මව්පියන් වුණත් දරුවෝ හදලා දරුවන්ගෙන් පෙරළා බලාපොරොත්තු වීම කළ යුතු නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු උගත් ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙකු බව කරන කියන දේ වෙතින් පැහැදිලි වේ. තමා ගුණවත් නොසිතා ජනතාවට වඩාත් හිතකර දේශපාලනඥයකු යැයි කිව හැකි ඔහු නමින් හිරාන්ය. මේ අපූරු දේශපාලන චරිතය අපට හමු වන්නේ සැබෑ දේශපාලන චරිතයක් ලෙස නම් නොවේය. විකාශය කෙරෙන ‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ චරිතයක් ලෙසය. මේ චරිතයට දායක වන්නේ සුරාජ් මාපා රංගන ශිල්පියාය. ඉතා සංයමකයකින් සහ චරිතය ගැන ඇති වටහාගැනීමකින් ඔහු මෙම දේශපාලනඥයාගේ චරිතය අපූරුවට ඉදිරිපත් කරන බව කිව හැකිය. සැබෑ ජීවිතයේදී ඔහු දේශපාලනය ගැන හිතන්නේ කොහොම ද?

සුරාජ් ජීවිතේ කොහොම ද? කාලයකට පසුව නේද?

ගෙවීගෙන යනවා. අපි ඔක්කෝම කාලයකට පසුවනේ එළියට බැස්සේ. කෝවිඩ් ආවා, අරගල ආවා අපි එළියට නොගිහින් හිටියා. දැන් අපි ආයෙත් වැඩ පටන්ගෙන. හැමෝම ඒ විදියයි. 

වැඩ කටයුතු කොහොම ද ?

වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. අනාගතය ගැන අපට අනාවැකි කියන්න බැහැ. අද මහන්සිවෙලා වැඩ කිරීම කළොත් හොඳයි. කාලයෙන් කාලයට බොහෝ දේ වෙනස් වෙනවනේ. එදා ටෙලි නාට්‍ය කළ විදිය වෙනස්. 
කාලයෙන් කාලයට එහෙම වෙනවා. රඟපෑමට අමතරව මෑතක දී අධ්‍යක්ෂවරයකු ලෙසත් වැඩ කළා. ඒ විදියට වැඩ කරද්දී මේකේ ඇතුළේ තියෙන අභ්‍යන්තර ගැටලු සහ සිදුවන දේ මම දන්නවා. ඒවත් එක්ක යාවත්කාලීන වෙනවා. ඒ යාවත්කාලීන බව එක්ක අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු එක්ක වැඩ කිරීම මට පහසුවක් වෙනවා. ඒ නිසා තමයි ක්ෂේත්‍රයේ එක විදියට වැඩ කරගෙන යන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයනුත් මාව නිරන්තරයෙන්ම පිළිගන්නවා. 

අපි කතා කරමු. සර්කස්කාරයෝ සත් ගුණවත් දේශපාලනඥයාගේ චරිතය ගැන? මේ චරිතයට ප්‍රේක්ෂකයන් මනාප වග පෙනෙනවා නේද? 

සිවගුරුනාදන් මහතාගෙන් මේ චරිතයට ආරාධනා ලැබුණු අවස්ථාවෙ දී සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා සමඟ මම මේ ගැන කතා කළා. එතැන දී මම ඇහුවේ අපි මේ කරන්න යන්නේ හැමදාම දකින මන්ත්‍රීද? කියලයි. එතකොට ඒ දෙන්නම කිව්වේ නෑ අපි හදමු අලුත් මන්ත්‍රී කෙනෙක් කියලයි. නමුත් මන්ත්‍රීවරයා හැටියට අපි බලාපොරොත්තු වන මන්ත්‍රී. ඉන්නවනේ. පොත-පත කියවන, ව්‍යායාම් කරන, හොඳ දැනුමක් - රසයක් තියෙන චරිත. ඒ වගේම රටට යමක් කරන මන්ත්‍රීවරයෙකු අපි මනංකල්පිතව හෝ හදමු කියන අදහස තමයි යොමු කළේ. එතකොට නරඹන අයට පවා ඒක වෙනසක්නේ. ලෝකයේ සමස්තයක් හැටියට ගත්තොත් බොහෝ දේශපාලනඥයන්ට ජනතාව කැමති නැහැ. නමුත් අපට හොඳ දේශපාලනඥයන් ඉන්නවාය කීයා පෙන්වන්නත් පුළුවනි. ඒ නිසා මේ චරිතය ආසාවෙන් තෝරා ගත්තේ. ප්‍රේක්ෂකයාට ආදර්ශයක් වෙන විදියට තමයි සද්ධා මේ චරිතය ලියන්නෙත්. 

