මුලින්ම කැමරාවට තියෙන බය නැති කළේ මාලනී ෆොන්සේකා මහත්මිය
නයෝමි තක්ෂිලා කියන්නේ වේදිකාව තුළින් පුංචි තිරය ජයගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ වූ චරිත හරහා පුංචි තිරයට ගොඩවෙන ඇයට ඕනෑම චරිතයකට ආරූඪවීමේ අපූරු හැකියාවක් තියෙනවා. මේ දිනවල ජානු එක්ක නිත්‍යාගේ චරිතයෙන් මුණගැහෙන නයෝමි සමගයි මේ කතාබහ.
කාලෙකට පස්සෙ අලුත් වැඩකින් මුණගැහෙන්නේ.... ජානු ටෙලි නාට්‍යයෙන්ම කතා බහ පටන්ගමු.
අලුත් වැඩකට කියලා පටන් ගත්තේ ජානු ටෙලි නාට්‍යය. ජානු ටෙලිනාට්‍යයේ මම පණපොවන්නේ නිත්‍යා කියන චරිතයට. නිත්‍යා කියන්නේ අහිංසක චරිතයක්. නිත්‍යා විවාහකයි. විවාහ වෙන්න සිද්ධ වෙන්නේ ඇය ආදරය කරපු කෙනාව නෙමෙයි. ඒත් හිමි කර ගන්න බැරි වුණත් නිත්‍යා නොලැබුණ ආදරේට ආදරය කරන කෙනෙක්.
නිත්‍යාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ටෙලි නාට්‍ය හරහා නිත්‍යා කරළියට ඇවිත් ලොකු කාලයක් නැහැ. ඒත් චරිතය විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
නීල පබළු එක්ක ගත කරන කීවෙනි අවුරුද්දද මේ....
නීල පබළු ටෙලිනාට්‍යය දැන් අවුරුදු 4ක් තිස්සේ විකාශනය වෙනවා. එක එක විදියේ ප්‍රතිචාර පූජාට ලැබුණා. මුල් කාලේ පූජාට කොච්චර මිනිස්සු බැන්නත් පූජාව ජීවමාන කරන මට ඒ ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට ආදරෙයි. නීල පබළු ටෙලි නාට්‍යයේ පූජා නපුරු චරිතයක් වුණත් එදා ලැබුණ ප්‍රතිචාරයම අදටත් ඒ විදියටම ලැබෙනවා. නපුරු වෙලා හිටපු පූජා ටික ටික වෙනස් වෙමින් චරිතය ගලාගෙන යනවා. පූජාගේ චරිතයට ඉදිරියට ලොකු වෙනසක් වෙනවා. ඔන්න ප්‍රේක්ෂකයින්ට පුංචි ඉඟියක් දුන්නා.
හැමදාම ගමේ අහිංසක චරිත ලැබුණු මට පූජා කියන්නේ කලාව ඇතුලේ වෙනස්ම පැත්තකට යන්න මට ලැබුණු සුවිශේෂී චරිතයක්.
මොන දේ කරත් නයෝමි කියන්නේ වේදිකාවට නැතුවම බැරි චරිතයක්. මේ දවස්වල වේදිකාවේ මොකද වෙන්නේ?
මොන දේ කරත් මටත් වේදිකාව අතැරලා නම් ඉන්න බෑ ඉතින්. මේ දවස්වල සචිත්‍රා රාහුබද්ද අයියාගේ ‘‘හිතට වැටුන මිසයිල’’ වේදිකා ගත වෙනවා. ඒ වගේම අකිල සපුමල් අයියාගේ ‘‘හිනාවෙලා මිනිත්තුවක්’’ වේදිකා නාට්‍යයත් වේදිකාගත වෙනවා.
