රංගනයට සමුදුන් ඉමායා දැන් දූ මැණිකක් ඉන්න අම්මා කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉමායා ලියනගේව කාටත් මතක ඇති. රංගන ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය ඇය කතාබහට ලක්වන චරිත රැසක් ඔස්සේ රසිකයින්ට සමීප වූ තාරකාවක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඇය කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. මේ වනවිට ඉමායා සැමියා සහ දූ මැණික එක්ක විදෙස්ගතව උන්නත් එදා ඇයට ලැබුණු ප්‍රේක්ෂක ආදරය තවමත් අඩුවක් නම් නෑ. සමාජ මාධ්‍ය තුළින් ඇයව නිතරම වගේ දකින්න ලැබෙන නිසාම ඈව අපිට තවත් හුරුපුරුදුයි.

මේ ඇය මුහුණු පොතේ තබා තිබූ ආදරණීය සටහනක්. බලන්නකො කියවලාම ඒ ආදරණීය කතාව.

 

"කසුන් ඇස් දෙකක් මට හිමිවුණා "ඉවානා රකේලෙ"

මගෙ ජීවිතේ මට ලැබුණු මෙහෙමයි කියලා ගනන් හදලා බලලා මිල කරන්න බැරි වටිනම තෑග්ග.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ආයෙ ආයෙත් මතක් කරලා බලන්න ආස හිතෙන මතකයන් වගේම , මතක් කරන්න හිත අදිමදි කරන ආස නැති මතකයන් ගොඩක් අස්සෙ, ජුනි 12 වෙනිදා පැය 8ක් 9ක් තිස්සෙ ගත වුණු ලස්සන මතකයක් මගෙ හිතේ අඩියෙම තැනක හරි ලස්සනම විදිහකට තැන්පත් වෙලා තියෙනවා.

ගැහැනියක් විඳින, වචන වලින් විස්තර කරන්න බැරි තරම් අප්‍රමාණ වේදනාවල් ගොඩක් එක සිතින් විඳ දරාගෙන මමත් ඔයාව මේ ලෝකෙට අරන් ආවා.

මම අහලා තිබුනා මනුස්සයෙක් පන පිටින් පිළිස්සෙන එකයි, ගැහැණියක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන එකයි තමයි මේ ලෝකෙ විඳ දරාගන්න අමාරුම වේදනාව කියලා.

ඒක කොච්චර ලොකු වේදනාවක් වුනත් මට මතකයි ඔයාව මගෙ පපුව උඩින් තියනකොට මට ඒ කිසිම වේදනාවක් දැනුනෙ නැහැ.

ඒක තමයි මං හිතන්නෙ අම්මා කෙනෙක්ගෙ දරුවෙක් වෙනුවෙන් ඉපදෙන සෙනෙහස. ඉතින් අම්මා කෙනෙක්ගෙ ලේ සුදු පාට කිරි බවට හැරවෙන එක පුදුමකයි නෙවෙයි මම හිතන්නෙ.

මගෙ දුවේ, ඔයා තමයි මට මගෙ ජීවිතේට ලොකු වටිනාකමක් දුන්නෙ.

ඒ, සති 40ක් මගේ ගර්භාශය ඇතුලෙ හරි පරිස්සමට ඉඳලා කුලුදුලේම මගෙ දුව වෙලා මගෙ ලඟට ඇවිල්ලා. තාත්තා ඒ මාස ගානම ඔයාවයි අම්මවයි පුදුම තරම් ආදරෙන් බලාගත්තා.

ඒකෙ ආයෙ ඔප්පු කරලා පෙන්නන්න දෙයක් නැහැ පුතේ.

අපි ඔයා එනකල් බලන් උන්නෙ හීන දාස් ගානක් ඇහි පිල්ලමක් උඩ තියන් ඉන්නවා වගෙ පරිස්සමට හරි සීරුවෙන්.

තාත්තා ඔයාවයි මාවයි තුරුලු කරන් දැකපු ඒ හීන හරි ලස්සනයි පුතේ. මම මගෙ ජීවිතේ එච්චර සතුටින් සැහැල්ලුවෙන් මානසික නිදහසින් ගත කරපු දවස් තවත් නැති තරම්.

ඉතින් ඒ වගෙ ගොඩක් දේවල් වෙනුවෙන් ඔයාට මම ගොඩක් ණයගැතියි.

අපේ ජීවිතේ ගතවෙලා යයි පුතේ.

ඔයා ලොකු කෙල්ලෙක් වෙයි.

තාත්තයි මමයි වයසට යයි.

මම පොරොන්දු වෙනවා අම්මා හැමදාම ඔයා එක්ක, ඔයාගෙ මූණෙ හිනාවම තියෙන ලස්සනට මල් පිපෙන හොඳ කාලවලදි වගේම ඉකිබිදුම් දෙන දිගු රැයවල් ගෙවෙන නරක කාලවලදිත් ලඟින්ම ඉන්නවා ඔයාගෙ.

ඔයා වෙනුවෙන් කරන්නම දෙයක් නැති වුනොත් මේ අම්මට, මගෙ පුතේ ඔයාගෙ දුකේදි අපි දෙන්නම දුක ඉවර වෙනකල් එකට අඩමු.

ඔයා වෙනුවෙන් විලිබර දැරුව නිසාවත්, මගෙ රතුපාට ලේ සුදු පාට කිරට හරවලා ඔයාට දුන්නා කියලවත්, අතක් පයක් නොකඩා පරිස්සමින් ඔයාව හැදුව කියලවත් මම පෙරළා ඔයාගෙන් මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

මට ඕනෙ මගේ සතුට ඔයාගෙන් දකින්න නෙවෙයි... ඔයාගෙ සතුට දිහා බලලා සතුටින් ඉන්න විතරයි. තාත්තයි මමයි ඔයාට ජීවිතේ දුන්නට ඔයාගෙ ජීවිතෙ අයිති ඔයාටයි පුතේ.

හැබැයි මම මොන සටනක් කරලා හරි ඔයාගෙ පැතුමන් හැම එකක්ම එකින් එක දිනවලා දෙන්නම්.....!

ඉක්මනටම "අම්මෙ" "තාත්තෙ" කියලා හුරතල් වෙවී කතාකරනකල් අම්මයි තාත්තයි බලන් ඉන්නවා රත්තරන්