රංගනය කියන්නෙ ඇත්තටම ඇබ්බැහිවීමක් පුනරුත්ථාපනය කරලවත් අතඅරින්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ රංගන අංශයෙන් කතා බහට ලක්වන රංගන ශිල්පීන් අතරින් SI සමරක්කොඩි  කියන්නේ මේ දිනවල ඉදිරියෙන්ම සිටින චරිතයක්. චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ දක්ෂතා දක්වන ඔහු ගැනයි මේ කතාබහ. 

SI සමරක්කොඩිට මේ  දවස්වල රංගනය පැත්තෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඇත්තටම ඔව්, මේ දවස්වල ඉතින් වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ‘‘ජානු’’ ටෙලි නිර්මාණය හරහානෙ. එහි ‘‘අල්පොන්සො’’ චරිත රංගනය වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියෙන්නෙ. මේ ටිකේ නම් වැඩිපුරම බැනුම් අහන්න තමයි සිද්ධ වෙලා තියෙන්නෙ.

බැනුම් අහන්න වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔබම සඳහන් කරමු? 

බැනුම් අහන්නෙ නම් ‘‘අල්පොන්සො’’ ටිකක් දරුණු වෙලා ඉන්න නිසා ඇත්තටම ‘‘ජානු’’ නිර්මාණය නරඹන බොහෝ පිරිසක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි  ඒ. ඉතින් නිර්මාණය නරඹන අය නම් දන්නවනෙ ඇයි ඔහු ඒ විදියට හැසිරෙන්නෙ කියලා. ඇත්තටම සාමාන්‍ය ජීවිතේ පැත්තෙන් ගත්තොත් මනුස්සයෙක් ආදරෙදි අවංකව හදවතින්ම ඒ දේ මත කැපවීම් කරද්දි ඒ ආදරේට බොරු කරනවනම්,වංචා කරනවානම් ඒ කෙනා ආදරය නිසාම සැරවෙන්න තරවටු කරන්න පුළුවන්. එහෙම දෙයක් තමයි මේ තුළ සිදුවෙලා තියෙන්නෙ. ඉදිරියෙදි චරිතය තුළ වෙනස්වීම් සිදුවෙයිද කියන්න මම දන්නෙ නැහැ. ජානු එක්ක දිගටම රැදිලා හිටියොත් ඒ දේවල් දැකගන්න පුළුවන් වෙයි.

‘‘අල්පොන්සො’’ නිසා SI නේද බැනුම් අහන්නෙ?

ඔව්නෙ. ඒ ගැන විශේෂයෙන්. කතා කරන්න  ඕනෑ. ඇත්තටම මම මේ කරන්නෙ රංගනයක්නෙ,  පිටපතේ එන දේ සහ අධ්‍යක්ෂවරයාමට කියන දේ තමයි මම කරන්නෙ. 

නමුත් මේ රංගනයෙදි මම ගොඩක් බැනුම් අහනවා. සමාජ මාධ්‍යයේ විශේෂයෙන්ම Fb  එකේ ‘‘ජානු’’ නිර්මාණයේ වීඩියෝ කෑලි සංසරණය වෙනවානෙ. ඒ විඩියෝවලට පහළින් ප්‍රතිචාර දක්වද්දි බොහෝ දෙනෙක් බැනලා තමයි ප්‍රතිචාර දක්වලා තිබුණෙ. මේ ටිකේ, ඉතින් එක කමෙන්ට් එකක් තිබුණා. ‘‘අල්පොන්සො හැදි  ගෑවිලා පලයන්’’කියලා, ඒ සමහර දේවල් දකිද්දි මට හිනාත් යනවා. 

ඒවාගේ ප්‍රතිචාරවලට තරහා යන අවස්ථාත් ඇති නේද?

අනේ නැහැ. සමහර වෙලාවට ඉහතින් සඳහන්  කළා වගේ සාප කරලා තියෙනවානෙ. මට ඒවා වදින්නෙ නැහැ. ඒ චරිතයට සහ රංගනයට තමයි මම බැනුම් අහන්නෙ.  මොකද ‘SI කව්ද කියන එක දන්න හඳුනන අය දන්නවනෙ. ඇත්තටම මම රංගන ශිලිපියෙක් විදියට හරිම ආසයි එවැනි ප්‍රතිචාර ලැබීම සම්බන්ධයෙන් මේ නිර්මාණයෙ කොටස් 150වගේ යනතුරු අල්පොන්සො තම මව සහ බිරිඳ සමඟින් අමුතුම විදියකට ජිවත් වුණේ. ඉතාම හුරතල් මිනිස්සු ආදරය කරන තනිකර කොමඩි චරිතයක් බවට පත්වෙලා හිටියා. නමුත් මේ ටික දවසට තමයි තනිකරම වෙනස් වුණේ. කතාව මුලින් යහපත් ප්‍රතිචාරත් මේ වෙද්දි අයහපත් ප්‍රතිචාරත් ලැබෙමින් පවතිනවා. ඉතින් මේ  හැදේමත් එක්ක බලද්දි මම හිතනවා මට ලැබුණු චරිතයට හොඳ සාධාරණයක් කරනවා කියලා. 

