යෝජනා නම් එනවා. ඒ බොහොමයක් එන්නේ අපේ දන්න කියන යාළුවෝ හරහා
අසංකි ද සිල්වා යනු මෙරට නිරූපන ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ ශිල්පිනියකි. තම වෘත්තියට වටිනාකාමක් ලබාදුන් මේ අසංකි වතාවක රූ රැජිනක් ලෙසද තේරි පත්වූවාය. ඒ 2013 දී ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න සංවිධානය කළ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගයේදීය. එලෙසින් ඇය ටෙලිනාට්‍ය රංගනයට පිවිසියේ මීට වසර කීපයකට පෙරදීය. නමුත් ඇයගේ වැඩි කැමැත්ත සිනමා රංගනයටය. රෂ් චිත්‍රපටයේ හරහා රංගනයට පිවිසි ‘අසංකි’ මේ දිනවල අපට හමුවන්නේ චන්න පෙරේරා ප්‍රවීණයාගේ ‘යුගාත්‍රා’ චිත්‍රපටයේය. එහි ආත්ම දෙකක චරිත රංගනයක යෙදෙන අසංකි අපට කියන්නෙ මොනවද බලමු.
අසංකි එදා ඔබ නිරූපණ ක්ෂේත්රයට ආවේ අහම්බයක් ලෙසද? නැත්නම් අරමුණක් ඇතිවද?
කොහොමටත් පාසල් ගිය කාලයේ ඉඳලම මට තිබුණේ නිරූපණ ශිල්පිනියක වීමේ ආසාවක් සහ උනන්දුවක්. ඒ නිසා ඒ කාලයේදිම පොඩි-පොඩි- අවස්ථා වෙනුවෙන් නිරූපණ කටයුතුවලට සහභාගි වුණා. මොඩ්ලින් කරන්නම කියලා විශේෂ හේතුවක් නැතත් මට තිබුණේ ලොකු කැමැත්තක්. ඒ අංශයට මම ගැලපෙනව කියලා හිතුවා. නිරූපණයට වගේම රංගනයටත් එදා ඉඳලම ආසා කළා. මගේ උස සහ පෙනුම නිසා තමයි නිරූපනයට ගැලපෙනවා කියලා හිතුවේ. ඒ අරමුණ තමයි හැබැ වුණේ.
රඟපෑමට ආසා කළාට අසංකි ටෙලිනාට්‍යවලදි අපට නිතරම දකින්න ලැබෙන්නෙ නැහැ?
මුල් කාලයේදීම වගේ ටෙලිනාට්‍යවලට දායක වුණා. ඇසිඩ් -BVTP, ත්රිධාරා වගේ නාට්‍ය කීපයක රඟපෑවා. හැබැයි රංගනයේ දී මම වඩා ආසා කළේ සිනමාවට. එයින් අදහස් කරන්නෙ ටෙලිනාට්‍යවලට අකමැතියි කියලා නොවෙයි. අදටත් මම හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර ගන්නවා. හැබැයි කොටස් 500 හෝ 1000 වගේ දීර්ඝ ඒවාට නම් යන්නෙ නැහැ. පොඩි කොටස් ගණනකින් නිර්මාණය වෙන ටෙලිනාට්‍යවලට කැමතියි. සිනමාවේ සිටින අතරේ ටෙලිනාට්‍යවලටත් ඒ විදියට දායක වෙන්න කැමතියි.
සිනමා ගමන පහසු වුණාද අසීරු වුණාද?
මුල් කාලයේදි නම් හිතපු තරමට ලෙහෙසි වුණේ නැහැ. හොඳ මිනිස්සු වගේම බොරුකාරයින් එහෙමත් ඉන්නවනෙ. ඒක බෙහෙවින්ම බලපාන්නෙම අලුතින් එන අයට. අර අපි කියන්නෙ මෝඩයාට අන්දන්න බලනවා. අයුතු ප්‍රයෝජන ගන්න බලනවා. අන්න ඒ වගේ දේට නවකයින්ට සමහර අවස්ථාවලදි මුහුණ දෙන්න වෙනවා. සමහර ‘ඔඩිෂන්’ කියන ඒවාට එන්න කියනවා. හැබැයි ඉතින් මට ඒවා ප්‍රශ්න නොවුණේ නිතරම මම ඒ සෑම අවස්ථාවකම ගියේ අම්මා එක්ක. අදටත් බොහෝ අවස්ථාවලදී එහෙමයි. ඒ හැරත් අද ක්ෂේත්රයේ සිටින බොහෝ දෙනා මම දන්නවා. හඳුනනවා. සමහරු රවට්ටන්න හදන අවස්ථා නොතිබුණාම නොවෙයි. හැබැයි ඉතින් ඒවාට අසු නොවී අත්දැකීමක් ලබාගත්තා.
‘ෆිල්ම්’ ඉන්ඩස්ට්‍රි එකට ආවෙ?