වේදිකාවේ අලුත්ම වැඩේ තමයි ඩග්ලස් සිරිවර්ධන සර්ගේ ‘‘සුබ සන්ධ්‍යාවක්’’ වේදිකා නාට්‍යය. මේ දිනවල එහි පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ආරාධනා කරනවා හැමෝටම මාර්තු 29, 30 සවස 6.30 එල්ෆින්ස්ටන් රංග ශාලාවට එන්න කියලා සුබ සන්ධ්‍යාවක් පළමු වතාවට එදින වේදිකා ගත වෙනවා.
පුංචි තිරය පැත්තෙනුත් ඉස්සරහට අලුත් වැඩවලින් දකින්න ලැබේවිද?
දැනට නම් රූගත කිරීම් ආරම්භ කරපු අලුත් වැඩ මුකුත් නැහැ. ජානු තමයි අලුත්ම වැඩේ. ටෙලිනාට්‍යය පැත්තෙන් වැඩ ගණනාවක්ම ලැබිලා තියෙනවා. අප්‍රේල්වලින් පස්සේ අලුත් වැඩ කිහිපයක් දැකගන්න ලැබේවි.
අවුරුදු 7කට කලින් ‘‘මීදුම් අම්මා’’ ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ගමන ගැන අද ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම මම 2012දී කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලට එන්නේ රංග කලාව උපාධිය හදාරලා ගුරු වෘත්තියට යන්න. පුංචි කාලේ ඉඳලා රඟපාන ආසාව හිතේ තිබුණත් අනුරාධපුර නෙල්ලිකුලම වගේ දුෂ්කර ගමක ඉඳලා ආපු මට කවදාවත් රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා හිතුවෙම නැහැ. ඔය අතරේ ඩ්‍රාමා ස්කූල් එක ඇතුලෙදි මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. කෙටි නාට්‍ය වගේම දිගු නාට්‍ය ගණනාවකම මම රඟපෑවා. ඒ හරහා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ අතරේ අකිල සපුමල් අයියාගේ වේදිකා නාට්‍යයේ හොඳම නිළිය වුණා. දවසක් හසුන් සමීර අයියා මම රඟපාන වේදිකා නාට්‍යයක පුංචි වීඩියෝවක් දැකලා තමයි ‘‘මීදුම් අම්මා’’ ටෙලිනාට්‍යයට මට කතා කරන්නේ. මීදුම් අම්මාගෙන් පටන් ගත් ගමනෙන් අද මම ඉන්න තැන ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.
මුලින්ම කැමරාවට තියෙන බය නැති කළේ මාලනී ෆොන්සේකා මහත්මිය. මීදුම් අම්මා ටෙලිනාට්‍යයේ මගේ අම්මාට හිටියේ එතුමිය. ඇය වගේ දැවැන්ත චරිතයක් එක්ක පළමු ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබීම ලොකු වාසනාවක්. එදා කැමරාවට බයේ පස්සට ගියා නම් මං අද මෙතන නැති වෙන්න තිබුණා. එතුමියගේ ගුරුහරුකම් තමයි මගේ ගමනට මුල්ම ශක්තිය වුණේ.
උපාධිය සහ ගුරුවරියක් වීමේ හීනේ දැන් අතහැරලද?
අපෝ නැහැ. මුලදී මම රඟපානවට අම්මයි තාත්තයි කැමති වුණේම නැහැ. එයාලගේ එකම හීනය වුණේ උපාධිය සම්පූර්ණ කරලා මම ගුරුවරියක් වෙනව දකින්න. රඟපෑම් එක්ක අම්මලාත් හිතුවා මම උපාධිය අතාරිවි කියලා. ඒත් මම මොන වැඩේ කරත් කොළඹට ආපු මූලික අරමුණ අතෑරියේ නැහැ. උපාධියේ විභාග කටයුතු දැන් සියල්ල අවසන්. එහි පුහුණු කාල සීමාවක් ඉදිරියේදී තියෙනවා. තාම ගුරු වෘත්තියට මම අයදුම් කළේ නැහැ.
