මරණ බයෙන් විජේවීරව ඇන්ඳ රාජ සභාවේ ’’පුරෝහිත’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමුතු චරිත හොයාගෙන යන චාරිකාවේ අද අපට මුණගැසෙන්නේ රඟහලේ  සිත්තරෙක්. ඔහුව කවුරුත් අද හඳුනන්නේ රාජ සභාවේ පුරෝහිත විදිහට. මහින්ද පතිරගේ තමා මේ අපූරු චරිතය. ඔහු ගැන වගතුග හොයලා බලද්දි, අපිට ටිකක් විතර වෙනස් කතාවක් තමයි හමුවුණේ.

ප්‍රහසන රංගධරයෙක් විදියට මහින්ද පතිරගේ චරිතය බොහොම ප්‍රකටයි. ඔහුගේ අප්‍රකට තොරතුර තමයි ඔහු සිත්තරෙක්. පතිරගේ කියන්නෙ අනුරපුරයේ ඉපදුණු එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක දරුවෙක්. පියා අනුරපුරයේ පින්තූර රාමු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඔහුට සිතුවම් කලාව පිළිබඳ උපන් හපන්කමක් තිබුණා.

මේ අපූරු චරිතය සිත්තරකු බවට පත්වුණේ දෛවෝපගත සිදුවීමක් නිසා. ඒ කාලේ ඔහු අවුරුදු දාසයක විතර ගැටවරයෙක්. පියාගේ වියෝවෙන් පස්සේ පින්තූර රාමු කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පැවරුණේ පතිරගේටයි. ඇත්තටම ඒක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් ඉතින් කොහොමටත් සිත්තර කලාවට උපන් හපන්කම් ඔහුට තිබුණා. ඔන්න දවසක් අපූරු සිදුවීමක් සිද්ධ වුණා.

පතිරගේට ඉස්කෝලේ යාළුවෙක් හිටියා සිනමා ශාලාවල අයිතිකරුවෙක්ගේ මස්සිනා කෙනෙක්. අනුරාධපුරයේ "නිව් විජේන්ද්‍රා" කියන ප්‍රකට සිනමා ශාලාව තමයි ඔහුට අයිතිවෙලා තිබුණේ. අද වගේ ඩිජිටල් ප්‍රචාරක පුවරු ඒ කාලෙ සිනමා ශාලාවල තිබුණෙ නෑ. ඒ නිසා අලුතින් සිනමා පටයක් ආවම ප්‍රචාරක පුවරුව සිතුවම් කරන එක ටිකක් බරපතළ වැඩක් වුණා. ඒ වගේම ඒ කාලේ ඒක රැකියාවක්. 

පතිරගේ ඒ හැකියාව පිළිබඳ මිත්‍රයා දැනගෙන හිටපු නිසා, හැත්තෑව දශකයේ මැද භාගයේ තිරගත වුණු "ලස්සන දවසක්" සිනමා පටයේ ප්‍රචාරක පුවරුව අඳින්න ඔහුට නිව් විජේන්ද්‍රා සිනමා ශාලාවෙන් ආරාධනාවක් ලැබුණා. තමන්ගේ හැකියාව පෙන්නන්න පළමුවෙන් සිතුවමක් ඇඳලා පෙන්නන්නත් එදා ඔහුට සිද්ධ වුණා.

කොහොම හරි පතිරගේ ඒ වැඩේ ලස්සනට කළා. පස්සේ වැඩේ නැගලා ගියා. ඔන්න ඊට පස්සෙ මේ පතිරගේ අනුරපුරයේ ප්‍රකට විජේන්ද්‍රා, නිව් විජේන්ද්‍රා, සිතම්පලම් වගේ සිනමා ශාලාවල ප්‍රචාරක පුවරු  සිතුවම් කරන වැඩේ අල්ලගත්තා. ශ්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගයේ ඔහු අනුරාධපුරය තමන්ගේ තෙලි තුඩින් හැඩ කළා.

අද අපි ඔහුව මහින්ද පතිරගේ කියලා හැඳින්වුවාට ඒ කාලේ ඔහුව කවුරුත් දැනගෙන හිටියේ ටී.පී. මහින්ද කියලා. ඇත්තටම එදා ඔහු අනුරාධපුරයේ ප්‍රකට සිත්තරෙක්. ඔහු ඇඳපු එක්තරා ප්‍රකට සිතුවමක් තවමත් මේ රටේ සමාජ දේශපාලනය ඇතුළේ භාවිත වෙනවා. ඒ සිතුවම රෝහණ විජේවීරගේ. අදටත් සමහරු ඡායාරූපයක් කියලා හිතන මේ සිතුවම පිටිපස්සේ තියෙන්නෙ තවත් අපූරු කතාවක්.

