මැස්සා නාට්‍යයේ බුවා වෙනුවෙන්ම තමයි මේ විදියට කොණ්ඩය හැදුවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙයාගේ නම ජෙනට් ඇන්තනි. හැබැයි ඒ වුණාට මේ දිනවල හැමෝම වාගේ මෙයාට කතා කරන්නේ ‘බුවා’ කියලයි. කෞෂල්‍ය පතිරණගේ රචනයෙන්, ඉන්දික ධර්මතිලක අධ්‍යක්‍ෂණය කළ මැස්සා නාට්‍යයේ ජෙනට් රඟ පාන්නේ ‘බුවා’ යන චරිතයයි. හීනියට ගොතා ගත් කොණ්ඩ කරල් සහිත කොණ්ඩා විලාසිතාව නිසා මේ ‘බුවා’ ගැන බෙහෝ දෙනෙක් විමසන බව කියන්න පුළුවන්? කවුද මේ බුවා? එහෙම නම් මැස්සා නාට්‍යයේ බුවා වූ ඔහු කවුද කියා හරියටම විස්තර අද අපි කියවමු.

ජෙනට් ඇන්තනි ? ඉතින්, ඉතින් කොහොමද?

අනේ හොඳයි ඉතින්.

ජෙනට් කියන්නද? ඇන්තනි කියන්නද? නැත්නම් බුවා කියන්නද?

‘ජෙනා’ කියලා තමයි යාළුවෝ ඔක්කොම වගේ මට කතා කරන්නේ.

ජෙනා, බුවා වෙනුවෙන්ම ද ඔය විදියට කොණ්ඩය හැදුවේ?

ඔව් මැස්සා නාට්‍යයේ බුවා වෙනුවෙන්ම තමයි මේ විදියට කොණ්ඩය හැදුවේ. ‘බුවා’ ගේ චරිතය ගැන කියද්දී අධ්‍යක්‍ෂ ඉන්දික ධර්මතිලක එක්ක කතා කරගෙන යද්දි, අපි මේ විදියට කොණ්ඩය හදමු කියලා කතා වුණා. මේක ඇත්තටම ලෙහෙසි වුණේ නැහැ.

ඒ කිව්වේ කොණ්ඩය හදන්න ද?

ඔව්, ඔව්, මේ විදියට කොණ්ඩය හදන්න පැය 4ක් විතර නිසා. මුලින්ම මේ වැඩේ කළේ මගේ යාළුවෙක්. එයාගේ නම තිවංක සම්පත්. මේ විදියට කොණ්ඩ විලාසිතාව හදන වෙලාවේ මගේ කොණ්ඩය එතරමට දිගු නැහැ. ඒ නිසා පාට පාට (සුදු-රතු) විදියට කෙස් ගස් (කෘතිම)  අරගෙන මගේ කොණ්ඩයට තියලා තිවංක හරි ලස්සනට ගෙතුවා. ඒකට පැය 4ක් විතර ගියේ ඒ නිසයි. කොණ්ඩ කැරලි හතලිහක් විතර මේ රටාවට තියෙනවා. මේ විදියට දැමු මේ විලාසිතාව, ෂුටිං ඉවර වෙනකල්ම (සම්පූර්ණ නාට්‍යයේ) තියාගන්න වෙනවා.

එතකොට නාද්දී මේ විලාසිතාව මේ විදියට තියා ගන්න පුළුවනි ද?

දවස් හතක් හිස සෝදන්නේ නැතුව ඉන්න වුණා. එක හරි අසීරු දෙයක්. පළමු දවසේ වැඩියෙන්ම අසිරු වුණා. ඒත් ඒක ආසාවෙන් කළා.

ඒ කියන්නේ ලොකු කැප කිරීමක් ?

ඇත්තටම අසිරු දෙයක්. ඒත් දැන් මම ඒකට හුරුවෙලා.

ගෙදරින් ඇහුවාම නම් කියන්නේ, මේ විලාසිතාව දාපු දවසේ ඉදලා ගෙදර වතුර ටික ඉතුරු වුණාය කියලයි. මොකද සාමාන්‍යයෙන් ජෙනට් බාත්රූම් එකට ගියාම ලෙහෙසියෙන් එළියට එන කෙනෙක් නෙවෙයිලු? වතුරෙම ඉන්න කෙනෙක්ලු?

ඇත්තම කතාව ඒක තමයි. කොහොමද අප්පා මේවා හොයා ගන්නේ. කොහොම වුණත් කතාව ඇත්ත. නාන්නා ගියාම, මුහුණ සෝදන්න ගියාම මම සෑහෙන වෙලාවක් ගන්නවා තමයි. ෂූටිං තියෙන දවස්වලට ගෙදර වතුර ටික ඉතුරුයි.

