රඟපාන්න එන්න කලින් මම නිරූපණයට සම්බන්ධ වෙලා වැඩ කළා
මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දකින නයෝමි පෙරේරා ප්‍රේක්ෂක ඔබ අප සැමගේ ආදරය දිනාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිණියකි. නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට එක්වූ නයෝමි වර්තමානය වන විට වැඩිපුරම කාර්යබහුල වී ඇත්තේ රංගන ශිල්පිණියක් ලෙසිනි. මේ නිසාම මෙවර කලාපයෙන් අප ඇයටද මෙසේ ඉඩක් වෙන් කළා. මේ දිග හැරෙන්නේ අප ඇය සමග කළ කතා බහයි.
නයෝමි කියන්නේ අවුරුදු කුමාරියක් නේද...
ඔව්, ස්වර්ණවාහිනි නාලිකාව විසින් සංවිධානය කරපු ස්වර්ණ කුමරිය තරගයට තමයි මම සහභාගි වුණේ. මගේ මතකය හැටියට නම් ඒ 2018 වසරේදී. අපේ අම්මාගේ ලොකු ආසාවක් තිබුණා මාව අවුරුදු කුමාරියක් විදිහට දකින්න. ඉතින් අම්මාගේ ඉල්ලීමක් මත තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. විශාල තරගාකාකිරයන් පිරිසක් අතරින් මට ඒ තරගයේ අවසන් තරගාවලියන් අතළොස්සට එකතු වෙන්න ලැබුණා. තරගය පුරාවටම අම්මාගෙන් ලැබුණ සහයෝගය අමතක කරන්න බැහැ. ඇය තමයි ඒ තරගය පුරාවටම මාත් එක්ක මගේ සහයට හිටියේ.
ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට..
2015 වසරේදී තමයි මම මුලින්ම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. මගේ මතකය හැටියට අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කරලා තමයි නිරූපණ ක්ෂේත්‍රයට මම පිවිසුණේ. ඊට පස්සේ මම විවාහ වුණා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් සමග. ඉතින් ඔහු හරහා කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අඳුනාගන්න ලැබුණා. ඒ හරහා තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නේ.
කොහොමද එතකොට රඟපාන්න අවස්ථාව ලැබුණේ..
සුදර්ශන බණ්ඩාර අධ්‍යක්ෂණය කළ පැකේජ් කියන ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපැවේ. එතකොට මම විවාහ වෙලා හිටියේ නැහැ. හැබැයි මගේ සැමියා බුද්ධික සේමසිංහ තමයි පැකේජ් කියන නාට්‍යයේ තිර පිටපත ලිව්වේ. ඇත්තටම පළමු රංගන අත්දැකීම මට අද වගේ මතකයි. බොහෝම බයෙන් තමයි පළමු වතාවට කැමරාවක් ඉදිරියේ මම පෙනී හිටියේ. පැකේජ් ටෙලි නාට්‍යට මාව සම්බන්ධ කරගත්තේ නාට්‍යය පුරාවටම යන චරිතයකට. නමුත්, කුමන හෝ හේතුවක් මත ඒ නාට්‍යය කොටස් පණහකට අඩුවෙන් අවසන් වුනා. අවසානයේ මට පෙනී හිටියේ කොටස් කිහිපයකට පමණයි.
මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකම දකිනවා..
ප්‍රේම රස්තියාදුව මේඝා විදිහටත්, බඔරෙක් ඇවිත් හි රංජනි ලෙසත් මාව මේ දිනවල දකින්න පුළුවන්. ඊට අමතරව මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වෙන සිත නිදි නැහැ ටෙලි නාට්‍යයේ සඳලි විදිහටත් මාව අද වෙන කොට ගොඩක් අය දන්නවා. මේ චරිත තුනටම අද වෙන ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා.
පළමු ටෙලි නිර්මාණයෙන් පස්සේ..