ඔන්න ටී.පී. මහින්ද සිත්තර තරුණයා මේ කාලේ අනුරාධපුරයේ බොහොම ප්‍රසිද්ධයි. අද වගේ නෙවෙයි ඉතින්, දේශපාලනයටත් ප්‍රචාරක පුවරු නිර්මාණය කර ගන්න සිත්තරුන්ටම තමයි මේ කාලේ ආරාධනා ලැබුණෙ. ඉතින් අනුරපුරයේ නිල්, කොළ, රතු ප්‍රබලයන් කොයි කාගේත් සිතුවම් ප්‍රචාරක පුවරුව ඇන්ඳේ මහින්ද පතිරගේ. 

කොහොම වුණත් ඔහු වාම දේශපාලනයට නැඹුරුවක් තිබුණු කෙනෙක්. හැබැයි ඒක කවුරු හරි දැනගත්තා නම් තත්ත්වය භයානක වෙන්න තිබුණා. රතු පාට පක්ෂවල අයට මේ කාලයේ මරණ වරෙන්තුව අතටම ලැබෙනවා. ඔන්න 88 - 89 භීෂණ සමය ඇරඹුණා.

රෝහණ විජේවීරත් මේ කාලේ හිටියේ හැංගිලා. කාටවත් ඔහුව හොයාගන්න බෑ. කොහොම හරි ජවිපෙට මේ කාලේ තමන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් විජේවීරගේ සිතුවමක් අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒත් ඉතින්, මේ සිදුවීම වෙන කාලෙ සිතුවමක් අඳිනවා තබා ඔහුගේ ඡායාරූපයක්වත් ළඟ තබාගැනීම අතිශය භයානකයි. හැබැයි වැඩේ පැවරුණේ අනුරාධපුරයේ ටී. මහින්දට.

කොහොම හරි මේ කාලෙ ප්‍රංශයේ හිටපු සෝමවංශ අමරසිංහ මුද්දරය ප්‍රමාණයේ කුඩා ඡායාරූපයක් අතිශය රහසිගත විදිහට පතිරගේ අතට ලැබෙන්න සැලැස්සුවා. අවසානේ බොහොම රහසේම ඔහු ඒ සිතුවම් ඇන්දා. අදටත් මැයි දින පෙළපාලිවල, විපක්ෂයේ බොහෝ වැඩසටහන්වල වගේම ඔය ලොකු ලොකු සමුළුවලදිත් ඡායාරූපයක් වගේ භාවිත කරන්නෙ මේ සිතුවම. ඔය මුහුණු පොතේ එහෙමත් දැන් හුවමාරු වෙනවා. 

ඒ කාලේ නම් මේ සිතුවමේ අයිතිකාරයා පිළිබඳ රහස දන්න අය ඒක රුකගත්තේ තමාගේ ජීවිත අවදානම ගැන හිතලා. පස්සේ කාලෙක ඒ රහස වැළලිලාම ගියා. දැන් ඒ සැබෑ සිතුවම ඒ පක්ෂයෙ ප්‍රධාන කාර්යාලයේ එල්ලා තියෙනවා. ඒත් අදටත් මේ සිදුවීම පිටිපස්සේ තියෙන කතාව ගොඩක් දෙනා දන්නේ නෑ. හැබැයි රාජ සභාවේ මහින්ද පතිරගේව නොදන්න කෙනෙකුත් නෑ.

ඇත්තටම මේ අපූරු චරිතයේ සිතුවම් කලාව තවත් බොහෝ පරාසවල පැතිර ගියා. පසුකාලීනව සිතුවම් කලාවට විතරක් නෙවෙයි, වේදිකා පසුතල නිර්මාණකරණය ඇතුළු බොහෝ කලා කටයුතුවලට ඔහු හවුල් වුණා. රජරට බොහෝ කලාකරුවන්ට වගේම මහින්ද පතිරගේටත් රජරට සේවයෙන් කලඑළි දකින්න අවස්ථාවක් ලැබුණා. හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේවයන්ගෙත් ඔහු ඇඳපු ප්‍රකට සිතුවමක් තියෙනවා. ඇත්තටම ඒ කතන්දරය අප්‍රකටයි.

රංගධරයෙක් විදිහට ඔහුගේ නැගී සිටීම ගැන තියෙන්නෙ වෙනම කතාවක්. පෝස්ටර් කටවුට් නිර්මාණයට සිත්තරුන්ගේ දායකත්වය ඩිජිටල් ප්‍රචාරක පුවරුවල ආගමනයත් එක්ක නැවතුණා. සිනමාහල් තුළ ඩිජිටල් ප්‍රචාරක පුවරු නිර්මාණය වුණා. එදා ඒ ප්‍රචාරක පුවරු ඇඳපු ටී.පී. මහින්ද, අද ඒ සිනමාහල්වල පුවරුවලම මහින්ද පතිරගේ රංගවේදියා විදියට පෙනී ඉන්නවා. සිනමා ශාලාවල ඇතුළේ මිනිස්සු ඔහු මවන හාස්‍ය රසයට අත්පොළසන් නගනවා. ඉතින් ඇත්තටම දෛවය හරිම අපූරු දෙයක්.

නිසල්