මායි හඳගමයි ඉස්කෝළෙදි එකට රඟපෑවා
අයි කේම් එම්ප්ටි හෑන්ඩඩ්, අයි විල් හෑව් ටු බයි එව්රිතින්ග්, ස්ටාර්ටින් විත් නිව් අන්ඩර් වෙයාර්, පැබ්ලෝ, රත්නයියා හට එවිට උත්තර දුන්නේ එලෙසිනි. රත්නයියා, සැහැල්ලුවෙන් හිනාවක් පා ඩෝනට් වොරි සර්, කියා කියයි. ඇල්බොරාදා - චිත්‍රපටයේ ඇරඹුම පටන් ගන්නේ එලෙසිනි. ඊළඟට මෙහි සිදුවන සියල්ල දැන ගැනීමට නම් ඔබට ඇල්බොරාදා නැරඹීමට සිදුවේ. එය ඔබට බාර කරමින් අප අද ඔබ හමුවට කැඳවාගෙන එන්නේ මෙහි රත්නයියා වූ මැල්කම් මචාඩෝ රංග ශිල්පියාය. රංගනයෙන් නිරතුරු අපට හමු නොවන නමුත් රඟපාන චරිතය සැමදා අප මතකයේ සනිටුහන් කරවන මචාඩෝ ඇල්බොරාදා සමඟ තවත් අපූරු රංගනයක යෙදෙන අතරේ ඔහු සමඟ පිළිසඳරකට එක්වෙමු.
මැල්කම් කියන නම නම් අපට අහන්න ලැබෙන නාමයක්, ඒත් මචාඩෝ නම ඇහෙන්නේ කලාතුරකින්? මචාඩෝ නාමය ගැන කියන්නකෝ අපට?
ප්‍රනාන්දුලා. පෙරේරා, අල්මේදලා වගේ පෘතුගීසි නම් තියෙනවනෙ. ඒ වගේ ආ නමක්. මගේ සම්පූර්ණ නම ජෝසප් ඇන්ටනි මැල්කම් මචාඩෝ.
මචාඩෝ නිතර දකින්න ලැබෙන රංගන ශිල්පියෙක් නොවෙයි. ඒ නිසා නිතරම ඔබ ගැන විස්තර පළවෙන්නේ නැහැ. අලුත් පරපුරට දැනගන්නත් එක්ක මචාඩෝ ගැන විස්තරයක් කරමු.
මුලින්ම රංගන විෂයයට ආවේ පාසල් වේදිකාවෙන්. මම කෑගල්ලේ ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
අපේ පාසලේ තමයි හඳගම හිටියෙත්. එයා මට වැඩිය පංති දෙකක් විතර බාලයි.
අපේ ඉහළ පංතිවල හිටියේ බුද්ධදාස විතානආරච්චි, එඩ්වඩ් ජයකොඩි වැනි ප්‍රවීනයින්. ඒ සියලු දෙනාගේ බලපෑම අපට තිබුණා. අපි පාසලට යනකොටත් එඩ්වඩ් ජයකොඩි ඉහළ පංතියක හිටියේ. එතුමා ජන ගී එහෙම ගායනා කළ හැටි තවම මතකයක් තියෙනවා.
ඒ දිනවල අපේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළේ සෝමපාල බොකලවෙල. මගේ හඳගමගේ පළවැනි නාට්‍ය ගුරුවරයා එතුමා. පංචතන්ත්‍රයේ කතාවක් මූලික කරගෙන එයා නාට්‍යයක් කළා. මායි හඳගමයි දෙන්නම ඒකේ රඟපෑවා. නාට්‍ය කලාවට අත්පොත් තැබුවෙ එතැනින්. ඊට පසු කාලයක හඳගම යෞවන නාට්‍ය උළෙලට, ජාතික නාට්‍ය උළෙලට නාට්‍ය එහෙම කළා. කැලණි කැම්පස් එකේදි හඳගම මුලින්ම කළේ භූමිකා. ඒක තරුණ සේවා සභාවේ නාට්‍ය උළලේ අවසන් වටයට ආවා. පසුව එයා කළ හෙණ, මාසාත නාට්‍යවල රඟපෑවා. පසුව ඊ.එම්.ඩී. උපාලිගෙ පියාඹන අස්සයා නාට්‍යයේ රඟපෑවා. ඒ විදියට දිගටම නට්‍ය කලාවේ රැදී හිටියා.
