මාලී ජයවීරගේ කියන කලා ලොවේ රස කතා
පසුගිය දිනවල විකාශය නිමා වූ චලෝ ටෙලි නාට්‍යයේ නපුරු ටීචර්ගේ චරිතයෙන් රසිකයන්ගේ බැනුම් අහන චරිතයක් බවට පත්ව සිටියත් ඇගේ රංග ප්‍රතිභාවට රසික රසිකාවියෝ ආදරය කරන්නේ දශක ගණනක පටන්ය. කලා ලොවේ රස කතා කීමට මෙවර එකතු වන්නේ වේදිකා, ටෙලි, සිනමා නිළි මාලි ජයවීරගේ ය.
බොරු කොණ්ඩයට කදිම උපායක්
‘ජයලත් මනෝරත්නගේ බූරුවා මහත්තයා නාට්‍යය ඒ කාලේ ඉතාම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. ඒකේ එක දර්ශනයක් කොළඹදී පැවැත්වුණු වෙලාවක අපූරු අත්දැකීමකට මුහුණ දීමට නාට්‍ය කණ්ඩායමේ අපට සිදුවුණා. ඒ තමයි මේ නාට්‍යයේ මෝස්තර නිරූපිකාවන් කිහිප දෙනෙක් රංගනයෙන් දායක වන අවස්ථාවක් තියෙනවා. ඒ චරිත රඟපෑවේ මාදනී මල්වත්ත ඇතුළු සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් කණ්ඩායමක්. ඔන්න දැන් නාට්‍යයේ හැටියට ඒ ජවනිකාව වේදිකාවේ දිග හැරෙන අවස්ථාව උදා වුණා. එතැනදී එක නිළියකගේ අතපසුවීමෙන් නාට්‍ය මැදදී එයාගේ බොරු කොණ්ඩය ගැලවිලා බිමට වැටුණා. දැන් කට්ටියට මාර ප්‍රශ්නේ බිමට නැවිලා ඒක අහුලන්න ගියොත් ප්‍රේක්ෂකයන්ගෙන් හූ පාර තමයි කන්න වෙන්නේ. කොහොම හරි බොරු කොණ්ඩය වේදිකාවේ තියෙද්දීම ඒ ජවනිකාව අවසන් වුණා. ඊළඟට තිබුණේ මමයි ජයලත් මනෝරත්නයි වේදිකාවට එන ජවනිකාවක්.
මනෝරත්න මහත්තයා තමයි බූරුවා මහත්තයා විදියට රඟපෑවේ. ඔන්න දැන් අපි දෙන්නා අවට පරිසරය බල බල ඉස්සරහට එනවා. මම තමයි බූරුවා මහත්තයාට මෝස්තර නිරූපිකාවන් ටික හඳුන්වා දෙන්නේ. ඔහොම ටික දුරක් ඉස්සරහට එනකොට මට දැන් පේනවා අර නිළියගේ බොරු කොණ්ඩය බිම වැටිලා තියෙන හැටි. මට එක පාරේටම හොඳ නුවණක් පහළ වුණා. මට කළ වැඩේ ‘බලන්න බූරුවා මහත්තයා මේ අය තැන තැන තමන්ට අයිති දේවලුත් විසි කරලා තියෙන හැටි’, කියලා මං එක්කෙනෙකුට කතා කරලා මේක ගෙනියන්න කියලා නියෝග කළා. මං එහෙම කිවුවා විතරයි මනෝරත්න මහත්තයාටත් හිනා ගියා. ප්‍රේක්ෂකාගාරයත් දැනගත්තා මම කරපු කපටි වැඩේ. ප්‍රේක්ෂකාගාරයටත් එක පාරටම හිනා ගියා. මේක හිනා ගියාට ඒ වෙලාවේ නම් හැමෝටම තරු පෙනිලා හිටියේ. කාගේ හරි ශිල්පියෙක්ගේ පොඩි වැරැද්දක් මුළු නාට්‍යයක්ම අසාර්ථක වෙන්න පුළුවන් නේද කියලා මං එදා තේරුම් ගත්තා.
රෑ තිස්සේ ඇවිදින ලාම්පු හොල්මන
මේක නලින් මාපිටියගේ දෙරණ ටෙලි නාට්‍ය නිසා මට ලැබුණු අපූරු අත්දැකීමක්. ඒ නාට්‍යයේ මට රඟපෑවේ සොබෝහාමි කියලා ගෙදර වැඩ කරන ගැහැනියගේ චරිතයක්. කතාවේ හැටියට මට ඒ ගෙදර මහත්තයා සහ පුතා කියන දෙන්නා එක්කම සම්බන්ධතා පවත්වනවා.
ඒකේ දර්ශන කීපයක්ම තියෙනවා වලව්වේ අය රෑට නිදා ගත්තාට පස්සේ මට ලාම්පුවක් අරන් එ දෙන්නගෙන් කවුරු හරි හරි හමුවෙනකන් ගේ එහා මෙහා ඇවිදිනවා. අදාළ කෙනා හමුවුණු ගමන්ම මම කරන්නේ මූණ ලාම්පුවට ළං කරලා පුහ් කියලා ලාම්පුව නිවලා දානවා. එතනින් පස්සේ වෙන දේ ප්‍රේක්ෂකයා හිතා ගන්න ඕනේ. ඔය වැඩේ ඒ කාලේ ටෙලි නාට්‍ය බලන මිනිස්සු අතර හරි ජනප්‍රියයි. එක දවසක් ඔය ටෙලි නාට්‍ය විකාශය වෙන කාලේ මට ගමනක් යන්න ටවුන් හෝල් එකට වෙලා හිටියා. එතකොටම පිරිමි ළමයි කණ්ඩායමක් මගේ ළඟට ඇවිත් ටෙලි නාට්‍යයේ චරිත ගැන කිය කියා මට විහිළු කරන්න ගත්තා. එක පාරටම එතන ඉදපු ළමයෙක් මගේ මූණට ළං වෙලා පුහ් ගාලා පිම්බා ඊට පස්සේ මං ඇස් දෙක ඇරලා බලන කොට පිරිමි ළමයි කණ්ඩායම එතනින් අතුරුදහන් වෙලා.
අමිල චින්තක ගමගේ
සිතුවම්: සමන් කළුබෝවිල