ජෙනා ගෙදර විස්තර කියමු.

මගේ ගම දෙහිවල.

අම්මයි - තාත්තයි, මල්ලියි, නංගියි මමයි ආච්චියි, සීයයි. දෙහිවල කියන්නේ  දෙබස් කථන මුද්‍රා නාට්‍යයට ප්‍රසිද්ධ පළාතක්නේ. අපේ පවුලේ පැවැත්ම බැලුවාම මගේ මව්පියන් මුද්‍රා නාට්‍යයට සමබන්ධයි. ඉතින් ඒ කලාව මටත් පිහිටන්න ඇති. තාත්තා පුංචි ව්‍යාපාරයක් කරගෙන  යනවා. ඒක එළවළු ව්‍යාපාරයක්. අම්මා රැකියාව කරන්නේ පුද්ගලික බැංකුවක. මල්ලි රැකියාවක් කරන අතරේ ව්‍යාපාරවලටත් සම්බන්ධයි. නංගි විගණන අංශයේ නිලධාරිනියක් ලෙස කටයුතු කරනවා.

ජෙනට්ට ජොබ් එකක් කිරීමේ අරමුණක් තිබුණේ නැද්ද?

කලාව තමයි ඇඟේ තිබුණේ. ඉතින් ඒ අතරින් මාත් තාත්තාගේ ව්‍යාපාරයට සහයෝගයක් දෙනවා. ආසාව තිබුණෙම මට නළුවෙකු වෙන්නයි. නාට්‍ය කාලාවට ආවේ පාසල් කාලයේදිමයි. විෂයන් හැටියට තෝරා ගත්තෙත්  නාට්‍ය හා රංග කලාව.

මම ඉගෙන ගත්තේ දෙහිවල ඇස්. ද ඇස් ජයසිංහ මාධ්‍ය මහා විද්‍යාලයෙන්. එදා ඉඳලා හීනය වුණේ නළුකම තෝරා ගන්නයි.

ඒකාලයේ හොඳ සැහැල්ලු පන්දු ක්‍රීඩකයෙක් ලු නේද?

පාසල් කාලයේ දී ටිකක් තදට සැහැල්ලු පන්දු ගැහුවා.  ක්‍රීකට් ගහනවාටත් වඩා ඒ දිනවල යාළුවෙක් මාව ඒ තැන්වලට එක්කගෙන ගියේ මම සිංදු කියපු නිසයි.

ඉතින් ඇයි ගායකයෙක් වුණේ නැත්තේ ?

 ගායකයකු වීමට තමයි මුලින්ම හීතේ තිබුණේ. ඒත් ඒ කාලයේ ඉඳලම වේදිකා නාට්‍යවල රඟපෑමට එක්වීම නිසා ජීවිතය එතැන් සිට ගලා ගියේ වේදිකා නාට්‍ය එක්ක. නළුවෙක් වුණොත් ගායනයට එන්නත් පුළුවන් නිසා. කළාව ඇත්තෙන්ම පවුලෙන්ම පිහිටලා තියෙන දෙයක් කිව්වොත් හරි. කෝටිපතියෝ, අමුතු රසිකයා. කොළඹ ඉතාලිය, අග්නි පියාපත්, හතේ කල්ලිය, සඳසාවි, විකාශයට නියමිත කොඩි ගහයට සහ අයිස් නාට්‍යවලට සම්බන්ධ වුණා.

අද එතකොට වෘත්තියෙන් නළුවෙක්?

ඔව්.

මැස්සා නාට්‍යයේ බුවා සහ ජෙනට් ගත්තොත්, කොහොමද සසඳන්නේ.

මැස්සා නාට්‍යයේ චරිත නිර්මාණය කළ කෞෂල්‍ය පතිරගේ එය හරි අපූරුවට කර තිබෙනවා. තරුණ ජීවිතවලට මුහුණ දීමට සිදුවන හැල හැප්පිම් ටික. ඒ විදියට ජීවත්වන චරිතයක් තමයි බුවා.

එයාට අරමුණක් නැහැ. එකම දේ එදා දවසේ ජීවත්වීම හැර, වෙන විශේෂ අරමුණක් බුවාට නැහැ. එයාට නිතර බඩ ගිනි එනවා. මගේ සාමාන්‍යා ජීවිතේ තියෙන පුරුදු ටික ගත්තොත් ඔය බඩගිනි එන එක බුවාට වගේ මටත් තියෙන දෙයක්. මම සැබැ ජීවිතේ සතුටින් ජීවත්වන, කෙනෙක්. බුවා හරි හිත හොඳ මිත්‍රයෙක්. සැබෑවට මාත් එහෙමයි.

