මාස 4ක් ඩිප්රෙශන් තත්ත්වයේ හිටියේ, ඇඳ ගාව පොළවේ ඉඳගෙන මම ඇඬුවා
රශීපබා සංදීපනි. වෙනත් විදිහකින් ඇයව හඳුන්වා දෙන්නද ? ඇය තමයි "සිහින ගෙනෙන කුමාරියේ" සත්සරණි..!! කෙටි කාලයකින් පුංචි තිරය අතික්රමණය කළා වගේම ඇය හිතාගන්නවත් බැරි තරම් ඉක්මණින් උතුරු ඉන්දියානු සිනමාව වෙනුවෙනුත් පියාසර කරනවා. අතිශය දක්ෂ රශීපබා යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පළ කළ අදහස් කිහිපයක් තමයි මේ.
ඇය ඒ කිව්වේ ඇගේ දුක්බරම මතකවලින් ටිකක්.
"මම ගොඩක් සංවේදී චරිතයක්. මම මනුස්සයෙක්ට ආදරය කරනවා නම්, යාලුවෝ හරි.. ආදරේ කරන කෙනෙක් හරි වේවා, මම ළඟට ගන්නෙ පොඩි පිරිසයි. මම එයාලව මගේ කරගෙන ආදරේ කරනවා. නමුත්... ඒකෙන් මිනිස්සු ප්රයෝජන ගන්නවා කියන එක මම අත්දැක්කා. දුර ඉන්න හතුරට වඩා ළඟම ඉන්න මිතුරාගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන. අවුරුදු ගාණක් තිස්සෙ මට හිටියා හොඳ යාලුවෙක්. ජීවිතේ මට විශ්වාස කරන්න බැරිවිදිහේ දෙයක් එයාගෙන් මට සිද්ධ වුණා. යාලුවෙක් වුණාම චරිතය බිඳින්න කතා කරන්නෙ නෑනේ. ඒ කාල සීමාව ඇතුළත මම ඩිප්රේශන් තත්ත්වයට එනවා. මාස 4ක විතර කාලයක්. ඒ කාලේ මම සෑහෙන තනිවුණා. ගෙදර අයට පෙන්නුවෙත් නෑ. හරියටම කියනවා නම් හරි කළුවර.. මුලු ලෝකෙම මං විතරක් තනිවෙලා ඉන්නවා වගේ හැඟීමක්. ෆෝන් එක පාවිච්චි කළේ නෑ. ඇඳ ගාව පොළවේ ඉඳගෙන මම ඇඬුවා. මම අනිත් අයව ශක්තිමත් කරලා මටත් ඒ තැනට එන්න වුණා. මම කෙනෙක් එක්ක ජීවිතේ ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බා. ඒකයි යාලුවන්ගේ වෙනස්වීම් ඔක්කොම එකට ආවේ.. ගෙදර අය මාව සෑහෙන්න විශ්වාස කළා. හැබැයි දැන් බල කරන්නෙ නෑ විවාහයකට.."