මාලන්ගේ පියාට රඟපාන ග්‍රාම සේවක මහත්තයා - සංජිව මහලියනගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තියෙන් ග්‍රාම සේවා නිලධාරියෙකු ලෙස කටයුතු කරන සංජිව මහලියනගේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ හි දකින්නට ලැබේ. ඒ මාලන්ගේ පියා ලෙසය. පාසල් කාලයේ රංගන ශිල්පියෙකු ලෙස සුවිශේෂි දක්ෂතා දක්වා ඇති ඔහු සිය කුළුඳුල් ටෙලි රංගනය පිළිබඳව ‘සාරවිට’ අප සමග මෙසේ කතා බහා කළා..

නාඩගම්කාරයෝ’ හි මාලන්ගේ පියාගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

ඒක අහම්බයක්. ඔපිස් එකේ වැඩ කරමින් ඉන්නකොට ඔහුගේ රාජකාරීමය කටයුත්තකට පැමිණීමක්. එම පැමිණීම අවසන් වෙන්නේ මම මාලන්ගෙ පියා වෙලා. ඒ නම කිව යුතුමයි මා මිත්‍රයා චන්දන. ඔහු හොද කලාකරැවෙක්. හොඳ මනුස්සයෙක්. මගේ ජීවිතේ ගොඩක් වටිනා මිනිස්සු අලුතින් හමුවුණේ පරණ මිත්‍රයෝ නැවත මුණ ගැහූණේ මගේ ග්‍රාම නිලධාරි වෘත්තීය තුළ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය නිර්මාණය කළේ මගේ ග්‍රාම නිලධාරි වෘත්තීය.

ඔබට රඟපාන්න හැකියාව තියෙනවද?

මම හිතනවා මට රඟපාන්න පුළුවන් කියලා. පිලියන්දල බෝකුන්දර පන්සලේ මගේ ගමේ දහම් පාසලේ අටවැනි පන්තියේදී වේදිකාවට පය තිබ්බෙ. දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා වූ නාට්‍ය තරගයට. එදා මම රංගනයෙන් දායක වුණ සිලිදාගේ චරිතය මාව හොදම නළුවා කලා. එය මා මගේ කලා දිවියේ ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් කිව්වොත් හරි. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ කලා උළෙලේ ඉන් අනතුරුව දිගටම හොඳම නළුවා වෙනවා. පිලියන්දල මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය නොලැබුවත් සාරංග සේනා නාට්‍ය පාඨමාලාව හරහා රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා ගමන් කරනවා. උසස් පෙළ හැදෑරූ කොළඹ ආනන්ද විද්‍යාලය තුළිනුත් ලොකු පන්නරයක් ලබා ගන්නවා. ඒ අත්දැකීම් තුළ මගේ අදහස මට රගපාන්න පුළුවන්. ඒත් එය තීරණය කල යුත්තේ කලාකාමී ප්‍රේක්ෂක ප්‍රජාව කියලයි මම නම් විශ්වාස කරන්නේ.

දිගටම මාලන්ගේ පියා චරිතය හරහා ඔබව අපිට දකින්න ලැබෙයිද?

චරිතය විකාශය වන අයුරු පිළිබඳව නම් මට පූර්ව නිගමනයක් දෙන්න නම් ටිකක් අමාරුයි. එය පිටපත් රචනය මත තීරණය වෙන්නේ. ඇත්තම කියන්නද මම ඒක විමසන්න යන්නේ නෑ. මගෙන් චරිතයකට විය යුතු සාධාරණය ලැබෙන දෙය පොඩි හෝ ලොකු එය උපරිමයෙන් මම ඉටු කරනවා. ඒ පමණයි.

ඔබ වාත්තියෙන් ග්‍රාම නිලධාරියෙක්. රඟපාන්න කාලය කළමණාකරණය කරගත්තේ කෙහොමද?

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්තුමිය පරිපාලන ග්‍රාම නිලධාරිතූමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ බණ්ඩාරගම සහෝදර ග්‍රාම නිලධාරි සහෝදර සහෝදරියන් වැඩි පිරිසක් හොඳ කලා සිත් ඇති අය. ඒ අයගේ විශිෂ්ඨ සහය මගේ කාලය කළමනාකරණය පහසු කරලා තියෙනවා. මම මගේ සේවය අඩුවක් නොමැතිව පෙර කල සහ අදටත් කරන කෙනෙක් කියලා මම වැඩ කරන සහ කළ හැම ගමකම ආදරණීය මිනිස්සු දන්නවා.

ආයෙත් රඟපන්න අවස්ථාවක් ලැබුණොත් රඟපානවද?

අනිවාර්යයෙන්ම ජීවිතය ජීවත් කරවන්න හොඳ ඖෂධයක් කලාව කියන්නේ. ලැබෙන අවස්ථාවක් මග හැර ගන්නෙ නෑ කීයටවත්. සතුට තමයි මගෙ ජීවිතේ පරම හරය. බලමු මම හිතනවා ඉදිරියේදී මට තවත් මෙවැනි ඇරයුම් ලැබෙයි කියලා.

මතක් කළ අය යුතු අය ඉන්නවද?

මගේ පළමු නාට්‍ය ගුරුවරයා පාසල් ආචාර්ය බෝකුන්දර උපාලි අයියා. පිලියන්දල මධ්‍ය විද්‍යාලයේ හිටපු නාට්‍ය ආචාර්ය ප්‍රේමකුමාර කරුණාරත්න සර්. ලුම්බිණි විද්‍යාලයේ ආචාර්යවරුන් සහ නාට්‍ය පුහුණුවීම් කළ ආදි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්. ආනන්ද විද්‍යාලයේ ලයනල් රන්වල සර් සමවයස් කණ්ඩායමේ සිටි නාට්‍යකරුවන් වන සහන් රන්වල, භානුක මනෝරත්න, ධර්මප්‍රිය ඩයස්, ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර, කාවින්ද සූරේන්, මාලක දේවප්‍රිය, ගයනි සතරසිංහ ඇතුළු යහළු යෙහෙළියන් සියලු දෙනා අදරයෙන් මතක් කර සිටිනවා.

සටහන - බුද්ධික සේනාධීර