රංගනයෙන් නිවේදනයෙන් හපන්කම් කරන වරායේ කලාකරුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියන්ජිත් බණ්ඩාර ඒ ඔහුගේ නමය. කොළඹ වරායේ මාධ්‍ය අංශයේ සේවය කරන ඔහු පුංචි තිරයේ නළුවෙකි. හඬ කැවීම් ශිල්පයෙකි. වේදිකාවේ නළුවෙකි. ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙකි. 

නාවලපිටියේ ඉපිද අනුරුද්ධ කුමාර මහා විද්‍යාලයෙන් හා ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් යන කාලයේදීම කලාවට ඇලුම් කළේය. කේ.බී. හේරත්, වසන්ත විට්ටච්චි, අශෝක හඳගම තිදෙනා මෙහෙයවූ නාට්‍ය වැඩමුළුවකට සහභාගී වන ඔහු බන්දුල විතානගේ සෙනෙහෙබර ඩොලී නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවේය. අශෝක හඳගමගේ මාඝාත නාට්‍යයේදී සුළු චරිතයක් රඟපෑ ඔහුට මහින්ද ජයසූරියගේ මඩ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට අවස්ථාව ලැබිණි. එහිදී ඔහුට ජයතිලක හේරත්, රූපා ගෝමස් සහ සේනානායක වේරලියැද්ද හඳුනා ගන්නට ලැබිණි. ඔවුන්ගේ ඇසුර, ඔහුගේ රංගන ජීවිතයේ දුර ගමනකට අත්දැකීම් ලබා දුන්නේය. ඔය අතර වාරයේදී ඔහුට හේමසිරි හල්පිට මුණගැසේ. ඔහු ප්‍රියන්ජිත්ගේ නිවේදක හැකියාව හඳුනා ගත්තේය. ප්‍රියන්ජිත් නිවේදක කලාවේ ‘අ’යන්න ඉගෙන ගත්තේ හල්පිටගෙනි. ඔහු ඒ ගමන් මගේ සෑහෙන දුරක් ගමන් කළේය. බ්ලූ ෂැඩෝස්, සමන් ඇන්ඩ් ද ක්ලෑන්, ෆෝචූන්ස්, සන්ශයින් වාදක කණ්ඩායම් සමග ප්‍රසංග නිවේදකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ජිත් ඊළඟට එක්වන්නේ ටෙලිනාට්‍ය රංගනයටය. සිරස නාලිකාවේ විකාශය වූ සාරංගනා ටෙලිනාට්‍යයේ පුංචි චරිතයකින් ඒ ගමන ඇරඹූ ඔහු, සිද්ධාර්ථ ගෞතම, අහස් මාළිගා, කියාදෙන්න ආදරේ තරම්, ධරණි, අළුයට ගිනි වැනි ටෙලිනාට්‍යවලද රඟපෑවේය. ඒ අතරින් අළුයට ගිනි ටෙලියේ මොහමඩ් සිද්ධික් නම් ප්‍රධාන චරිතය ප්‍රියන්ජිත්ට ජනප්‍රියත්වය ගෙනාවේය.

ප්‍රියන්ජිත් බණ්ඩාර කලා ලොවට වැටුණ අහඹු චරිතයක් නොවේ. ප්‍රවීණ සංගීතඥ ඩී.ඩී. ඩැනී ඔහුගේ මාමාය. හැබැයි බෑණා තෝරා ගත්තේ සංගීතය නොවේ. රඟපෑම හා නිවේදනයයි.