පැකේජ් ටෙලි නාට්‍යයෙන් පස්සේ මම ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කළ මහේෂ් රත්සර මහතා තිර රචනා කළා ස්වාධින රුපවාහිනි නාළිකාවේ විකාශය වුණ හිනයකි මේ ආදරේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එහි මම රඟපෑවේ ශලිනි අක්කාගේ යාළුවා මේධා විදිහට. අකිල ධනුද්දර, පැතුම් රුක්ෂාන් වැන ජනප්‍රිය අය මෙහි මා සමග රඟපෑවා. ඒ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් මාව අඳුනාගත්තා කිව්වොත් හරි. ඊට පස්සේ තමයි මේ දිනවලත් විකාශය වෙන සිත නිදි නැහැ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. පස්සේ සීසර්ලා, බයිස්කෝප් හා පාවී එන්න ආසයි කියන ටෙලි නාට්‍යයවලටත් මම රංගනයෙන් දායක වුණා. තව සිරස නාලිකාවේ විකාශය වුණ වාව් මැඩම් ටෙලි නාට්‍යයෙත් මම කොටස් කිහිපයකයත් රඟපෑවා.
ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිත තියෙනවද..
හැම චරිතයක්ම වගේ ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණා. ඒකට හේතුව තමයි මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් නිසා. එකම රාමුවකට කොටු නොවී විවිධත්වයෙන් යුතු චරිත රඟපාන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්. අදටත් පාර තොටේදී මිනිස්සු මාව දකින කොට ගොඩක් වෙලාවට කතා කරන්නේ මා කරපු චරිතවල නම්වලින්. ඔවුන්ගේ ලැබෙන ප්‍රතිචාර දිහා බලන කොට ගොඩක් සතුටුයි මට. විශේෂයෙන්ම, පාවී එන්න ආසයි ටෙලි නාට්‍යයේ බේබි එලීනා කියන චරිතයට, බයිස්කෝප් හි මැණිකා කියන චරිතයට හොඳ රසික ප්‍රතිචාර ලැබුණා.
රංගනය කියන දේ හැදැරිය යුතු දෙයක්..
ඔව්, අනිවාර්යයෙන්ම හැදැරිමක් තිබිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. රඟපානවා කියන දේ අද ඉගෙන ගෙන හෙට ඉවර කරන්න බැහැ. හැමදාම මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒ වගේම මම හිතනවා මේක හැමෝටම කරන්න පුළුවන් වෘත්තියක් නෙවෙයි කියලා. මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න නම් අනිවාර්යයෙන්ම රංගනය ගැන ඉගෙන ගත යුතුයි. ඒ සම්බන්ධව අධ්‍යයනය කළ යුතුයි. මම ආයතනයකට ගිහිල්ලා රංගනය ගැන ඉගෙන ගත්තේ නැහැ. හැබැයි නිතරම රංගනය ගැන යම් දේවල් ප්‍රවිණ අය සමග මම සාකච්ඡා කරනවා. ඔවුන්ගේ අදහස් බෙදාහදා ගන්නවා. ඒ වගේම ඔවුන් රඟපාන විදිහ බලාගෙන ඉඳලා ඉගෙන ගන්නවා. ඒ වගේම තමා මට වැඩ කරන්න ලැබුණ අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබුණ සහයෝගය. ඔවුන්ගේ ගුරුහරුකම් බොහෝ සෙයින් මට වැදගත් වුණා මගේ රංගන හැකියාව ඔප මට්ටම් කරගන්න.
ආපු ගමන දිහා හැරිලා බැලුවොත්..
ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම වසර දෙකහමාරක් විතර වෙනවා. ඒ කාලය තුළ සැළකිය හැකි මට්ටමේ නිර්මාණ ගොඩකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මා දායක වල නිර්මාණවලටත් එහි මා නිරූපණය කළ චරිතවලටත් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා හා අදටත් ලැබෙමින් පවතිනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අම්මා හා මගේ පවුලේ අයව. හැමදාමත් මාත් එක්ක ඒ අය හිටියා. ඒ වගේම ඔවුන් මාව නිතරම දිරි ගැන්වූවා. මගේ නිර්මාණ ගැන කතා කළා. ඒවා අගය කළා. ඒ වගේම මගේ සැමියා බුද්ධික සේමසිංහ. ඔහුවත් ආදරයෙන් මතක් කරන්න ඕනා. ඒ එක්ක මා දායක වුණ නිර්මාණ අධ්‍යක්ෂණය කළ සැම දෙනාවම බොහෝම කතෘවේදිව මේ මොහොතේදී මතක් කර සිටිනවා.