‘මැස්සා’ තුළ මම රංගනයෙන් දායක වෙන්නෙ සල්ලාල චරිතයකට
කලා ක්ෂේත්රයට සම්බන්ධ වී සිටින නවක රංගන ශිල්පීන් අතරින් අද වන විට ඉදිරියෙන් සිටින රංගන ශිල්පියෙක් වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කළා.මේ කතාබහ සමුදිත උදාර වෙනුවෙන්.
‘මැස්සා’ ටෙලි නිර්මාණ රංගනය තුළින් සමුදිතට යහපත් ප්‍රතිචාර ලැබෙන්නෙ නැතිව ඇති නේද?
ඔව්. ඇත්තටම ඒ චරිත රංගනය වෙනුවෙන් බොහෝ දෙනෙක් බනින එක තමයි සිද්ධ වෙන්නෙ නම්. ලැබෙන ප්‍රතිචාර නම් ඉතින් යහපත් මට්ටමක නැහැ.
ඉතින් මේ චරිතය ගැන කියමු?
‘මැස්සා’ තුළ මම රංගනයෙන් දායක වෙන්නෙ සල්ලාල චරිතයකට. ඒ කියන්නෙ හැම තිස්සෙම මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බලන, ගැහැණු ළමයින්ව රවට්ටන, බොරු කරන නසරානිම චරිත රංගනයක්.
ඔහු මාධව, ඉතින් මේ චරිත රංගනය වෙනුවෙන් ගොඩක් බැනුම් ඇහුවා.
‘මැස්සා’ කියන්නෙ ඔබේ පළමු ටෙලි රංගනයද?
නැහැ, මීට පෙර මම ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණු චරිතයක් වුණේ ‘මැස්සා’ හි චරිතය තමයි. මම 2016 වසරේ තමයි කලා ක්ෂේත්රයට එකතුවෙන්නෙ මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදියට එන්නෙ. ඉන් පසුව ඒ ක්ෂේත්රය හරහා කලා ක්ෂේත්රයට සම්බන්ධ චරිත බොහෝ දෙනෙක් හඳුනගන්නට ලැබෙනවා. ඒ හඳුනාගැනීම් එක්ක තමයි මුලින්ම 2017 වසරේ දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘‘රාවණ’’ නිර්මාණය වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නෙ. ඒ අතරතුරදි මට නිර්මාණ කිහිපයකම උපප්‍රධාන චරිත රංගනයන් කරන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව මම 2017, 2018 වසරවල රංගනයෙන් ඈත්වෙලා පුංචි විරාමයක් ගත්තා.
ඒ ආර්ථික පැත්තෙන් ශක්තිමත් වෙන්න ඕනා නිසා වෙනත් රැකියාවක යෙදෙන්නට අවශ්‍ය වූ නිසා. නමුත් හිත තිබුණෙ කලාව තුළ. ඒ නිසා නැවතත් කලා ක්ෂේත්රයටම සම්බන්ධ වුණා. ඒ කරපු රැකියාවලටත් සමුදීලා. ඒ සම්බන්ධවෙලා නැවතත් ආරම්භ කරපු ගමන තමයි මේ දක්වා කරගෙන යන්නේ.
සමුදිත සමාජ මාධ්‍ය ඔස්සේත් මේ දිනවල ජනප්‍රිය චරිතයක් නේද?