දේශපාලනඥයන්ට රැවටිලා - රැවටිලා - මේ හිරාන් නරක ද? කියලා තමයි ප්‍රේක්ෂකයන්ට හිතා ගන්න බැරිව ඉන්නේ. අපි ඉදිරියට බලමු. තාරුණ්‍ය දේශපාලනය අත්හැර ගිහින් තියෙන්නේ. ඔවුන්ට එය කරන්න අවකාශය නොදෙන නිසයි. හොඳ තරුණයන් දේශපාලනයට එන්නෙත් නැහැ. ඒක වයසට ගිය අයට විතරක් සීමා වූ විෂයක් නොවෙයි. තාරුණ්‍යය ප්‍රවේශ වන තරමට තමයි රටක් අලුත් වන්නේ.

මේ චරිතය ඇතුළේ මැර ස්වභාවයක් තිබෙන නමුත් රටට වැඩක් කරන්න පුළුවන් දේශපාලනඥයකුත් ඉන්න වග ප්‍රකාශ කිරීම මේ චරිතයේ අරමුණක්. 

සුරාජ් මේ රටේ දේශපාලනය ගැන ඔබගේ මතය මොන වගේ ද?

අපි ඔක්කොම, දේශපාලනය ගැන බොහෝ විට කතා කරන්නේ අද – ඊයේ සිදු වූ දේ ගැනයි. මට නම් හිතෙන්නේ, බ්‍රිතාන්‍ය නීතියෙන් එහාට ගිය අපට ගැළපෙන නීති සම්ප්‍රදායක් ඇති කළ යුතුයි. සාධාරණ දේශපාලනඥයන් කළ හැකි දේශපාලනඥයින් බිහි කිරීමේ නීති - රීති පද්ධතියක් ඒ නීතිය ඇතුළේ තිබිය යුතුයි. 

නමුත් එදා සුද්දා මේ රට දාලා යනකොට මේ රටේ දේශපාලනයට හුරු කරලා ගියේ හොඳ පිරිසකට නෙවෙයි. සුද්දාට කත් ඇදපු සහ උදවු කරපු කොටසක් තමයි මේ රටේ දේශපාලනයට දාලා ගියේ. පළමුවෙන්ම අපි එතැනින් එළියට ආ යුතුයි. හැබැයි ටිකක් අමාරුයි කියලා හිතමුකෝ. එහෙම නම් ලංකාවේ මේ සිස්ටම් එක වෙනස් කරන්නට නම් බුද්ධිමත් දේශපාලන කොට්ඨාසයකට එහා ගිය බුද්ධිමත්ව හිතන පිරිසක් බිහි කිරීමට හැකි නම් ඒක හොඳ දෙයක්. හොඳ අධ්‍යාපනයක් ඇති කිරීම මගින් එය කරන්න පුළුවනි. 

අපට හොඳ අධ්‍යාපනයක් තියෙන රටක්නේ? 

බොහෝ විට අපි විෂයන්ට සමගාමීවයි කතා කරන්නේ. කාලයක් තිස්සේ පොත්වල ඇතුළත් කළ දේ. නමුත් අපි සියලු දේ ගැන ඊට වඩා ප්‍රායෝගිකව හිතන්න පුරුදු විය යුතුයි. මොකද ගුරුවරු කරන්නේ පොතේ තියෙන දේ ඉගැන්වීම විතරනෙ. නමුත් එතැනින් එහාට ළමයින්ට උගැන්විය යුතු දේ තියෙනවා. ළමයින් කරන්නේ ප්‍රශ්න පත්‍රයට විභාගයට පොත් පාඩම් කිරීම විතරයි. මේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක් තියෙන්නේ. 

ඒ කියන්නේ?

රාමුගත අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. එයින් එහාට ගිය වඩාත් ප්‍රායෝගික වූ ක්‍රමවේදයක් අවශ්‍යයි. විභාග පාස් කිරීමම නොවෙයි අධ්‍යාපනය කියන්නේ.

