රඟපෑමට වුවමනාවක් එදා ඉඳලා තිබුණා, ලොකු කට්ටක් නම් කෑවෙ නැහැ
මිලින්ද මඩුගල්ල රංගනයට පිවිසියේ සිනමා තිරය ඔස්සේය. එහෙව් වූ මිලින්ද අද වනවිට ටෙලි තිරය ඔස්සේ අපට හමුවන රංගන ශිල්පියෙකි. අම්පාරේ සිට මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ නාලන්දාවට ඇතුළත් වී අධ්‍යාපනය ලැබූ මිලින්ද වෘත්තියෙන් ගණකාධිකරණ අංශයේ නියැලී සිටි අයෙකි. ඒ අතරේ රංගනයට පිවිසි ඔහු අද වනවිට කටයුතු කරන්නේ පූර්ණ කාලීනව රංගන ශිල්පියකු ලෙසය. විකාශය වන වීදුරු මල්, මැස්සා සහ බන්ධනා සමග මිලින්ද හමුවන මොහොතක මේ පිළිසදර ඔහු එක්කයි.
මිලින්ද ඉතින් කොහොමද?
මේ මොහොතේදීත් රූගත කිරීම්වලට රන්මිණිතැන්නට ඇවිත් ඉන්නෙ වීදුරුමල් නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙන්න. ‘වීදුරු මල්’ අධ්‍යක්ෂණය කරන්නේ චාමර ජනරාජ් පීරිස්. ඊට අමතරව ‘මැස්සා’ (ඉන්දික ධර්මතිලකගෙ) නාට්‍යයේ සහ ත්රීෂූලදීප තඹවිටගෙ ‘බන්ධනා’ නාට්‍යයේ රඟපෑම් එක්ක කටයුතු කරනවා. මම රඟපෑ ටෙලිනාට්‍ය තුනක් එකවර විකාශය වීම සතුටක්. තව නිර්මාණ දෙකක වැඩ ඉවර කරන්න තියෙනවා.
‘මැස්සා’ නාට්‍යයේ චරිතය ගැන කතා කරමු?
කාර්යාලයක බොස් කෙනෙක්. එයා තමන් යටතේ වැඩ කරන ගැහැනු ළමයකු තමන්ගේ ග්‍රහණයට නතුකර ගන්න බලන කෙනෙක්. ඒ ගැහැනු ළමයා එක්ක හාද වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.
‘වීදුරු මල්’ චරිතය?
ඒකෙ නම ශෂික. ඒ නාට්‍ය දේශපාලන කතා තේමාවක් රැගත් එකක්. දේශපාලනඥයකු ලෙස රඟපාන ධනංජය සිරිවර්ධන එක්ක කටයුතු කරන කෙනෙක්. ඊළඟ මොහොතේ මේ දෙන්නා මොනවද කරන්නේ කියන කුතුහලය නිතරම කතාව ඔස්සේ ගලායන දෙයක්. ප්‍රේක්ෂකයාට කුතුහලයක් ගෙන දෙන නිර්මාණයක් කිව්වොත් හරි.
බන්ධනා නාට්‍යයේ?
ඒකෙ මගේ සැබෑ නම වන ‘මිලින්ද’ නමින් රඟපාන්නෙ. යාළුවෝ දෙන්නෙකුට මැදි වූ යාළුවෙක්. ඒක පවුලේ කතාවක්.
මේ චරිත තුනෙන් මිලින්ද වඩා කැමති?
චරිත තුනම එකකට එකක් වෙනස් නිසා, චරිත තුනටම කැමතියි.
කොහොමද චිත්‍රපට ජීවිතේ? මොකද ඔබ පටන් ගත්තෙ එතැනින්නෙ.
චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. එකක් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ පීකොක් ලැමන්ට් (මයුර විලාපය) සහ උදාර අබේසුන්දරගෙ පබ්ලික් ඩොමේන් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.
ඇයි මිලින්දට ලොකු තිරයෙන්, පුංචි තිරයෙ රඟපාන්න හිතුණෙ?
අපේ රටේ චිත්‍රපට නිර්මාණය වෙනවා. ඒත් සාපේක්ෂව ගත්තොත් ඉස්සර වගේ නෙවෙයිනෙ. ඒ නිසා ඒ අංශයේ විතරක් රැඳිලා ඉන්නත් බැහැ. එහෙමයි කියලා ටෙලිනාට්‍ය කීපයක් බාර ගෙනත් නැහැ. මම දායක වූ ටෙලිනාට්‍ය තුනක් එකවර විකාශය වෙන්නෙ පළමු වතාවට. හැබැයි ඒවත් දීර්ඝ නාට්‍ය නෙවෙයි. කොටස් කීපයකින් ඉවර වෙන ඒවා. ඒ වගේ තව කීපයක්ම විකාශය වෙන්නත් තියෙනවා.
සිනමාවෙ පටන් ගත්තෙ?
‘අනිත්‍යා’ චිත්‍රපටයෙන්. ඉන් පසුව තමයි රූපාන්තරණ (නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවෙ. නිම්හිම් (මිචෙල් ෆොන්සේකාගෙ) ප්‍රධාන චරිතයක් රඟපෑවා.