ඇත්තටම ඒ සම්බන්ධයෙන් කතා කරනව නම් අපි U Tube හරහා කෙටි නාට්‍ය නිර්මාණයක් කරනවා. ලහිරු මුදලිගේ අයියගේ හරි TV ආයතනයෙන් තමයි ඒ දේ ආරම්භ කළේ. එහිදී නිර්මාණය කරන හැම වීඩියෝවකින්ම සමාජයට ආදර්ශයක් තමයි ලබා දෙන්නේ. ගෘහස්ථ හිංසන, කාන්තාවන්ට සමාජයේ වන අසාධාරණ, ලංකාව තුළ පවුල් සංස්ථාව තුළ ඇති වන ප්‍රශ්න පිළිබඳව ඒ නිර්මාණයන් සිදු කරන්නේ. ඒ රංගනයන් තුළත් මට වැඩිපුරම ලැබිලා තියෙන්නේ කලු චරිත රංගනයන්. ඒ නිසා ඒ රංගනයන්ටත් පොඩ්ඩක් බැනුම් අහන්න සිදුවෙලා තියෙනවා. මොකද ඒ රංගනයන් තුළින් මිනිස්සු හිතනවා ඇත්තටම මම එවැනි චරිතයක් කියලා. චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි මම ගොඩක්ම හිතන්නේ. එතකොට මම සමුදිත වෙලා හරියන්නෙ නැහැනෙ. ඉතින් බොහෝ දෙනෙක් මගේ රංගනයන් තේරුම් අරගෙන ඉන්නවා. ඒත් එක්කම කිහිප දෙනෙක් ඒ තුළ වැරදි කෝනයකින් බලන තත්ත්වයකුත් තියෙනවා. නමුත් මේ කෙටි නාට්‍යවලට ඒ පිටපත්වලට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ කතන්දර එළියට දැම්මට ඒ කතා තව තවත් බලාපොරොත්තු වන පිරිසකුත් ඉන්නවා. ඒ සමහර කතාවලට සැබෑවටම මුහුණදෙන්නට වුණු චරිත ඉන්නවා. ඇත්තටම අපි මේ නිර්මාණයන් තුළින් කියන්නෙ සමාජයේ වැරදි දේවල් කරන්න එපා, හොඳ සමාජයක් බිහි කරමු කියලා. තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා කියන පණිවිඩය තමයි ලබා දෙන්නේ. ඇත්තටම අපි ජීවත් වෙන්නෙ ටික කාලයයිනෙ. ඒ කාලය තුළ අපි මිනිසුන්ට කාටවත් ගින්දරක් නොදී ජිවත් වෙන්න ඕනැ.
කලු චරිත රඟපෑවට සමුදිත කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක් වගේ?
ඇත්තටම චරිත රංගනයන් ඇතුළත මම කලු චරිත රඟපෑවට ඇත්ත ජීවිතේ මම කවදාවත්ම තවත් කෙනෙකුට කරදරයක්, හිංසාවක් පීඩාවක් වෙන විදියට හැසිරෙන කෙනෙක් නෙවෙයි. මට ඇත්තටම එහෙම කරන්නත් බැහැ. මම කැමතියි ගොඩක් සරළව ජීවත් වෙන්න. චරිතවලට මම දුෂ්ට වුණාට ඇත්ත ජීවිතේ එවැනි දුෂ්ටකමක් ගෑවිලාවත් නැහැ.
රංගනයට සම්බන්ධවීම සමුදිතගෙ හීනයක් සැබෑවීමක්ද?
ඇත්තටම මම දන්න කියන කාලෙ ඉඳන්ම පුංචි කාලෙදිත් හිතුවෙ කවදාහරි රංගන ශිල්පියෙක් වෙන්න. චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන ආසාව හොඳටම තිබුණා. චිත්‍රපට බලද්දි චිත්‍රපටයටත් වඩා රංගන ශිල්පීන්ගේ ඒ ඉරියව් තමයි ගොඩක් බලන්නෙ. ඒ තරමට උණක් ගහලා තිබුණා. ඒ නිසාම පාසලේ 9 වසරෙදී වගේ. පාසල් වේදිකාවට සම්බන්ධ වුණා. ඒ තුළ මගේ ගුරුවරයා වුණේ තිස්ස ගුණවර්ධන ගුරු පියාණන්. මම පාසල් ගියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට. අපේ පාසලෙන් කලා ක්ෂේත්රයට බොහෝ පිරිසක් අවතීර්ණ වෙලා ඉන්නවා. අද ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පී ජගත් චමිල කලාකරුවා බිහිවුණෙත් මේ පාසලෙන්. ඉන්පසුව O/L සහ A/L වලටත් මම නාට්‍ය හා රංග කලාව තමයි කළේ. ඉන්පසුව පාසලෙන් 2016 වසරේ සමුගැනීමත් එක්ක තමයි කලා ක්ෂේත්රයට සම්බන්ධ වුණේ.
රංගනයට අමතරව පාසල් කාලේ දක්ෂතා තිබුණෙ?
මට ඇත්තටම ක්‍රීඩාවට ලොකු දක්ෂතාවයක් තිබුණා. පුංචිම කාලේ ක්‍රිකට් සෙල්ලම් කළා. ඊට අමතරව අත්පන්දු සහ මලල ක්‍රීඩා කළා. ඒ තුළින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. මලල ක්‍රීඩාවලට තමයි වැඩිපුරම දක්ෂ වුණේ. වේල්ස් කුමර විදුහලේ අවුරුදු 21න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වුණා. ඒ තුළින් ලබාගත් සම්මාන සහතිකපත්, පදක්කම් විශාල සංඛ්‍යාවක් ගෙදර තියෙනවා. ඒ දේවල් කරන ගමන් තමයි රංගනයටත් යොමු වුණේ.
