මම හරිම කැමතියි ලංකාවේ ‘‘ඇඹිලිපිටිය’ පළාතේ ගැහැනු ළමයකුට
දියණි (කොස්තා):- බලනවා ඕයි, ඔය සාක්කුවට අත දාන්න එපා බෙල්ට් එකක් නෑ කලිසම පාත්වෙයි.
නාඩගම්කාරයෝ (කැකුළා):- සරා උඹ මතක තියා ගණින්, උඹට යන්න වෙන්නෙ ඔය කර්ල් කොන්ඩෙත් එක්ක බෙල්ලත් නැතුව.
ඉරහඳ පායන ලෝකෙ (ටිකිරාළ):- මයෙ අම්මා මයෙ අම්මට කැඳ ඇබිත්තක් පොවන්නෙයි.
රුවන් පෙරේරා රංගන ශිල්පියා ගැන වැඩි දෙනෙක් කතා වන්නේ මේ දිනවල විකාශය කෙරෙන නාඩගම්කාරයෝ (කැකුළා), දියණි (කොස්තා) සහ ඉරහඳ පායන ලෝකේ නාට්‍යයේ, ටිකිරාළගේ චරිතය නිසයි. ඔහු එක්ක විසේකාර කතාබහකට මේ හොඳම වෙලාවයි.
නාඩගම්කාරයෝ, මැර පෙනුමින් යුතු කුකුළා ගැන හිතෙන්නෙ කොහොමද?
සරිල චරිතයක්. කතාවෙ හැටියට මැරයෙක්. අපි බලමු ඉස්සරාහට.
දියණි නාට්‍යයේ කොස්තා?
කොස්තා කියන්නෙ, කපටි මනුස්සයෙක්. සටකපටයෙක්. ජීවත් වෙන්න එයා කරන අරගලය ඇතුළෙ කපටිකම්, මැරකම් ඇතුළු ඔක්කෝම ගති ස්වභාවයන් තියෙනවා. ඒ අතරේ ඔහු හොඳ ආදරණීය මනුස්සයෙක්. හොඳ හදවතකුත් තියෙනවා.
‘‘රුවන්’’ මේ මැර චරිතවලට සහ ඒ පෙනුමට ආසද?
මෙහෙමයි, මැර පෙනුම, ස්වභාවය තියෙන චරිතම නෙවෙයි ඔය ඔක්කෝම චරිත. ‘‘ඉර හඳ පායන ලෝකය’’ නාට්‍යයේ ටිකිරාළ කියන්නෙ හරිම අහිංසක අව්‍යාජ ගැමියෙක්. අම්මාට බොහෝම ලෙංගතු, බෙහෙවින්ම කීකරු නිවිච්ච චරිතයක්. අම්මා වෙනුවෙන්, අම්මාව බලාගෙන ගෙදරින් එළියටවත් යන්නෙ නැති ගැහැනු ළමයි වගේ කොල්ලෙක්. ඒක සහ කැකුළා කියන්නෙ අහසට පොළව වගේ වෙනසක් තියෙන චරිතයක්.
රුවන්ට හිතෙන්නෙ නැද්ද ඔය පෙනුම ටිකක් වෙනස් කර ගන්න? වස පෙනුම?
මේ පෙනුම මම 2018 දී ජැක්සන් මහතාගේ ‘‘එකගෙයි සොකරි’’ චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී ඒ චරිතය වෙනුවෙන් වෙනස් කළා. ඒක වෙනස්ම චරිතයක්. ඒ චරිතයෙන් පසුව, කෝටිපතියෝ නාට්‍යයේ රඟපෑවෙ කොණ්ඩය වැටුණට පස්සෙ. මොකක් හෝ හේතුවක් නිසා දිගටම ඒ විදියට කැරළි කොන්ඩය එක්ක චරිත කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ පෙනුමෙන්ම ඉන්න ඕනෑය කියලා මම හිතන්නෙ නැහැ. මාත් වෙනසකට ලෑස්තියි. හැබැයි මේ මගේ බොකුටු කොන්ඩයට කාන්තාවන් වගේම ගැහැනු ළමුන් හරි ආසයි. අනේ ඔයාගෙ කොණ්ඩෙ ලස්සන කියලා අතගාලත් බලනවා. අනේ මේ කොන්ඩෙට අපි හරි ආසයි කියනවා
‘‘රුවන්’’ රොමෑන්ටික් පෙනුමකින් තොරව ඔය විදියට ඉන්නවට ගැහැනු ළමුන් කැමති ඇති?
ඔව්, ඉතින් ගැහැනු එකම දේට අකමැති ඇති නෙ.
රුවන්, ඔයාගෙ හිත ගත්ත ගැහැනු ළමයා ගැන කියන්න කාලය හරි නේද?
මගේ හිත ගත්ත ගැහැනු ළමයා ගැන කියන්න තවම මට විදියක් නැහැ. මම හොයන කෙනා මට තවම හමුවෙලා නැහැ.
හොයන්නෙ මොන වගේ කෙනෙක්ද?
මම හරිම කැමතියි ලංකාවේ ‘‘ඇඹිලිපිටිය’ පළාතේ ගැහැනු ළමයකුට.
