගීත ගැයීම නිසාය. ඒ දවස්වල මටත් විවිධ අය විවිධ දේ කිව්වා. ඔන්න අහවල්ලු ඔබේ ගීත ගයනවා. වැරදි ගායනා ඒ නිසා ගීත විනාශ වෙනවා කියලා. මම ඒවා ඇහුවේ නැහැ. මොකද කවුරුන් හෝ මගේ ගීත ගයනවා කියලා එයාලගේ කට කපන්නද? අනික මම හිතන්නෙ අනිත් අය අපේ නිර්මාණ ගැයීමෙන් ඒවායේ අගය තව වැඩිවෙනවා කියලයි. අගයත් නැතිනම් ඔවුන් ගයන්නෙ නෑනේ. මුලදී ඒ ළමයිනුත් මා සමඟ එතරම් කතාවට ආවේ නැහැ. මඟහැරලා ගියා. ඔවුන් බයවෙන්න ඇති මම බනියි කියලා. ඒත් පසුව ඔවුන් තේරුම් ගත්තා. මා එවන් කෙනෙකු නොවන වග. ඉතින් අදටත් ප්‍රසංගයකට හෝ රජරට එනවා නම් ඔවුන් මාව බලන්න එනවා. මම මුලදී මගේ ගීත ගැයීම තහනම් කරලා ඔවුන්ව විවේචනය කළානම් මොකද වෙන්නේ. මාව සමාජයටත් එපාවෙලා. හැබැයි මම කලාකරුවෙකු කියන්නේ ද්වේෂය, වෛරය තුරන් කළ කෙනෙකු කියන එක තදින්ම විශ්වාස කළා. මම ඔවුන්ට ආශීර්වාද කළා. ආදරය කළා. මගෙ නිර්මාණ තව තවත් ජනගත වුණා. මම අදටත් ගී ගැයීම හැර කිසිදු රුකියාවක් කරන්නෙ නැහැ. මාව රුකගන්නෙ මගෙ නිර්මාණ. මගෙ රසික ජනතාව. රජුන් තනන්නට මා ගී ගැයුවත් රජුන්ට කියා මාව ඔසවා තබන්නට උත්සාහ කළේ නෑ. ඒවා ගීත පමණයි. මා ඒවා ගැයුවා. ගීත එහි තබා මා මගේ නිර්මාණ දිවියේ ඉදිරියට ආවා. එනිසා අදටත් මට මගේ රසිකයින් ආදරෙයි. ප්‍රසංගවල අඩුවක් මට නැහැ. මගෙ ජනප්‍රියතාව අඩු වී නැහැ. ඒ වගේම මා අදටත් කියන්නේ මා කළ මගේ නිර්මාණ ඔබ ගයන්න. වෙනත් අය කළ ගීත ගැන මට එහෙම කියන්න අමාරුයි. හැබැයි මගේ ගීත ගයන්න තහනමක් නැහැ.

සේනානායක වේරලියද්ද තම පළමු ප්‍රසංගය පැවැත්වූයේ 1980දී ජෝන් ද සිල්වා සමහරු රඟහලේදීය. ඉන්පසු 2012 වසරේදී නෙළුම් පොකුණ රඟහලේදී ඔහු අපට සංඛ නාදේ අසන්නට විඳින්නට සැලසුවේය. ඔහු ඔහුටම හැරුණු කොට නිරෝෂා විරාජිනී, ජානක වික්‍රමසිංහ, අනුරාධා පෙරේරා හා තරංග සම්පත් ආදී ශිල්පීන්ටද ගී තනු නිර්මාණ කොට ඇත. මුදල් අරගෙන තනු නිර්මාණය කරනවා නෙවෙයි. මට හිතුණම ඒ ඒ ශිල්පීන්ට ගී තනු කරලා තියෙනවා. තරංග නම් අපේ ගම් ප්‍රදේශයේ. මම මට හදාගත්ත තනුවක් ඔහුට දුන්නේ. කාට හෝ ගී තනුවක් අවශ්‍ය නම් මම කරලත් දෙනවා.

1997 වසරේදී සුමති සම්මාන උළෙලේදී ඔහු හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ තිස්ස අබේසේකරයන්ගේ වනසරණ ටෙලි වෘත්තාන්තයට නංගිට බැඳපු මල් වියනයි ගීතය ගැයීම වෙනුවෙනි. 2007දී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සිරස සංගීත සම්මාන උළෙලේදීද ඔහු හොඳම ගායකයා විය. එමෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ද ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති කෙටි නාට්‍ය උළෙලේදී ඔහු සම්මාන දිනාගත් අතර මේ වනවිට ඔහු ජනාධිපති සම්මාන දිනූ කලාකරුවෙකි. 1990 අග භාගයේදී ඔහුට අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔහුට පත්වීමක් ලැබුණි. ඒ වනවිට ඔහු ගායන ශිල්පියෙකු ලෙස කාර්යබහුලව සිටි සමයයි. කොළඹ රුඳී සිටීම ඔහුට අවශ්‍ය වූ සමයක ඔහුට ලැබුණු මේ පත්වීම නිසා ඔහු පත්වුණේ අසීරු තත්ත්වයටය. මගේ හිත රිදුණා ඒ වෙලාවෙදි. මම පත්වීම භාරගත්තේ නැහැ. මම රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායමෙන් සමුගත්තා. විශ්‍රාම වැටුප් පවා හිමි රුකියාවක් මා එලෙස අතහැරියා.

අදටත් ගොවිකමට ගමේකමට ප්‍රිය වේරලියද්ද තම සොඳුරු ගම්මානයේ හිඳ කලාවටද තම දායකත්වය ලබාදෙයි. ඔහු විවාහ වූයේ ඔහුගේ ඇවැස්ස නෑනා සමඟය. නන්දාවතී නම් වූ ඇය සමඟ තනාගත් කැදැල්ලේ ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සහ දුවක වේ. ලොකු දුව මධුමතී වන අතර ඈ දැන් විවාහ දිවියට ඇතුළත්ව දරුවන්ද සමඟ ජීවිතය ගත කරයි. දෙවැනි පුතා සෙනරත්ද විවාහ වී දරුවන් ලැබ සිටී. තෙවැන්නා අනුර පුතාය. ඔහු තාමත් තනිකඩව දිවි ගෙවන අතර පියාගේ සංගීතයට ගායනයට පෙම් කරන්නේය. කලාකරුවෙකු ලෙස තම නිර්මාණ සඳහා කැපවෙමින් කා සමඟත් සුහද, මේ සොඳුරු කලාකරුවාට තව තවත් අප නලවන්නට සනසන්නට ගී ගයන්නට හැකියාව ලැබේවායි අපි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ / සේයාරෑ I අන්තර්ජාලයෙන්