එහෙනම්

බුද්ධිය සහ ප්‍රඥාව වැඩි කිරීම සහ එය ප්‍රායෝගිකව යොදා ගැනීමයි. අපි දැන් කළ යුතු වන්නේ ඊළඟ පරම්පරාව ඒ විදියට හැඩ ගැන්වීමට කටයුතු කිරීමයි. ඊළඟ පරම්පරාව බුද්ධිමත්ව සමාජගත වීමම කියන්නේ හොඳ දේශපාලන පරිසරයක් නිර්මාණය වීමයි. එවිට ඡන්දය දෙන පිරිසත් බුද්ධිමත් වෙනවා. අනෙක අපි මේ හිඟන මානසිකත්වයෙන් වෙනස් වෙන්නට ඕනෑ. 

මොන විදියට ද?

අපි නිහඬව කැමති නිකං පිනට දෙන දේ ගන්න. ඒකනේ පිං සිද්ධ වේවා කියලා කියන්නෙ. පිටරටවල කිසිම කෙනෙක් නිකම් දෙන්න කැමති නැහැ, ඒ වගේම කවුරුවත් නොමිලේ ගන්නෙත් නැහැ. කාගෙන් හෝ නිකම් - නොමිලේ ගත්තොත්, අපිට ඒ කෙනාට හෝ රටට බැඳී සිටින්න සිදුවෙනවා. ඒක නිසා වෙන රටවල මිනිස්සු උදවු ඉල්ලන්න බයයි. වටිනාකමක් දීලා යමක් ගැනීම තමයි අරුත්බර වෙන්නේ. අපේ රටේ ඡන්දයේ දී වුණත් දේශපාලනඥයින් පොරොන්දු දෙනවා. මිනිස්සු ඉල්ලීම් කරනවා. ඒවා දෙනවා නම් ඡන්දය දෙනවා. ඔක්කෝටම කලින් ඒ විදියට බලාපොරොත්තු වීම නතර කළ යුතුයි. මව්පියන් වුණත් දරුවෝ හදලා දරුවන්ගෙන් පෙරළා බලාපොරොත්තු වීම කළ යුතු නැහැ. දෙමාපියන්ව බලා ගැනීමට ළමයින් දැනගත යුතුයි. තව කෙනෙක්ට කරදරයක් - නොවන විදියට ජීවත්වීමේ ස්වභාවය මේ රටේ ඇති කිරීම අපි කාගෙත් වගකීමක්. අද බුද්ධිමත් පරම්පරාව අනාගතය සැලසුම් කරනවා. 
අනෙක අපේ රටේ - දේශපාලනය කියන්නේ බලය සහ ධනය කියන එකට. ඒ නිසා බලය සහ ධනය නැති දේශපාලනයක් ඇති කිරීමට කටයුතු කළ යුතුමයි. අපේ රට දියුණු නොවන්නේම ඔය දේශපාලන බලය සහ ධනය කියන දේ නිසයි. 

එහෙමනම් දේශපාලනය මොන විදියේ දෙයක් විය යුතුද?

වෘත්තියක් විය යුතුයි, ගෞරවනීය වෘත්තියක් කරගත යුතුයි. රංගන වෘත්තිය වගේ, අධ්‍යාපනයක් ඇතුව ඒ දේශපාලන වෘත්තිය කළොත් මේ රටේ ප්‍රශ්න අවම වේවි. දේශපාලනය කරන බොහෝ අයට උපාධියක්වත් නැහැ. සමහර අයට කොහෙන් හෝ ගත්ත උපාධියක් තියාගෙන බොරුවට තර්ක කර – කර ඉන්නවා. දේශපාලනය කියන්නේ මිනිස්සු රවට්ටන එක නොවෙයි. මිනිස්සු කරන කියන මේ සියල්ල දිහා ස්වභාවධර්මය බලාගෙන ඉන්නේ. ඒක අමතක කළ යුතු නැහැ. ජීවත් වෙන්නේ ටික කාලයයි. මැරුණට පසුවත් අපි ජනතාවගෙන් නරක කතා අහන්න ඕන නැහැ. කලාකරුවා - දේශපාලනඥයා හෝ ඕනෑම කෙනෙකුට ඒ දහම පොදුයි. කලාවේ අපි සදාකාලිකව ගරු කරන මිනිස්සු කොච්චර ඉන්නවද? අපි නැති තැනදිත් අපට හොඳ කියන්න පුළුවන් විදියට ජීවත් වීම තමයි වැදගත්. 

සඳුන් ගමගේ