බූවා වීම නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

‘මැස්සා’ නාට්‍යයේ චරිත ඔක්කොටම ලැබෙන ප්‍රතිචාර හොඳයි. පුංචි ළමුන් පවා ආසා බව පේනවා. පිටපත් රචකයා මේක මේ අවස්ථාව රටට දැනෙන දේවල් අරගෙන තමයි හරි ලස්සනට ලියන්නේ. අධ්‍යක්‍ෂ ඉන්දික ධර්මතිලක ඒකට ජීවයක් ලබා දී තිබෙනවා. ඔහු නළුවෙක් හසුරුවන විදිය ඉතාම විශිෂ්ටයි. ප්‍රභාත් දර්ශන කැමරාවෙන් පාන දස්කම් අපට දැනෙන්නේ වැඩ මුළුවකට සහභාගී වුණා වගේ හැඟීමක්. නිෂ්පාදක ජනක සම්පත් තඹරවිල මේ නිෂ්පාදනයට දෙන සහයෝගය මිළ කළ නොහැකි දෙයක්.

බුවා වූ ජෙනට්, ඔක්තෝබර් විසිවැනිදා (20) විවාහ ගිවිස ගත්තා. ඒ ආදර කතාව ගැන දැන් කියමු.

එක පාසලදෙ බැඳි ප්‍රේමයක්. දස වසරක ආදර පුවතක්. ඉතින් ඒ දසවරසක ආදර කතාව තවත් ලස්සන කරමින් අරුත් ගන්වමින් අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. මට සිංහල ඉගැන් වූ ගුරුතුමියගේ නංගි ගේ දුව තමයි ඇය. අද ඇයත් නර්තන අංශයේ ගුරුවරියක්. මගේ සිංහල ගුරුතුමියගේ නම කුසුමා අමරසිංහ. ඒ ගුරුතුමිය නිසා තමයි මට මගේ ආදරවන්තිය හමු වුණේ. ඉතින් ඒ ප්‍රේම කතාව එදා ඉඳලා සුන්දරව ගලා ගියා.

විවාහ වෙලත් එකට ඉන්න බැරි, දික්කසාද වන බොහෝ චරිත අතරේ, වසර දහයක ඒ ප්‍රේමය අරුත්බර කරගත් විදිය අපි සමාජයට කියමු?

ඒක ඇත්තටම හොඳ අවබෝධය. අපි නළුවොනේ. ඉතින් නළුවකු ලෙස කරන රාජකාරිය ගැන ඇයට තියෙන්නේ හොඳ අවබෝධයක්. අපට නිතර මුණ ගැසෙන්න විදියක් නැහැ. කතා කරන්න විදියක් නැහැ. ඒත් ඒ ගැන අවබෝධය එයාට තියෙනවා. ඒ ඉවසීම තමයි මෙච්චර දුර ගමනක් අවේ.

මැස්සා’ රූගත කරන්නේ කොහෙද?

කොට්ටාව අවට සහ මරදානේ ගොඩනැගිලලක් ඇති පරිශ්‍රයක.

මැස්සා නාට්‍යයේ නිතරම ගැටෙන දසුන් ඇතුළු ඒ මිතුරන්ගේ මිත්‍රත්වය ගැන දකින්නෙ කොහොමද?

දසුන් පතිරණ එක්ක රඟපෑමට ලොකු ආසාවක් තිබුණේ. එයා හරිම දක්‍ෂයෙක්. දසුන් අයියා වේදිකාව හරහා හඳුනාගෙන හිටියේ. ඒත් මේ විදියට සමීපව රඟපෑමට ලැබුණේ මැස්සා නිසයි.

චතුර රාජපක්‍ෂ මගේ සමකාලීන සමීප මිතුරෙක් ද විරාජ් මල්ලිත් මූණ ගැහුණේ මැස්සා නිසා. ෂූටිං ඉවර වෙනකල් ලොජ් එකේ හිටියත් අපි හතර දෙනා ඉන්නේ එකට. දසුන් අයියාගේ ගෙදර තියෙන්නෙත් ලොකේෂන් එක අවට නිසා අපි හතර දෙනා වැඩිපුර ඉන්නේ එහේ. හංසි අක්කා අපට ලොකු සහයෝගයක් දෙන්නේ.

සඳුන් ගමගේ