ඔබේ බිරිඳගෙන් මේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇය කොහොමත් මේ නිර්මාණයෙ ප්‍රේක්ෂිකාවක්. ඉතින් ඇයගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.  ඇය කොහොමත් නාට්‍ය හා රංගකලාව හදාරලා තියෙනවා. ඒ නිසා රංගනය සම්බන්ධ දැනුමක් තියෙනවා. ඒ නිසා ඒ විචාරය ඇ ය කොහොමත් ලබාදෙනවා. නමුත් මේ නිර්මාණයෙ විකාශය මුලදි වගේ නම් පොඩි ඊර්ෂ්‍යාවක් වගේ තිබුණා. මගේ රංගනයේදි. මොකද අල්පොන්සො චරිතයේ ආදරය හා සම්බන්ධ රූගත කිරීම් තිබුණානෙ. කොහොමත් ඒ ඊර්ෂ්‍යාව ඕනෑම මනුස්සයෙකුට තියෙන දෙයක්නෙ. පසුව ඉතින් ඇයම ඒ සියල්ල තේරුම් අරගෙන මේ වෙද්දි ලොකු සහයෝගයක් ලබාදෙනෙවා මගේ මේ ගමනට.

‘‘ජානු’’ හි අල්පොන්සො චරිත රංගනය SI ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි නේද?

අනිවාර් යෙන්ම මම කොහොමත් රංගන ක්ෂේත්‍රය තුළ රැදිලා හිටියා. නමුත් චරිතයකින් මගේ ගැන විශේෂයෙන් කතා කරලා නැහැ. දැන් පාර තොටේ යද්දි වුණත් ‘‘අල්පොන්සො’’ කියලා ගොඩක් දෙනෙක් කතා කරනවා. මඟ තොටේදී හමුවුණත් මේ චරිතය  ගැන තමයි කතා කරන්නෙ  ඇත්තටම ඒ ගැන සතුටුයි.

ඒ ප්‍රතිචාර නිසාම ලැබුණු ජනප්‍රියත්වයත්  එක්ක ජනප්‍රිය නළුවා සම්මානයට පවා සම්මාන උළෙලවලට නිර්දේශ වුණා නේද?

ඒ ගැන ඇත්තටම මට කියන්න තියෙන්නෙ මම වැඩිපුරම ජනප්‍රිය  වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි. ඒ  තුළිනුත් Fb හරහා ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙර තරඟයක් පැවැත්වුණා. 

ඒ ‘‘Popular Award’’නමින් පැවැත්වුණු තරගයක්,මම ඒ තුළ ජනප්‍රිය රංගන ශිල්පින් 5 දෙනා අතරට ආවා. ඒකත් ඇත්තටම මම ලැබූ එක්තරා ජයග්‍රහණයක්. මොකද මිනිසුන්ගේ ආදරය කියන දේ ලබාගැනීම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මම රංගන ශිල්පියෙක් විදියට තරමක් දුරට සාර්ථකයි කියලා හිතෙනවා. ඒ වගේම මෙවර සුමති සම්මාන උළෙලත් ජනප්‍රිය ඛාණ්ඩයේ අවසන් තරඟකරුවන් 30 දෙනා අතරටත් ඇවිල්ලා තියෙනවා. 

‘‘ජානුට’’ අමතරව නියැළෙන නිර්මාණ කටයුතු?

මේ දිනවල ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක රූගත කිරීම් සිදුවෙනවා. ඒ මහව ප්‍රදේශයේ  ඒත් එක්කම  රිචඩ් මානමුදලිගේ ‘‘වක්‍ර’ සහ චන්දන හේවාපතිරණගේ ‘‘දූවිලි මල්’’ ටෙලි නිර්මාණයේ රංගනයේ යෙදුණා. තවත් ටෙලි නිර්මාණ දෙකකට කතා කරලා තියෙනවා. වගේම වේදිකා නාට්‍ය වැඩක් කරගෙන යනවා. මේ සියල්ල එක්ක මම සුදානමින් ඉන්නවා. මගේම චිත්‍රපටයක් කරන්න.  

ඒ කියන්නෙ 2024  වසර අභියෝගාත්මක වසරක්?

ඔව්, මම අවුරුදු 8ක් තිස්සේ චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන්  පිටපතක් ලියාගෙන හිටියෙ. දැන් ඒ වැඩේට සුදානම් නිෂ්පාදකවරයෙක් නැතිව හිටියෙ. දැන් ඒ වැඩ කටයුත්තත් සාර්ථක වුණා. ඉතින් මාර්තු  මාසයේ රූගත කිරීම් සිදුකරන්න සියලු කටයුතු සුදානම්. 

කලාවෙන්මද ඔබේ ඉදිරි ගමන යන්නත් බලාපොරොත්තුව?

මම දැනට ඉංගිරිය ප්‍රාදේශීය සභාවෙ සේවය කරනවා. සංවර්ධන නිලධාරිවරයෙක් ලෙස. ඒ නිසා වැඩිපුරම කලා කටයුතු සිද්ධ කරන්නෙ සති අන්තයේ තමයි. වෘත්තිය වශයෙන් වෙනත් රැකියාවක නිතර වුණත් කලාව අතඅරින්න කැමති නැහැ. කලාව තුළ රංගනය කියන්නෙ ඇත්තටම කුඩු ගැහුවා වගේ කතාන්තරයක්. පුනරුත්ථාපනය කරලවත් අතඅරින්න බැහැ. මොන තැනක හිටියත් මොන ක්ෂේත්‍රයක වැඩ කළත් කලාව තමයි ලේවල දුවන්නෙ. ඒ තරමට  කලා ක්ෂේත්‍රයට ආදරෙයි වගේම ගෞරව කරනවා.

ධනු විජේරත්න