මුලින්ම වාහනයක් ගත්තේ මට මතක විදිහට 1992 බෑන්ඩ් එකේ වැඩවලට නිසාන් වෑන් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය "රථගාය" අද මේ විශේෂාංගයට අපි  සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනා ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී නලින් පෙරේරා. 

නලින් පෙරේරා  රථගාය තියන කෙනෙක්ද?

අනිවාර් යයෙන්ම රථගාය හොඳටම තියෙන කෙනෙක්.

මුලින්ම වාහනයක් පැද්දේ කවදාද?

ඇත්තටම පොඩි කාලේ අපිට වාහන තිබුණේ නැහැ. හැබැයි මට  වාහනයක් පදින්න ඕනේ කියලා ආසාවක් තිබුණා. එතකොට මට වයස අවුරුදු 20ක් විතර ඇති ඒත් ලයිසන් එක මම ඒ වෙනකොට අරන් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියා මැනුවල් වාහනයක් පදිනකොට ක්ලට්ච් එක පාගලා ගියර් දාන්න ඕනේ වගේ දේවල් හැබැයි කවදාවත් වාහනයකට නැගලා ඒ දේවල් ප්‍රැක්ටිස් කරලා තිබුණේ නැහැ. අපේ බෑන්ඩ් එකේ ගමන් යන්න හයර් කරන වාහනයේ අයියා තමයි මට මුලින්ම වාහනයක් දුන්නේ. එයා එහෙම කිසි දේකට බය කෙනෙක් නෙමෙයි. ඉතින් එයා කිව්වා අද වාහනේ ඔයා Drive කරන්න කියලා.  එයා එහා පැත්තෙන් ඉඳගත්තා. පළවෙනි සැරේ  Driving seat  එකේ ඉඳගෙන ගියර් එක දාලා ක්ලට්ච් එක අතැරියා විතරයි රේස් වෙලා ඉස්සරහට පැනලා වාහනය නතර වුණා. පස්සේ එයා එහාපැත්තෙන් ඉඳගෙන යන ගමන් වාහනයේ අයියා Over take කරන්න ඕන විදිහ Speed කරන්න ඕන විදිහ, මට කියලා දුන්නා. එහෙම ටික දුරක් යනකොට තමයි මට වාහනය අතට හුරු වුණේ. පස්සේ මම ටික ටික Driving පුරුදු වුණ ලයිසන් ගන්නකොට මට හොඳටම එළවන්න පුළුවන් වෙලා තිබුණා. ඒ කාලේ ලයිසන් ගන්න එලවන්න තිබුණේ ලොකු බස් එකක් ඉතින් මම ගත්තේ බර වාහන ලයිසන් එක.  

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදාද?

මුලින්ම වාහනයක් ගත්තේ මට මතක විදිහට 1992 බෑන්ඩ් එකේ වැඩවලට නිසාන් වෑන් එකක්. ඇත්තටම මේ වාහනය ඒ කාලේ ලීස් කරලා තමයි ගත්තේ. ඒ ලීස් එකට සාක්ෂියට අත්සන් කළේ මගේ හොඳම හිතවතුන් දෙන්නෙක් වෙන සුනිල් පෙරේරා යි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලික්ස් පෙරේරා යි.  

පළවෙනි වාහනය අරන් මුලින්ම කොහෙද ගියේ? ඒ මතකයන්?

මට මතක විදිහට අපි පල්ලියකට තමයි ගියේ. ඉතින් ෆාදර් කෙනෙකුට කියලා වාහනයට ආශිර්වාද කරගෙන ඊට පස්සෙ කෙළින්ම බෑන්ඩ් එකේ වැඩවලට තමයි ගියෙ.   

මුලින්ම වාහනයක් ගත්තහම මොකද කරන්නේ?

මම කලින් කිව්වා වගේ අපි ඉතින් මුලින්ම කරන්නේ ළඟම තියෙන පල්ලියට ගිහිල්ලා වාහනයට ආශීර්වාද කරගන්න එක. මම පුරුද්දක් විදිහට මේ දේ කරනවා. ඊටප්ස්සෙ ඉතින් යන්නේ මගේ අම්මාට තාත්තාට සහ වයිෆ්ගේ පවුලේ අයට පෙන්නන්න.  මොකද අපි මොකක් හරි Achievement එකක් කළාම මුලින්ම සතුටු වෙන්නේ එයාලා නේ. ඒ වගේම මගෙ අම්මා හැමදාම එයාගෙ ප්‍රාර්ථනා ලියලා භාරයක් ගැටහනවා ඒක වාහනයේ ගැටගහනවා. මම ගත්ත පලවෙනි වාහනයේ ඉඳලා මේ වෙනකන්ම අම්මා මම වෙනුවෙන් කරන දෙයක් තමයි ඒ. 