මචාඩෝ ඉගෙන ගත්තේ කලා විෂයය මුල් කරගෙන වූ ගමනක් යන්නද?
එහෙම පූර්ණ කාලීනව කලාව කිරීමේ අදහසක් කොහෙත්ම තිබුණේ නැහැ. වෙනත් රැකියාවක් කරන අතරේ කලාව කිරීම අරමුණු කර ගත්තා.
මචාඩෝ ගෙ පවුලේ උදවිය කලාවට සම්බන්ධ වූ අය නෙවෙයිද?
නැහැ, තාත්තා පුද්ගලික ආයතනයක සේවය කළේ. අම්මා රස්සාවක් කළේ නැහැ. මට මේ ආභාෂය තනිකරම ආවේ පාසලෙන්.
වෘත්තීය ලෙස සමාජ ගත වුණේ කොතැනින්ද?
උසස් පෙළ සමත් වෙලා, කොළඹ නීති පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා. නීති විද්‍යාලයෙන් උපාධිය සමත්වෙලා 1993 සිට නීතිඥ වෘත්තියට එළැඹුණා. එදා ඉඳලා කටයුතු කරන්නෙ නීතිඥවරයකු ලෙසයි.
වැඩිපුර කතා කරන්නේ මොන නඩුද?
එහෙම විශේෂයක් නැහැ. ලැබෙන අපරාධ නඩු, කම්කරු උසාවියේ නඩු, දිස්ත්‍රික් උසාවිවල නඩු ඔය හැම එකක්ම අඩු වැඩි වශයෙන් කරනවා.
මචාඩෝ තවම ඉන්නේ ගමේමයි?
ඔව් කෑගල්ලේ
අශෝක හඳගම මිතුරා වූ නිසාමද වැඩිපුර එයාගේ නිර්මාණවලදී ඔබව දැක ගන්න ලැබුණේ?
වෙන ඒවායෙත් හිටියනෙ. හඳගමගේ 93 දි දුන්හිඳ අද්දර 95 දි දිය කැට පහණට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මම එයාගේ නාට්‍යයක රඟපෑවෙ 2006 දි විතර නැගෙනහිර වෙරළෙන් ඇසෙන නිර්මාණයේදි. පසුව ආනන්ද අබේනායකගෙ තාරා නාට්‍යයේ සහ එතුමාගේ පෝය නාට්‍යය කීපයකට රඟපෑවා. ප්‍රදීප් ධර්මදාසගේ සික්කා ටීම්. තව තව නිර්මාණකරුවන්ගේ නාට්‍ය කීපයකම රඟපෑවා. චිත්‍රපට ක්ෂේත්‍රයේදී මුලින්ම රඟපෑවෙ පරාක්‍රම කිරිඇල්ල මහතාගේ අයෝමා චිත්‍රපටයේ. හඳගමගේ චන්න කින්නරි රඟපෑවෙ ඉන් පසුවයි.
ඇල්බොරාදා චිත්‍රපටයේ රත්නයියා ගැන කියමු?
හඳගම මේකේ පිටපත ලියන්න පටන් ගත්තේ 2019 දී. පිටපත ලියද්දීම වගේ එයා ඒ චරිතය ගැන මට කිව්වා. පොත් පත් පරිහරණය කරද්දී ඒ චරිතයේ නම ලියැවිලා තියෙන්නේ බුම්පි කියලයි.
රත්නායක කියලත් තව තැන්වල තියෙනවා. නමුත් මෙතැනදි රත්නයියා කියලා දමිළ චරිතයක් නිර්මාණය කරළා තියෙන්නෙ හඳගමගෙ ප්‍රබන්ධයක් ලෙසයි. රත්නයියාගේ චරිතය ඇල්බොරාදා චිත්‍රපටයේ අනෙකුත් චරිතවල අන්තර් සම්බන්ධය ගොඩනගන්න දායක වෙනවා. කුලබේදය කියන දේ රත්නයියා ඉහළින්ම පිළිගන්න කෙනෙක්. පැබ්ලෝ ඉන්න ගෙදර පොඩි ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නත් ඔහු උත්සාහ ගන්නවා. කොහොම වුනත් රත්නයියා, පැබ්ලෝ හැරගියේ කුලහීන ස්ත්‍රියක් නිවසට ගෙනා නිසාද? කියන ප්‍රශ්නය ඉතිරි වෙනවා.