ඒ කියන්නෙ වගා කටයුතු එහෙමත් කරන්න අදහසක් හිතේ තියෙනව වගේ?
ඒ පළාතේ ගැහැනු ළමුන් වගේම මිනිස්සුත් හරිම අව්‍යාජයි. විශේෂයෙන්ම ගැහැනු ළමන් හරිම අහිංසකයි. ලංකාවේ මම ආසම පළාත ඇඹිලිපිටිය.
ඒ කියන්නෙ ඇඹිලිපිටියෙන් ගැහැනු ළමයෙක් විවාහ යෝජනාවක් ගෙනාවොත් බාර ගන්නවාද?
අනිවාර්යයෙන්ම ඔව්. ඔන්න දැන් මම ඒ ගැන ප්‍රසිද්ධියේම කිව්වනෙ. දැන් ඉතින් එයාලගෙ අවස්ථාව.
වගා කරන්නත් රුවන් කැමතිද?
වගාවක් කරන්න තියෙනවා නම් රටටම හොඳයි. වගා කරන කෙනා විතරක් නෙවෙයිනෙ ඵල බුක්ති විඳින්නෙ.
රුවන් කොහොමටත් වගාවට බොහොම ආසා කෙනෙක් නේද?
ගහට – කොළට, පරිසරයට හරිම ආසා, හරිම ආදරේ කෙනෙක්. මම විශ්වාස කරන විදියට මේ ගස් - වැල් කතා කරන ඒවා අපට ඇහුණෙ නැති වුණාට එයාලා අපි කරන සියලු දේ දිහා බලා ඉන්නවා. එයාලාට සෑහෙන දේ විඳ දරා ගන්න පුළුවනි. කොස් ගහක අත්තක් කපා දැමුවත් එයාලා කිරි (ලේ) පෙරාගෙන අපට ගෙඩි ලබා දෙනවා. බලන්න වේදනාව තියාගෙන අපට ගස්වැල් සලකන හැටි. ඒ නිසා මම මහා පුදුමාකාර විදියට සොබාදහමට – ස්වභාවධර්මයට ගරු කරන කෙනෙක්, ආදරය කරන කෙනෙක්.
රුවන්, කරන්නෙ රඟපෑම විතරද? ඒ කියන්නෙ වෘත්තීය නළුකම විතරද?
වෘත්තීය නළුවෙක්. ඒත් ඉතින් අපේ රටේ වෘත්තීය නළුවකුට ලැබෙන පහසුකම් වටිනාකම් නම් හරිම අඩුයි.
ඉතින් නළුකමටම ආවෙ?
මට දන්නා කාලයේ ඉඳලම තිබුණෙ නළුකම තමයි, ඒ හැර වෙන රස්සාවක් ගැන හිතුවෙම නැහැ. ඉගෙන ගනිද්දි මගේ ආසම විෂය වුණේ, සෞන්දර්ය විෂයන්. නර්තනය මගේ ප්‍රියතම විෂය වුණා. මොකද ඒ නිසා නටන්න, රඟපාන්න අවස්ථා ලැබුණු නිසා.
ගැහැනු ළමයකු කෙරෙහි මුලින්ම හිත ගියේ මොන කාලයේදීද?
ඕ ලෙවල් කළ කාලයේදී. ඒ වෙනුවෙන් ලොකු කට්ටක් කෑවෙ. ඒ විදියට කට්ටක් කාලා ඒ ආදරය ලබා ගත්තත්, ගෙවල්වලින් ආ ප්‍රශ්න නිසා ඒක නතර වුණා. ඒ නැති වූ ආදරය, ඒ හැඩය, ඒ රූපය, වගේ ආදරයක් තමයි තවම මම හොයන්නෙ.
ආදරේ කරනවා, විවාහ වෙනවා, පවුල් ජීවිතය ගෙවනවා, මේ ස්වභාවය රුවන්ට දැනෙන්නෙ මොන විදියටද?
ඒක හරියටම තේරුම් අරගෙන කළයුතු දෙයක්, නෑදෑයෝ හෝ ගෙදර අය හෝ යාළු මිත්‍රාදීන් කියන විදියට කළයුතු දෙයක් නම් නෙවෙයි. අපි ආදරය කරනවා නම්, ඒක අවසන් වෙන්න ඕනෑ විවාහයෙන් කියන විශ්වාසය ඇතිව ආදරය කිරීම තමයි හොඳ. එතකොට මැරෙනකල්ම ඉන්නෙ එයා එක්කනෙ. ඒ ගැන ලොකු තේරුම් ගැනීමක් තියෙන්න ඕනෑ. ඒක එහෙම නොවුවොත්, ජීවිතේ මැරෙනකල්ම විඳවන්න වෙනවා. මනුස්ස ජීවිතයක් ලැබීම යනු හරිම විරල දෙයක්. ඒ මනුස්ස ජීවිතය විඳවීමට ලැබුණොත් ඒක හරිම කරුමයක්නෙ. ඒ නිසා, කලාතුරකින් ලැබුණු මේ වටිනා ජීවිතය ආදරය හෝ විවාහය හෝ වෙනත් දෙයක් නිසා විඳවන ජීවිතයක් වුණොත් ඒක මහා කරුමයක්. ඒක මහා අපරාධයක්. ආදරය කරන්නත් ඕනෑ. විවාහ වෙන්නත් ඕනෑ. හැබැයි අපට ජීවිතය ලැබිලා තියෙන්නෙ ඔය ටික වෙනුවෙන්ම නෙවෙයි. ඒ නිසා තවම මම විවාහ වෙලා නැතත් ඊලඟ ආත්මය උදෙසා මම හරියට පිං කරනවා.
