මුල් කොටස රූගත කරද්දි පාස්කු බෝම්බෙ ගැහුවා - උදාර චින්තක රාජපක්ෂ
උදාර... මේ දවස්වල ලොකු වැඩකට සූදානම් වෙනවා කියලයි ආරංචිය?
ඔව්.. මම දායකත්වය ලබා දුන්න 'සූර්යා වීරයා' චිත්‍රපටය නුදුරේදිම තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඇත්තටම මේක බයිස්කෝප් එකක්. හොඳ පණිවිඩයක් චිත්‍රපටය ඔස්සේ සමාජගත වේවියැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දවස්වල ඒ චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අජිත් ඩී. පෙරේරා. ඔහු මේ චිත්‍රපටය තිරගත කරන්නත් ගොඩක් මහන්සි වුණා. චිත්‍රපටයේ තිර රචනය ලුවී වැන්ඩස්ටාර්ගේ. පසුගිය දශකවල ඔහුගේ වෙනස්ම රැල්ලකට කළ නිර්මාණයි අපි දැක්කේ. මේ චිත්‍රපටය මුළු පවුලටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය ලුවී සහ දිනේෂ් යන පරම්පරා දෙකක අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය ඉතා සාර්ථකව තිරගත වේවි යැයි මම විශ්වාස කරනවා.
'සූර්යා වීරයා' ඔබගේ පළමු චිත්‍රපටය නේද?
ඔව්.. මේක මගේ පළමු චිත්‍රපටයයි. ඒ වගේම මම රඟපාපු පළමු චිත්‍රපටය තිරගත වෙන්න සූදානම්. ඒ ගැනත් මට සතුටුයි. මම මුලින්ම වෙළෙඳ දැන්වීම් කලාවට, රූප රචනාවලට වගේම නිරූපණ ක්ෂේත්රයට තමයි සම්බන්ධවෙලා හිටියේ. හැබැයි චිත්‍රපටයේ රඟපෑමට මට පූර්ණ නිදහස ලැබුණා. චිත්‍රපටයේ රංගනයට ක්ලීටස් මෙන්ඩිස් මහතා සම්බන්ධ වුණා. ඔහු ඉතා ප්‍රවීණ. දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම සඳුන් විජේසිරි, සරත් දික්කුඹුර වැනි ප්‍රවීණයන් රඟපෑවා. ඔවුන්ගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. රංගනයේදි 'සූර්යා වීරයා' චිත්‍රපටයේ මම ආධුනිකයෙක් වුණාට අනෙක් රංගන ශිල්පීන් ශිල්පිනියන් ප්‍රවීණයන් වගේම අත්දැකීම් ලබපු අයයි. ඔවුන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා.
චිත්‍රපටය රූගත කිරීම් කරද්දි බාධා එහෙමත් ආවා කියලයි ආරංචිය?
ඔව්. මුල් කොටස රූගත කිරීම් කරද්දි තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ. ඒ නිසා හදිස්සියෙම අපිට රෑගත කිරීම් නතර කරන්න සිදු වුණා. ආයෙත් රෑගත කිරීම් පටන් ගනිද්දි කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. මේ චිත්‍රපටයට අනුව එක් කාලයක මට මුණගැහෙන දරුවෙක් අවුරුදු එකහමාරකට පමණ පසුව නැවත මුණගැහෙන කොටසක් පිටපතේ ලියැවිලා තිබුණා. චිත්‍රපටයේ 'වසරකට පසු' කියලා ලියැවිලා තිබුණ දේ රූගත කිරීම් කරන්න සිදු වුණේ හරියටම වසර එකහමාරකට පසුවයි. ඒ වෙද්දි අර එදා හිටපු දරුවාට හරි වයසට පෙනුම ලැබිලා තිබුණා. ඇත්තටම ඒ කොටස හරිම ස්වභාවිකව රූගත කරන්න අපිට හැකියාව ලැබුණා. චිත්‍රපටයට සිදුවුණු බාධා නිසා අවසානයේ අපිට වාසියකුත් වුණා.
'සූරයා වීරයා' චිත්‍රපටයෙන් පසුව උදාරට වෙනත් නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණද?
ඔව්.. මේ වෙද්දි තවත් චිත්‍රපට තුනකට ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. ඒවත් මේ චිත්‍රපටයේ මම දායක වුණු චරිතයට සමාන චරිතයි. ආදරණීය ජව සම්පන්න ප්‍රේමවන්තයාගේ චරිතයි. හැබැයි ඒවා දැවැන්ත සුපර් මෑන් චරිත නෙමෙයි. ඒවත් සාමාන්‍ය ප්‍රේමවන්තයාගේ චරිතයි.
ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද?
නැහැ.. මම පාසල් අධ්‍යාපනයෙන් පසුව ව්‍යාපාර කළමනාකරණ උපාධිය හැදෑරුවා. උපාධිය ලැබුණු පසුව ඒ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරැණ සම්මේලනයට සම්බන්ධවෙලා කටයුතු කළා. අදටත් ඒ සම්බන්ධයෙන්01 වෘත්තියක නියැලෙනවා. ඒ මොනවා කළත් කලාවට මම හරි ආදරෙයි.
උදාර පාසලේදි මොන වගේ චරිතයක්ද?
මම ඉගෙන ගත්තෙ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙයි. මම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම ජාතික මට්ටමේ මළල ක්‍රීඩකයෙක්. පාසලේදි මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. වැඩියෙන්ම ක්‍රීඩාංගණයේ තමයි හිටියේ. මම මුලින්ම වෙළෙඳ කළමනාකාරවරයෙක් විදිහට සේවය කළා. ඒ ඔස්සේ මට වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දි අවුරුදු දහයක් තුළ ප්‍රධාන වෙළෙඳ දැන්වීම් හැත්තෑවකට පමණ මම සම්බන්ධවෙලා තියෙනවා. 'සූර්යා වීරයා' චිත්‍රපටයෙන් පසුව තවත් චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. කිසි කලබලයක් නැහැ. රංගනය සම්බන්ධයෙන් ඉගෙන ගෙන හොඳ නිර්මාණවලට දායකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
දිශානි ජයමාලි