කළ රැකියාවෙන් ඉවත් වී රංගනය පූර්ණ කාලීනව තෝරා ගැනීම ගැන පසුතැවීමක් නැද්ද?
මම සේවයේ කළේ පෞද්ගලික මුල්‍ය ආයතනයක මුල්‍ය විධායක නිලධාරියකු ලෙසයි. පසුතැවීමක් නැහැ. මොකද ජොබ් එක සහ රංගනය ඒ දෙක එකට කරන්න බැහැ.
බිරිඳ ඔබ රස්සාවෙන් අයින් වෙනවට නෝක්කාඩු කීවෙ නැද්ද?
අනේ නැහැ. මම කැමති දේ, ඒකට කැපවෙලා හරියට කරන්න කියලා ඇය කිව්වේ. කොහොමටත් අවුරුදු 13ක් මම රස්සාව කළානෙ. රඟපෑම සහ රස්සාව එකට කරන්නම බැරි තැනක් ආවා. ඉතින් එයින් අයින් වුණා. මොකද රස්සාවක් කරනවා නම් ඒකට අවංක වෙන්න ඕනෑ.
මුල්‍ය අංශයේ චරිතයක් විදියට හිටපු කාලයේදි විදෙස්ගත වෙන්න එහෙම අරමුණක් තිබුණෙ නැද්ද?
විදෙස්ගත වීමේ ආසාවක් තිබුණා. ඒත් මගේ වැඩිපුර හිත තිබුණෙ රංගනයට. ඒ නිසා තමයි ඒ ඔක්කෝම දේ අත්හැර එක් තීරණයකට ආවේ. අද මම එදා ගත්ත තීරණය ගැන පසුතැවෙන්නෙ නැහැ. නිවැරදිම තීරණය ගත්තාය කියලා හිතනවා.
රඟපෑමට ආවෙ ඒ නිසා ලැබෙන ජනප්‍රියත්වය නිසාද? නැත්නම් ප්‍රතිචාර නිසාද?
චරිතයක් රඟපාලා, ඒ චරිතය දිහා බලද්දි මම ඒ වගේ දෙයක් කරලා තියෙනවා නේද කියන සතුට එක්ක ලබන්නෙ ලොකු තෘප්තියක්. ප්‍රතිචාර කොහොමටත් ලැබෙනවනෙ. කොහොම වුණත් ඔය ඔබ කිව්ව සියලු දේට කැමතියි.
මිලින්දට යාළුවෝ කතා කරන්නේ කොහොමද?
මිලින්ද කියනවා. මඩ්ඩා කියලත් කියනවා. ඉස්කෝලේ යාළුවො කිව්වේ මඩ්ඩා සහ මඩුගල්ලේ කියලයි.
නාලන්දාවෙදි බාහිර දේ කළේ නැද්ද?
මෙහෙමයි, මම ඉගෙන ගත්තෙ අම්පාරෙ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්. ක්‍රිකට් ගහන්නත් තිබූ උනන්දුව එක්ක උසස් පෙළ කරන්න තමයි කොළඹ නාලන්දාවට ආවෙ. ඇවිත් ක්‍රිකට් කළා. ඒත් තරගකාරීත්වය වැඩියිනෙ. දිගටම ක්‍රිකට් විතරක් කරගෙන යාම අපහසු වුණා.
ක්‍රිකට් මගහැරුණු ඔබ රඟපෑම වුවමනාවෙන්ම තෝරා ගත් විෂයයක්ද?
රඟපෑමට වුවමනාවක් එදා ඉඳලා තිබුණා. ලොකු කට්ටක් නම් කෑවෙ නැහැ. මොකද නාලක විතානගේ මගේ පාසලේ මිතුරා. එයාගේ තාත්තා බන්ධුල විතානගේ මහතා. බන්ධුල සර් හමුවීම එක්ක බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන්ම ෂේක්ෂ්පියර් නාට්‍ය වගේ. ඉන්පසුව ධර්මසිරි බන්ඩාරනායක සර් යටතේ පෙර බඳවා ගැනීමේ පුහුණුවකට ගියාම මාව තේරුණා. එතැනින් තමයි රංගන ගමන පටන් ගත්තේ. දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. ඒත් ලොකු දුෂ්කරතා එක්ක ආ ගමනක් නෙවෙයි.
බාහිරව බැලුවාම ඔබ ටිකක් සැර චරිතයක් වගේ පෙනෙන්නේ. සැබෑවට මොන විදියෙ චරිතයක්ද?
සුන්දර සරල සාමාන්‍ය මිනිහෙක්. පාසල් කාලයේ හිටපු විදියම තමයි. විනෝදයට කැමති සරල චරිතයක්.
අදටත් ක්‍රිකට් එහෙම ගහනවද?
ඔව් ඉඳ හිටලා. ඒ වගේම පාපන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා. මේ විදියට තමයි ජීවිතය ගෙවී යන්නෙ.
සඳුන් ගමගේ