අපි රුවන්ගෙ රඟපෑම් ගැන කතා කරමු. රුවන් බලාපොරොත්තු වූ චරිත මේ දක්වා ලැබුණද? නැත්නම් එහෙන් - මෙහෙන් ලැබෙන චරිතද රඟපාන්නෙ?
මට ලැබුණු චරිත ටිකක් සැර, දුෂ්ඨ චරිත. ඒක කොච්චරනම්ද කිව්වොත්, සමහරුන්ට පුදුමයි. මම ඒ වගේ චරිත රඟපාන එක ගැන. මම බලාපොරොත්තු වූ චරිත මට ලැබිලත් තියෙනවා. හැබැයි මටසිලිටු චරිත ලැබිලත් නැහැ, එහෙම ඒවා කරන්න ආසාවකුත් නැහැ. මගේ සිනමා ගමනේදී මා කළ නිර්මාණ දෙකක් එන්න තියෙනවා. මගේ සිනමා ජීවිතය වෙනස් කරවන චරිත දෙකක් බවට පත්වේවි. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහතාගේ ‘‘එකගෙයි සොකරි’’ චිත්‍රපටයේ චරිත නිසා මට හෙට දවසේ මහා වටිනාකමක් ලැබේවි. මගේ ටෙලි නාට්‍ය ජීවිතයේ මාව සම්මානනීය නළුවකු බවට පත් කළත් ජැක්සන් ඇන්තනි මහතාගේ ‘‘දස්කොන්’’ නාට්‍යයේ රඟපෑ චරිතයට. ඒ වගේම ‘‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ චරිතයත්, මගේ ජීවිතය වෙනස් කරාවි
‘‘රුවන්’’ට හොඳට ගමේ කෑම උයන්න පුළුවන්නෙ? හොඳටම රහටම උයන්න පුළුවන් ව්‍යාංජන වර්ග තුනක් නම් කරන්න පුළුවන්ද?
කොස්, දෙල් සහ අලගොබ මාළුව රසටම උයන්න පුළුවනි. ජැක්සන් මහතාගේ කළුගඟ දිගේ ප්‍රෝග්‍රෑම් එක බලපු අය මට කතා කරලා ගැමි කෑම කඩයක් දාන්න කියලා කීප විටකදීම කිව්වා. ඒත් දැනට මට ඒකට වෙලාවක් නැහැ.
ආහාර දුෂ්කරතාවයක් ආවොත්, අපට කොස්, දෙල් හැර වෙන කෑමට පුළුවන් පරිසරයේ ඇති කීපයක් ගැන කියන්නකො?
කොළඹින් යද්දී මම තුන් මාසයේ මඤ්ඤොක්කා ලී කෑලි ටිකක් ගෙනිහින් අම්මයි, මල්ලි එක්ක පැළ කළා. මාස තුනෙන් අල. ගමේ තියෙන හබොල්ල, ඒ කියන්නෙ ‘‘හබරල’’ අලය පුදුම ගුණයි.
හබරල කෑවොත් හත් දෙයියනේ කට කහනවනෙ?
ආ... ඒක හදන්න ‘‘කෙම්’’ තියෙනවා. කට වහගෙන නිශ්ශබ්දව හදන්න ඕනෑ. ඒ අලය තම්බලා අරගෙන, අබ තෙල් දාලා, වියලි මිරිස් කරලක් ඒකට දාලා, ලූනු ටිකක් දාලා පොඩි කරලා ගත්තාම ඉතින් බත් ඕනැ නැහැ. එච්චර රසයි. බඩත් පිරෙනවා.
තවත් අපි නොදන්නා දෙයක් ගැන කියන්නකො?
‘‘පුස්’’ ඇට හොඳයි. ලොකු පුස්වැල්වලින් වැටෙන ඇට, ඒක අරගෙන තලලා සුදුපාට මදය ගෙන තම්බලා, තිත්ත යවලා, බැදගෙන කන්න. හරියට කජු වගේ.
රුවන්, එහෙම නම් මේ පිළිසඳරෙන් සමු ගනිමු. තවත් මොනවද කියන්න තියෙන්නෙ?
මගේ ගුරුතුමාව ජැක්සන් ඇන්තනි මහතා සහ ඊළඟට මාව ජනප්‍රිය නළුවකු බවට පත් කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාව සහ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාවත් මේ වෙලාවෙ සිහිපත් කරන්න කැමැතියි. මට උදවු කළ තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම බොහෝම පින්.
සඳුන් ගමගේ