පැබ්ලෝ නෙරූදා ගැන ලෝකයම කතා කරන්න හේතු වූ ප්‍රධාන දේ හැටියට ඔබගේ කියවීම අනුව දකින්නේ කොහොමද?
ඇත්ත වශයෙන්ම කිව්වොත් නෙරූදාගේ කවිවල වැඩි හරියක්ම තිබුණේ ප්‍රේමය. ඒ වගේම විප්ලවීය අදහස් තිබූ කවිත් තියෙනවා. ඊට වඩා ඒ කවීත්වය සහ ඔහු ගැන තිබූ මතවාදය වෙනස් මගකට ගියේ චිලියේ සන්තියාගෝ නුවර ගුවන්තොටුපළ නෙරූදාගෙ නමින් නම් කරන්න ගිය වෙලාවෙදි ස්ත්‍රීවාදීන් සහ විවිධ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ ප්‍රගතිශීලී ව්‍යාපාර ඊට විරුද්ධ වූ නිසයි. මොකද ඒකට හේතුව වුණේ චිලියේ කොන්සල්වරයා ලෙස එදා ඔහු ලංකාවේ සිටියදී සිදුවුණාය කියන ස්ත්‍රී දූෂණයයි. එවැනි කෙනෙකුගේ නමක් මේකට දාන්න එපාය කියන දේ තමයි ප්‍රකාශ වුණේ. ඒ නිසා එවකට චිලී රජය නෙරූදාගේ නම එයාර්පෝර්ට් එකට දැම්මේ නැහැ එදා 1902 දි ඒ සිදුවුණාය කියන ස්ත්‍රී දූෂණය ගැන 1969 දී විතර පාපොච්චාරණය වුණේ.
ඇල්බොරාදා නරඹද්දි රත්නයියා ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
මට නම් හිතෙන්නේ තවත් හොඳට තවත් හොඳට කරන්න තිබුණාය කියන හැඟීමයි.
ලෝයර් කෙනෙක් නළුවකු වීම ඔබ දකින්නේ මොන විදියටද?
ලෝයර් වෙන්න කලින් තමයි මම නළුවකු වෙලා හිටියෙ. ලෝයර් කෙනෙක් වෙන්න නළුකමත් ලොකු දායකත්වයක් වුණා. ලෝයර් කෙනෙක් උසාවියෙදි විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් රඟපෑමක් වගේ දෙයක්නෙ කරන්නෙ.
සමහරු සේවාදායකයාගේ මුළු ප්‍රශ්නයම තමාගේ සිරුරට දාගෙනනේ කරුණු උසාවියට ඉදිරිපත් කරන්නේ. අනෙක් පස නීතිඥවරයා ගෙනෙන තර්ක බිඳින්න දරුණු වාද – විවාදවල පැටලෙනවනෙ. ඉතින් ඒවා කරන්නේ ඒ මොහොතට උසාවියේදි විතරනෙ. ඒකත් එක්තරා විදියක රංගනයක් වගේනෙ. අපේ කතාවක් නෙවෙයිනෙ කියන්නේ, තව කෙනෙක්ගේ කතාවක්නෙ.
කොහොමද මේ යාළුවෝ දෙන්නා, ඒ කියන්නේ මචාඩෝ සහ හඳගම දෙදෙනා හමුවුණාම වැඩිදුර කතා කරන්නේ මොනවා ගැනද?
විශේෂයෙන්ම ඉතින් කතා කරන්නෙ සිනමාව සාහිත්‍ය සහ කලාව ගැන තමයි. ඒ හැර පුද්ගලික දේ ගැන කතා වෙන්නෙ නැහැ. අවුරුදු තිස් හතළිස් ගණනක හිතවත්කමක්නෙ අපට තියෙන්නේ. හඳගම කියන්නේ ඉදිරිගාමි කලාකරුවෙක්. මම නොදන්නා සමහර දේ පවා මම ඔහුගෙන් අහගන්නවා.
කියන්නකො මචාඩෝගෙ කැදැල්ල ගැන? මොනවද කැදැල්ලෙ විස්තර?
මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ලොකු දුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබනවා. දෙවැනි දුව මේ වසරේ උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් ඉන්නේ. බිරිඳයි, මමයි දුවලා දෙන්නයි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.
සඳුන් ගමගේ