මහන්සි වෙලා උපයන කෙනෙක් තමයි මට ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචින්තනි කෞශල්‍යා වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනු දක්ෂ යොවුන් රංගන ශිල්පිණියකි. මේ නිසාම සාරවිට අපද ඇයව වෙනුවෙන් ඉඩක් වෙන් කළා. නිතර කලා හා පෞද්ගලික ජිවිතේ ගැන තොරතුරු විමසන නිසාම මෙවර අප ඇයගෙන් ආදරය ගැන විමසුවා. මේ සචින්තනි ඊට අපට දුන් ප්‍රතිචාර.

සචින්තනිගේ මුල්ම ආදරය මතකද?

මුල්ම ආදරය මතකයි. ඒක ඇති වුණේ පාසල් යන කාලේ. මට මතක හැටියට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිපු කාලේ.  හැබැයි මගේ පළමු ආදර සම්බන්ධය නම් ලොකු කාලයක් තිබුණේ නැහැ.

පෙම්වතා දුන්න මුල්ම තැග්ග මොකක්ද?

තැගි නම් ගොඩක් දීලා තියෙනවා. මුල්ම තැග්ග නම් මොකක්ද කියලා හරියටම මට මතක නැහැ. මම අනුමාන කරන විදිහට නම් ඔහු මුලින්ම මට දුන්නේ චොකලට් එකක්.

පාසල් කාලයේ සචින්තනිගෙන් ආදරය ඉල්ලගෙන ආපු පිරිස මතකද?

එහෙම මතක නැහැ මට. මම ගියේ බාලිකා පාසලකට නේ. ඉතින් පාසලේ තිබුණ නිති පද්ධතියත් එක්ක අපි යම් රාමුවකට සීමාවෙලා හිටියේ. අනික මම එහෙම ලොකුවට පිරිමි ළමුන් එක්ක කතා බහ කරන්න කැමති කෙනෙකුත් නෙවෙයි. කොටින්ම කියනවා මට පිරිමි යාළුවෝ කවුරුත් හිටියේ නැහැ. ඒ හින්දා එහෙම ලොකුවට ආදර යෝජනා මට ආවේ නැහැ. හිතින් නම් මට ඉතින් ගොඩක් ආදරේ කරන්න ඇති. ප්‍රසිද්ධියේ එහෙම මට ආදරේයි කියලා නම් නැහැ.

සචින්තිගේ ආදර කතාවල අමතක නොවන සිදුවිම් එහෙම නැද්ද?

මෙහෙම වැඩක් වුණා. මගේ දහම් පාසලේ හිටපු පිරිමි යාළුවෙක් නිතරම වගේ මගෙන් තව මාත් එකක් ඉන්න ගැහැණු යාළුවෙක් ගැන තොරතුරු අහන්න ගත්තා. මම හිතුවා එයාට කැමති නිසානේ මගෙන් විස්තර අහන්නේ කියලා ඉතින් මමත් එයාට උදව් කළා. හැබැයි පස්සේ මට දැනගන්න ලැබුණා ඒ කෙනා මගේ යාළුවා ගැන නෙමෙයි මා ගැනයි අදහසක් තියාගෙන ඉඳලා තියෙන්නේ කියලා. මාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනා කියන අදහසින් තමා ඒ පිරිමි යාළුවා මාත් එක්ක බොරුවට අර මගේ ගැහැණු යාළුවාගේ තොරතුරු අහලා තියෙන්නේ.  

ඔබට වැඩිපුර ආකාර්ශණය තියෙන්නේ මොන පාර්ශවයේ අයගෙන්ද?

එහෙම දෙයක් මට දැනිලා නැහැ. හැමෝම මට කැමතියි ආදරේයි. ගැණු ළමයි පිරිමි ළමයි කියලා එහෙම විශේෂයෙක් නැහැ. අනික මම කලා තරුවක්. ඉතින් නිතරම වගේ හැමෝගේම ආකාර්ශණය මට විවිධත්වයකින් තොරව ලැබෙනවා. වයස් කාණ්ඩවලිනුත් එහෙම තමා. තරුණ වැඩිහිටි කුඩා මේ හැම කෙනාම මට ආදරේයි.

දැනට සචින්තනි කිදෙනෙකුට ආදරය කරලා තියෙනවාද?

පාසල් ප්‍රේම සම්බන්ධයත් එක්ක මම දැනට තුන් දෙනෙක්ට විතර ආදරය කරලා තියෙනවා. හැබැයි අද වෙන කොට නම් පෙම්වතියක් නෙමෙයි. තව ඒ ගැන හිතන්න කාලය තියෙනවා කියලා මට හිතෙන්නේ. දැනට මුලිකම අවධානය යොමු කරලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලටයි කලා නිර්මාණවලටයි විතරයි.  

ජනප්‍රිය පුද්ගලයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?

මට පුද්ගලයෙකුගේ ජනප්‍රියත්වය කියන දේ අදාලා කරගෙන මම ඔහුට ආදරය කරන්නේ නැහැ. මොකද, ජනප්‍රියත්වය නෙමෙයි මම මුලිකවම හිතන්නේ. ඒ කෙනාගේ ගතිගුණ හැසිරිම හා ඔහු තමන්ගේ පෙම්වතිය, බිරිඳ කොහොමද රැක බලාගන්නේ. ඇයට ආදරය කරන්නේ කොහොමද කියන කාරණා ටික. එහෙම නැතුව එයා ජනප්‍රිය නිසා එයාගේ ආදර යෝජනාව භාරගන්නවා කියන අදහසේ මම ඉන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක්ද?

මාව තේරුම් ගන්න පුළුවන්. මා ගැන ගොඩක් අවබෝධයෙන් ඉන්න පුළුවන්. මගේ නිදහස සිමා නොකරන කෙනෙක් වෙන්න ඕනා. ඒ වගේම තමයි එයාගේ මුළු ජිවිතයම මම වෙන්නත් ඕනා. ඒ වගේම අනාගතය වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක් වෙන්න ඕනා. හැමදෙයක්ම තියෙන කෙනෙක් නෙමෙයි මහන්සි වෙලා උපයන කෙනෙක් තමයි මට ගැළපෙන්නේ. ඒ වගේම තමයි අවබෝධය හා තේරුම් ගැනීම. ඒ කාරණා දෙක මම අනිවාර්යයෙන්ම මට කැමති වෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා.

බුද්ධික සේනාධීර