ඇයි ක්‍රීඩාවෙන් දුරක් යන්න හිතුවෙ නැත්තෙ?
ජිවිතේ කොච්චර දේවල් කළත් අපි නතර වෙන්නෙ ජීවිතේ විඳින්න පුළුවන් තැනනෙ. ඉතින් මගේ ජිවිතේ වුණේ වැඩි කැමැත්ත තිබුණෙ කලාව තුළ. ඒ නිසා මම කලාව දිගටම කරගෙන යන්න හිතුවා.
ඒ කියන්නෙ අද වෘත්තීමය කලාකරුවෙක්ද?
ඇත්තටම අද මේ වගේ රටක රංගනය වෘත්තීය විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා රංගන ශිල්පිනියකට හෝ රංගන ශිල්පියෙකුට රංගනය එක්ක තවත් රැකියාවක නිරත වෙන්නම සිද්ධ වෙනවා. මම රංගනයට ආසයි, ආදරෙයි. නමුත් මේ තුළ කාලා, ඇඳලා වාහනයක් අරගෙන දෙමව්පියන්ට සලකගෙන ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. එ් නිසා මම වෙනත් රැකියාවක් කරන ගමන් මේ තුළ රැඳිලා හිටියේ. මම බැංකු 3ක සේවය කළා. මොකද මම ඉගෙන ගත්තෙ ව්‍යාපාර කළමනාකරණ අංශයෙන්. නමුත් මම වෙනත් තැනක 8-5 වැඩ කරන්න කැමති නැහැ තවත් කෙනෙකුගේ යටතේ. ඒ නිසාම මට මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි ඕනෑ වුණේ. ඒනිසා කරපු රැකියාවලට සමුදීලා මගේම නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා. ඒ සමග තමයි රංගනයත් කරගෙන ගියේ. ඇත්තටම මට දැන් අවුරුදු 26ක් වෙනවා. අවුරුදු 30 වෙද්දි මගේ ජීවිතේ ස්ථාවර කරගැනීම තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ නිසා මම ඉගෙන ගත්ත ව්‍යාපාර කළමනාකරණය ඔස්සේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුව මේ වෙද්දි ඉෂ්ට වේගෙන යනවා. වීඩියෝ නිෂ්පාදන ආයතනය මගේ පළමු ව්‍යාපාරය වගේම ඒ අතරතුර දෙවැනි ව්‍යාපාරය විදියට අප්‍රේල් මාසයේ සැලුන් එකක් විවෘත කරනවා ‘‘සැලුන් කොලොම්බියා’’ නමින්. ඒ දේත් එක්ක ආර්ථිකයත් හදාගෙන කලාව පැත්තෙනුත් පියවරෙන් පියවර ලස්සන ගමනක් යන්න තමයි කැමති.
කලාව තුළ ඉදිරි වැඩකටයුතු කොහොමද?
‘‘මැස්සා’’ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා ඉන්දික ධර්මතිලක මහත්මයගේ තවත් නිර්මාණ කටයුතු කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම අලුත් ටෙලි නිර්මාණයක් සහ සිනමා නිර්මාණයක් තුළිනුත් ඉතා නුදුරේදීම මාව දකින්න ලැබෙයි. ෂර්මිලා ධර්මරාසා මහත්මියගෙ අලුත්ම නිර්මාණයක් වන ‘‘රෝස’’ ළඟදීම විකාශය වෙයි.
සමුදිතට ගෙදර කවුද ඉන්නෙ සහ මේ දේවල්වලට ගෙදරින් කොයි වගේ ශක්තියක්ද තියෙන්නෙ?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා රජයේ සේවකයෙක් විදියට සේවය කළේ. දැන් ගෙදර ඉන්නෙ. අම්මත් රැකියාවක් කරන්නෙ නැහැ. අක්කා මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඉතින් පවුලේ මේ තිදෙනාම ලොකු ශක්තියක් වෙලා ඉන්නවා හැම වැඩකටයුත්තකදීම. අද මේ ඇවිල්ලා ඉන්න තැනට ඒ ශක්තිය තමයි වැදගත්ම දේ වුණේ.
ධනු විජේරත්න