මිහිරාන්ගේ මව් ගුණ ගීතය සමණල ගිර, නමින් එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගීත කිහිපයක්ම එළිදැක්වූ  තරුණ ගායන ශිල්පියෙක් සමග මෙවර අප කතා බහා කළා. ඔහු නමින් මිහිරාන් ශ්‍රී. දැනට තමාගේම ගීත කිහිපයක්ම නිකුත් කර ඇති ඔහු මීට දින කිහිපයකට පෙර තම අලුත්ම ගීතය සමනළ ගිර.. නමින් එළිදක්වනු ලැබුවා. මේ නිසාම මෙවර සාරවිට තුළින් මිහිරාන්ටත් මෙසේ ඉඩක් වෙන් කළා.

අලුත් ගීතය ගැන මුලින්ම කතා කරමු?

මේ ගීතයේ නම සමනළ ගිර.. මව් ගුණ ගීතයක් කිව්වොත් හරි. ගීතය ලිව්වේ ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රහතන්ගම නාගිත හිමි. සංගීතවත් කළේ ඉසුරු වික්‍රමගේ කියන තරුණ සංගීතවේදියා. මේක මගේ අටවැනි ගීතය. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ගීතය රසවිඳින්න කියලා.

වර්තමානයේ ගොඩ දෙනෙක් ගීත නිකුත් කරන කාලයක් මේක?

ඔව්, අද ගොඩක් නිර්මාණ රැල්ලට බිහිවෙනවා තමයි. හැබැයි මේ ගීතය රැල්ලට නිර්මාණය වුණ එකක් නෙමෙයි. අද ගොඩක් වෙලාවට රැල්ලට නිකුත් වෙන්නේ ආදරය හා විරාහව සම්බන්ධ නිර්මාණය වුණ ගීත. නමුත්, මේක මව්ගුණ ගීතයක්. කාලයකට පස්සේ හිතට දැනෙන සංවේදි මව්ගුණ ගීතයක් කිව්වොත් හරි.

කාලයකට පස්සේ නේද ඔබ ගීතයක් නිකුත් කළේ?

ඔව් මම අන්තිමටම කරපු  ගීතය  සොදුරු ළදේ.. ඒක සියළු රණවිරුවන් වෙනුවෙන් කරපු අපූරු ගීතයක්. කොරෝනා වසංගතයත් සමග අපේ රටේ කලාව පොඩ්ඩක් විතර නැවතුණා වගේ මට දැණුනා. ආර්ථික, සමාජීය, සෞඛ්‍ය මෙන්ම  සංස්කෘතික වශයෙන් අපි ගොඩාක් පරිහානියට පත් වුණා. මේ ප්‍රශ්න මැද්දේ මටත් ඉතින් හොද නිර්මාණයක් කරන්න බැරි වුණා. නමුත්, මම හිතනවා කාලය අරගෙන මේ කරපු නිර්මාණය හොඳ වටිනා එකක් වේවි කියලා.

ගීතයක් ජනප්‍රිය වෙන්න නම් රූප රචනාවක් අවශ්‍යයමයි?

ඇත්තෙන්ම ඔව්. රූප රචනාවක් කරන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ මම. ඒක "කාලම" නැමැති ප්‍රඩක්ෂන් ආයතනයක් බාර ගත්තා. දැනටමත් ඒකේ වැඩ කටයුතු ගොඩක් දුරට අවසන් වෙමින් තියෙනවා. මම හිතනවා ඉතා ඉක්මණින් මේ ගීතයේ රූප රචනාව රසවිඳින්න මගේ ආදරණිය රසික, රසිකාවියන්ට අවස්ථාව ලැබෙයි කියලා.  

කරපු නිර්මාණ එක්ක ගත්තොත් මේ ගීතය සාර්ථකද?

මම දැනට කරපු හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්. ඉතින් මම හිතනවා මේ ගීතයේ වෙනසත් මගේ ආදරණිය රසික, රසිකාවියන්ට දැනෙවි කියලා. රූප රචනාවක් ඉදිරියේදී නිකුත් කරන නිසා මේ ගීතය හොඳ සාර්ථක එකක් වේවි කියලා මට හිතෙනවා.  

බුද්ධික සේනාධීර