Saaravita.lk|| රඟපාන්න තියෙන ආසාවට මම රැකියාවෙනුත් ඉවත් වුණා

රඟපාන්න තියෙන ආසාවට මම රැකියාවෙනුත් ඉවත් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු සේනූ චමිලා වර්තමානය වනවිට බොහෝ පිරිසක් දන්නා හඳුනන නවක රංගන ශිල්පිණියකි. නිරූපණය ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට එක්ව පසුව රංගනයට යොමු වු ඇය මේ වනවිට වසර පහකට ආසන්න කාලයක් තිස්සේ කලා ශිල්පිණියක් ලෙස කටයුතු කරමින්ද සිටියි.

චමිලා රංගනයට අත්පොත් තිබ්බේ කොහොමද?

මම රංගනයට ආවේ අහම්බෙන් කිව්වොත් හරි. රංගනයට එන්න කලින් මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. නිරූපණ කටයුතුවලදි ගන්න හැම ඡායාරූපයක්ම වගේ සිරිතක් විදිහට මම මගේ සමාජ පිටුවල පළ කරනවා. ඒ ඡායාරූප දැකපු කෙනෙක් කතා කරලා මට කිව්වා ටෙලි නාට්‍යයක් තියෙනවා කැමති නම් සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම මටත් ආසාවක් තිබුණා රංගනය පැත්තට යොමු වෙන්න. ඉතින් ඒ ආරාධනය පිළි අරගෙන මම ඒ නිර්මාණයට සම්බන්ධ වුණා. පොලිස් කාන්තාවකගේ චරිතයක් මම මුලින්ම රඟපැවේ. 

ඔබ දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

දැනට මම ටෙලි නාට්‍යය විස්සකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට හයකට සම්බන්ධ වෙලා තියෙනවා. කොළඹ ඉතාලිය, දිව්‍යාදරි, සංසාරණි, කොලු ගැටයා, දෑසමත මොහොතක්, අයිස් ක්‍රිම්, නීල පබළු, සික්ස් පැක්, කළියුග කාලේ, සැළෙන නුවන්, සින්ටෝ ටෙලි නාට්‍යයවල මා කරපු චරිත කැපි පෙනුණා. ඒ වගේම සූරිය සුළඟ, මීරා, කම්බිලි, ආදර නිම්නය, එමිලි වගේම මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන රාණි චිත්‍රපටයෙත් මම මේ වනවිට රඟපාලා තියෙනවා.  

රංගන ශිල්පිණියක් වුණ එක ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ගැන මට ගොඩක් සතුටුයි. මොකද, මම මේ තැනට ආවේ ලොකු කැපකිරීමක් කරලා. කරපු රැකියාවෙන් පවා මම ඉවත් වුණා කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න තිබුණ කැමැත්ත නිසා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරපු මුල් කාලයේදි මා රැකියාව කළ ආයතනයෙන් පවා මට ගොඩක් හොඳින් සැළකුවා. අවශ්‍ය නිර්මාණ සඳහා නිවාඩු එහෙමත් ලබාදුන්නා. නමුත්, පසුකාලින ගැටළු කිහිපයක් නිසාවෙන් මම රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව රංගන කටයුතු සමග සම්බන්ධ වුණා. රැකියාවෙන් ඉවත් වෙලා මම එදා ගත්තු ඒ තිරණය ගැන අද මම ගොඩක් සතුටු වෙනවා. 

රංගනය පැත්තට යොමු වෙන්න කැමැත්ත ඇතිවුණේ කොහොමද?

පාසල් කාලයේ ඉඳලාම ආසාවක් තිබුණා. ඒත්, ඒක මම කාටවත් කිව්වේ නැහැ. පාසල් වේදිකාවේ එහෙම මම රඟපාලා තියෙනවා. පාසල් අධ්‍යාපනය නිමාවෙලා රංගනය ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න හිතුවා. එහෙම හිතලා රංගන පාසල් දෙකකට සම්බන්ධ වුණා. කොවිඩ් වසංගතය ආපු නිසා ඒ හැම දෙයක්ම අතරමඟ නවත්වලා දාන්න සිද්ධ වුණා මට. හැබැයි දැනට මම සුමිත් ගල්හෙන හා සම්පත් කියන ගුරුවරුන් මෙහෙයවන රංගන පාසලට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව වැඩිදුර හදාරමින් ඉන්නවා.

පවුලේ අයගෙන් ලැබුණ සහය මොන වගේද?

පවුලේ අය නම් කලාවට සම්බන්ධ වුණ මුල් කාලයේදී අකමැති වුණා. පස්සේ කලා නිර්මාණ හරහා දකින කොට ඒ අයටත් ආසයි මම රඟපානවා බලන්න. ඊට පස්සේ පවුලේ හැමෝම වගේ උදව් කළා මගේ වැඩ වලට. අදටත් ඒ අය තමයි මට හයියකට ඉන්නේ. ගොඩක් අය මාව දැන් අඳුනනවා. විශේෂයෙන්ම මගේ ගමේ අය. ඉතින් මට වගේම මගේ පවුලේ හැමෝටමත් ගොඩක් සතුටුයි.

නිරූපණය පැත්තටත් ඔබ සම්බන්ධ වෙලා වැඩ කරනවා නේද?

ඔව්, ක්ෂේත්‍රයට මම මුලින්ම සම්බන්ධ වෙන්න නිරූපිකාවක් විදිහට. ගොඩක් වෙලාවට නිරූපිකාවක් විදිහට පෙනී හිටියේ ඡායාරූපවලට. විවිධ ආයතනවල වෙළෙඳ නාම පුවරුවලටත් මම පෙනී හිටියා. නවක වගේම ප්‍රවිණ ඡායාරූප ශිල්පින් ගොඩක් එක්ක මම දැනට නිරූපණ වැඩ කරලා තියෙනවා. ඒ හරහා කරපු ඡායාරූප ටිකක් දැකලා තමයි මට රංගනයට යොමු වෙන්න අවස්ථාව ලැබුණොත්.

කලාවත් එක්ක ආපු ගමන ගැන මොකද හිතන්නේ?

කලාවට සම්බන්ධ වෙලා දැන් මම අවුරුදු පහක් විතර වෙනවා. ඇත්තටම මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි මට. ඒ දිහා ආපහු හැරිලා බලන කොට පුංචි නිහතමානි ආඩම්බරයක් මට දැනෙනවා.  මේ ගෙවුණු වසර පහක කාලය තුළ ක්ෂේත්‍රය ගැන විවිධ අත්දැකිම් ලැබුණා. ප්‍රවිණ රංගන ශිල්පින් ගොඩක් මට උදව් කළා. රඟපාද්දි ඔවුන්ගෙන් ලැබුණ උපදෙස් ගොඩක් වැදගත් වුණා ක්ෂේත්‍රෙය් ඉහළට එන්න. ඉතින් කවදාහරි ලංකාවම දන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක් වෙන හිනේ මට තියෙනවා. මම හිතනවා ඒ ඉලක්කයට මට ඉදිරි කාලයේදී යන්න පුළුවන් වේවි කියලා.