කලාව කියන දේ ස්ථිර නැහැ. මොකද ප්‍රේක්ෂකයා අපිව ප්‍රතික්ෂේප කරන දවසක් ආවම මේකේ අපිට රැඳෙන්න බැහැ. ඒ නිසා ඉදිරියේදී මම ගුරු වෘත්තියට යනවා.
එක්කෙනාට එක්කෙනා කපාගෙන යන සමාජය ඇතුලේ නයෝමිට කොයි වගේ අද්දැකීම් ද තියෙන්නේ?
ඇත්තටම මම ක්ෂේත්රයට ඇවිල්ලා දැන් අවුරුදු 9ක් 10ක් වෙනවා. මේ තාක් කිසිම දවසක කැපිලි කෙටිලි, හිත් රිදවීම්, ප්‍රතික්ෂේප වීම් මට කවදාමත් වෙලා නැහැ. මම මාත් එක්ක වැඩ කරන ජ්‍යෙෂ්ඨයන්ට වගේම සෙසු පිරිසටත් ගරු කරනවා. සුදුස්සාට සුදුසු තැන දීලා වැඩ කරන කොට ඉබේටම එයාලගෙන් ලැබෙන්න ඕන ගෞරවය පෙරලා අපිට ලැබෙනවා. ඕනම වෘත්තියක ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරනවා නම් කැපිලි කෙටිලි අඩුයි. අලුත් අයට වැරදෙන තැන තමයි නිහතමානීකමක් නැතිකම.
මේ තාක් ලැබුණු නිර්මාණ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
මගේ කියලා කවුරුත් මේ කලා ක්ෂේත්රයේ නැහැ. ක්ෂේත්රයට ආපු මුල් කාලේ මහන්සි වුණා. කට්ටත් කෑවා තැනක් හදාගන්න. මම කවදාවත් හිතවත්කම්වලට චරිත අරගෙන නැහැ. සෑම දෙයක්ම දිනා ගත්තේ මගේ මහන්සියෙන්. මේ අවුරුදු ගානට මට ලැබිලා තියෙන හැම නිර්මාණයක්ම ලැබුණේ මගේ දක්ෂතාවය මත. ඒ ලැබුණ හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්. ලැබුණු හැම චරිතයක් ඇතුලෙම මට කරන්න දෙයක් තිබුණා. ඒක ඇත්තටම වාසනාවක්.
ඉතින්... පිළිවෙළක් වෙන්න දැන්ම අදහසක් නැද්ද?
වයස යනවා කියලා නම් කසාද බඳිනවා කියන මෝඩ තීරණවල මම නැහැ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක්. ඒකට කාලය ගත්තට වරදක් නැහැ. හරිම කෙනා ලැබුණ දාට තමයි කසාදයට හොඳම කාලය කියලා මම හිතන්නේ.
ක්ෂේත්රයට එන අලුත් අයට නයෝමිගේ ජීවිතෙන් ගන්න ආදර්ශයක් තියෙනවද?
මම ක්ෂේත්රයට ආවේ ඒ පිළිබඳ ඉගෙන ගෙන හැදෑරීමක් එක්ක. ඒ නිසා අඩුපාඩු හදාගෙන මගේ ගමන යන්න මට පහසු වුණා. රඟපානවා කියන්නේ කැමරාව ඉස්සරහට ඇවිත් දෙබස් ටික කියන එක නෙමෙයි. ඉගෙන ගෙන ආවොත් අපිට කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ.
ජීවිතේ සතුටින්ද?
ඔව්.... මං කොහොමත් දුකින් ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. වැරදුන තැන් තියෙනවා. හැබැයි මම ඒවා ගැන දුක් වෙවී ඉන්න කෙනෙක් නෙමෙයි. මේ මොහොතේ ජීවිතේ ගොඩක් සතුටින් ගෙවනවා.
නදීශා අතුකෝරළ
ඡායාරූප - උදිත උමේෂ්