රෂ් ෆිල්ම් එකෙන්. ඒකෙ ඔඩිෂන් එකට එන්න කියලා එදා කතා කළේ මහේෂ් මුණසිංහ අයියා. මගේ මුල් කාලය නිසා මම ටිකක් අදිමදි කළා. හැබැයි ඒකට සහභාගි නොවී හිටියා නම් මට ඒ අවස්ථා මගහැරෙන්න තිබුණා. ඒකෙ ඔඩිෂන් එකට සහභාගි වුණාට පස්සේ තමයි මාව තෝරා ගත්තෙ. ‘රෂ්’ තමයි මගේ පළමු ෆිල්ම් එක.
එතකොට ‘යුගාත්‍රා’ දෙවැනි එකද?
ඔව්. චන්න පෙරේරා අයියාගෙ මේ ෆිල්ම් එක කළේ රෂ් ෆිල්ම් එක රඟපාන කාලයේදිම වගෙයි. යුගාත්‍රා තිරගත වෙන්න තිබුණෙත් මීට කලින්. 2017දී 2018 දී වගේ යුගාත්‍රා ෂූට් කළේ. චන්න අයියා වගේ ප්රවීනයකුගේ ෆිල්ම් එකක රඟපාන්න ලැබීම ඇත්තටම ලොකු අවස්ථාවක්. පිටපත කියවද්දි පවා වෙනස් දෙයක් කියලා හිතුවා.
යුගාත්‍රා ෆිල්ම් එකේ අසංකි කවුද?
එ්කේ මම රඟපාන්නෙ අභියෝගාත්මක චරිතයක්. මොකද එහි ආත්ම දෙකක චරිතයක්. එක් ආත්මයක මම රඟපාන්නෙ එරන්දි කියන නමින්. චිත්‍රපටය නරඹද්දි ඒ වෙනස් ප්‍රේක්ෂකයින්ට දැනේවි. චරිතය වෙනුවෙන් සැබෑ රූපයට (පෙනුමට) වඩා මට ටිකක් වෙනස්. හොඳ නිර්මාණයකදි ඒ වෙනස කරන්න සහ දකින්න මම කැමතියි. අභියෝගයක් ගන්න කැමතියි. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වාගේ රූගත කළේ නුවර. ෂුටිං අතරතුර එසේ රූගත කිරීමකදී මට වලව්වේ සිට පරණ වාහනයක් පදවාගෙන යන දර්ශනයකට මුහුණ දෙන්න සිදුවුණා. නුවර පාරවල් කඳු-හෙල්-පල්ලම් එක්කනෙ තියෙන්නෙ. පරණ කාර් එක පදවාගෙන යද්දි මගේ වරදින් එය පාලනය කරගන්න බැරිව ගිහින්. බ්රේක් නැති ගාණට කාර් එක ඉදිරියට ඇදි ගියා. ඊට පස්සේ කොහොමහරි මම එහෙට-මෙහෙට සුක්කානම කපලා පාරේ දෙපස තාත්පයකට වෙන්න වාහනය ගෙනගියා. ඉතින් ඒ විදිය නොවන්නට එදා ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබුණා. ඒ හැර නුවර ශීතල එක්ක රූගත කළ ඒ කාලය හරිම ආසාවෙන් මම ගත කළේ. මාෂි, වගේම අධ්යක්ෂ සහ ප්‍රධාන චරිතයක් රඟපාන චන්න අයියා වගේම මුළු කණ්ඩායමටම හරිම ෆ්‍රෙන්ඩ්ලි. චන්න අයියා කොහොමටත් කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. හැමෝටම එයා එක්ක වැඩ කරන්න පහසුයි. සනත් ගුණතිලක ප්‍රවීනයා සහ නදීකා අක්කා ප්‍රවීන ශිල්පිනියක ලෙස දුන්න සහයෝගය හරිම ඉහළයි. එයාලා හරිම හොඳ මිනිස්සු. ඒ නිසාම ඒ පිරිස එක්ක සතුටින් ගත කළ ඒ කාලය සොඳුරු මතකයක්.
නදීකා ගුණසේකර රඟපෑ ෆිල්ම්ස් අසංකි නරඹලා තියෙනවද?
චංචල රේඛා ෆිල්ම් එකේ ‘කීන දං මිටක් කඩන් ආවා’ ගීතය ගයමින් ඇය රඟපාන හැටි මම නරඹලා තියෙනවා. ගොඩක්ම පරණ ෆිල්ම්ස් නරඹලා නැතත් ඒ කාලයේ හිටපු ඒ නළු නිළියන්ට මම හරිම ආසයි. ඒ කාලයේ මගේ ප්‍රියතම නළුවා වුණේ සනත් ගුණතිලක අයියා. එදා ‘යුගාත්‍රා රඟපාද්දී මම ඒ ගැන සනත් අයියාට කිව්වා.
එදා රඟපෑ අය අතරින් ඔබගෙ ප්‍රියතම නිළිය?
නදීකා අක්කා, ගීතා කුමාරසිංහ අක්කා වගේම සබීතා අක්කටත් ආසයි.
අසංකි, ජීවිතේ ඉස්සෙල්ලාම නැරඹූ ෆිල්ම් එක මතකද?