දැන් පාවිච්චි කරන වාහනය මොකක්ද? ඒ වාහනය එක්ක තියන  හොඳම මතකය මොකක්ද?

දැන් මට පාවිච්චි කරන්න ප්‍රාඩෝ එකකුත් තියෙනවා ඒ වගේම ගෙදර වැඩවලට Vitz එකකුත් තියෙනවා. Vitz එක බබාලා ලංකාවේ ඉන්න කාලේ එයාලාගේ වැඩවලට තමයි ගත්තේ. ඒක ඇත්තටම මම පාවිච්චි කරනවා අඩුයි.  මගේ ගමන්වලට මම වැඩිපුරම පාවිච්චි කරන්නේ ප්‍රාඩෝ එක. ඒක 2017 දී  Brand New ගත්තේ. මේ වාහනය ගන්න මට ඇත්තටම උවමනාවක් තිබුණේ නැහැ මගෙ බිරිඳ තමයි යොමු කළේ මේ වාහනය ගන්න. එයා තමයි මගේ ජීවිතය වෙනස් තලයකට ගෙනාවේ. අවුරුදු 30ක් විතර music කරලා standard එකකට ජීවත් වෙන්න ඕනේ කියන අදහස දුන්නේ එයා. මේ වාහනයේ යනකොට මට දැනෙන්නේ ඒක තමයි. එයා එදා ඒ විදිහට කිව්වේ නැත්තන් මේ වාහනය නැතුව මම වෙන වාහනයක් ගනියි. ඉතින් ඒක තමයි මට මේ වාහනය එක්ක තියෙන හොඳම මතකය. 

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවාද?

අපොයි ඔව් ඕනෑ තරම් කට්ට කාලා තියෙනවා. එක සිදුවීමක් මට මතකයි එතකොට මට තිබ්බේ Doctor sunny කියන කාර් එක.  මම එදා මොකක් හරි වැඩකට කොළඹ ආවා ඒ ඇවිල්ලා යද්දී Tyre Punch එකක් වෙලා. ඉතින් මම බැහැලා ටයර් එක මාරු කරන්න ලෑස්ති වුණා. ඒත් එක්කම ත්‍රී වීල් දෙකතුනකම කට්ටියක් නවත්තලා "නලීන් අයියා මොකද්ද අවුල" කියලා ඇහුවා.    ඊට පස්සේ මම කිව්වා "Tyre Punch එකක් වෙලාද කොහෙද"  කියලා.  ඒ කට්ටිය අැවිල්ලා "හරි හරි නලීන් අයියා ඔයා  ඉන්න අපි බලා ගන්නම්" කිව්වා.  එයාලා ඉක්මනට ඇවිල්ලා මට උදව් කළා.  එවෙලෙ මට ඇත්තටම කරන්න දෙයක් තිබ්බේ නැහැ. එයාලා මට ඔක්කොම කරලා දුන්නා. ඒක මට අමතක නොවන සිදුවීමක්. ඒ ආදරය එදයි අදයි කියලා වෙනසක් නැහැ. පාරේ පයින් ගියත් ටක් ගාලා මාව දැකලා නවත්තලා අහනවා ඇයි පයින් යන්නේ නගින්න කියලා මාව දාගෙන යනවා. ඒ ආදරේට මම හැමදාම ආදරෙයි.  

Dream Vehicle එක මොකක්ද? 

මගේ වාහනවලට මම හරි ආදරෙයි. ඒවගෙ වෙලාවට Oil මාරු කරනවා Service කරනවා  සහ මගෙන් වාහන‍යක් ගන්න කෙනෙකුට මම කිසිම ගැටලුවක් ඇති නොවෙන්න වාහනය maintain කරනවා.    සිහින මවන්නත් කලින්ම මට ඒ වාහනය හම්බවෙලා. ඉතින් සිහින මවන්නවත් කාලයක් තිබුණේ නැහැ. දැන් මට ඕනේ මේ වාහනයට වඩා අලුත් එකකට යන්න. මම මේ ළඟදී බැලුවා ටොයොටා 2024 මොඩල් එක. ඒක නම් ඇත්තටම පිස්සු හැදෙන වාහනයක්. මම ඉතින් සිහින මව මව ඉන්නවා ඒ Vehicle එක මගේ කරගන්න. මම හැම වෙලේම සිහින පස්සෙ ගියපු කෙනෙක්. ඉතින් මේ සිහිනෙත් ඉක්මනටම හැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවා.

ආසම වාහන Brand එක මොකක්ද?

ටොයොටා Brand එකට මම කැමතියි. මම හිතන විදිහට ලංකාවේ ටොයොටා වාහනවලට demand එකක් තියනවා. ඒ වාහන වර්ගය ඇත්තටම ගොඩාක් හොඳයි. 

ලිහිනි ලියනගේ