කීපයක්ම බැලුවා. ඒත් නම් වශයෙන් පළමු එක මතක නැහැ.
යුගාත්‍රා ෆිල්ම් එක අසංකිට දැනෙන විදිය කොහොමද?
වෙනස්ම අත්දැකීමක් මට නම්. ෆිල්ම් එක පුරාවටම ඒ වෙනස දකින්න පුළුවන්. ඊළඟට මොනවද වෙන්නෙ කියලා අවසාන මොහොත දක්වා ප්‍රේක්ෂකයාට හිතාගන්න බැහැ. ඒ තරමටම කුතුහලයක් එක්ක විකාශය වෙන ෆිල්ම් එකක්. ප්‍රේක්ෂකයින්ට වෙනස්ම අත්දැකීමක්. ඒ වෙනසට ඔවුන් කැමති වේවි. ප්‍රේක්ෂිකාවක ලෙස මාත් කැමතියි.
‘අසංකි’ යුගාත්රාවලින් පසුව?
උදාර පල්ලියගුරුගේ ජිග්ලෝ ෆිල්ම් එක එන්න තියෙනවා.
‘අසංකි’ ගෙ ප්‍රධාන වෘත්තිය?
ප්‍රධාන වෘත්තින් දෙකක් මම කරනවා. එකක් රංගනය අනෙක නිරූපණය. නිරූපණය මම අත්හැරලා නැහැ.
ලංකාවේ සිටින මොඩ්ල්ස්ලාගෙන් ඉහළ ගාස්තුවක් අය කරන මොඩිල් කෙනෙක් නේද?
එහෙම කිව්වොත් හරි.
රඟපෑම සහ නිරූපණය අසංකි කොහොමද සසඳන්නෙ?
නිරූපණය රඟපෑමට වඩා වෙනස්. එය ලෙහෙසියෙන් තෝරාගෙන කරන්න පුළුවනි. නිරූපණ ශිල්පිනියක් නිතරම තමන්ගේ සිරුර ගැන හිතන්න වෙනවා. සිරුරෙ නම්‍යශීලිත්වය වගේම හැඩකාර රිද්මය නිතරම තබා ගැනීමට වෙහෙසෙන්න වෙනවා. රංගනයේදි නිරූපණ ශිල්පිනියක් වෙන්න බැහැ. ඒ රංගනයට අදාළව චරිතයට අදාළව හැඩ ගැහෙන්න වෙනවා. කොහොම වුනත් මේ ක්ෂේත්‍ර දෙකේම කටයුතු කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. නිතරම තමාගේ සිරුර නිසි හැඩයකට තබා ගැනීම වෙනුවෙන් ශාරීරික ව්‍යායාම් කරන්න ජිම් එකට යන්න පවා සිදුවෙනවා. ඉතින් ඒ කැප කිරීම කළයුතු වෙනවා වගේම ක්ෂේත්‍ර දෙක ගැන අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. නිරූපණ ශිල්පිනියක් නිතරම ප්‍රසන්නව සිටිය යුතු නිසා අව්වේ ඉන්න, කළු වෙන්න කැමති නැහැ. ඒත් රංගනයේ දි ඒ සියලු කැප කිරීම් කරන්න වෙනවා. මම දැන් ඒකට පුරුදු වෙලා.
අසංකි, විවාහ යෝජනා එහෙමත් බොහොමයක් එනව ඇතිනේ? ඇයි අසංකි තවම විවාහයක් ගැන නොහිතන්නෙ!
යෝජනා නම් එනවා. ඒ බොහොමයක් එන්නේ අපේ දන්න කියන යාළුවෝ හරහා. කෙළින්ම එන යෝජනාවලට වඩා ඒ විදියට එන යෝජනා තමයි තියෙන්නෙ. මම හිතන විදියෙ අදහස්වලට ගැලපෙන යෝජනා ඒ අතර තිබුණෙ නැහැ. මට දැනෙන යෝජනාවක් ආවෙ නැහැ. ප්‍රධාන වශයෙන් මනුස්සකම එක්ක ගැලපෙන ප්‍රධාන ගතිගුණ කීපයක් මම අපේක්ෂා කරනවා. සියයට සියයක්ම ගැලපෙන අය හොයාගන්න අමාරුයි. ඒත් ඊට සමීපයකට යන ගැලපීමක් ගලපා ගත යුතුමයි. ප්‍රධාන ගැලපෙන දේ ගලපාගෙන ගමනක් යා හැකි සහකරුවකු විය යුතුයි. මේ ගමන විවාහයෙන් පසුව මම නවත්වන්න කැමති නැහැ. ඒ සියලු දේ ගැන අවබෝධය සහ අන්‍යෙන්‍ය සහයෝගය ඇති කෙනෙක් විය යුතුමයි. ක්ෂේත්රයේ සමහර අයගෙ විවාහ ජීවිත දිහා බලද්දී සහ දික්කසාද දිහා බලද්දී ඒ අත්දැකීම මට නැතත් විවාහය ගැන මම අවබෝධයෙන් දකින්න කැමති කෙනෙක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