මම හරිම ආසාවෙන් ඉන්නවා පැරිස් යන්න
ජිවිතේ අපි ලබන පුංචිම විවේකයක් විනෝදයෙන් සහ සතුටෙන් ගත කරන්න අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. නමුත් අපි ඒ විවේකය විනෝදය ගතකරන විදිය එකිනෙකාට වෙනස්. මොකද බොහෝ දෙනා නිවසට වී කාලය ගත කරන්න කැමති නමුත්, තවත් බොහෝ දෙනා සංචාරය කරන්න කැමැත්තක් දක්වනවා. ඇත්තටම Travel කරනවා කියන්නේ අපි ජිවත් වෙන පරිසරයෙන් බැහැර වෙලා, අපේ මානසික නිදහස වෙනුවෙන් අපි කැමති තැන් වල ඇවිදින එක, සංචාරය කරන එක. ඉතින් ඒ විදියට ගත කරන සුන්දර මතකයන් බෙදාගන්න ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ගමාරච්චි මෙවර සදැල්ල අපිත් එක්ක එකතු වුණා.
Travel කරන කෙනෙක්ද ?
මම සාමාන්‍යයෙන් ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක්. ඇත්තටම මම ලංකාවේ වගේම වෙනත් රට රටවල් වල ඇවිදින්න යන්න ගොඩාක් ආසයි. ඒ නිසාම මට පුළුවන් හැම වෙලාවේම වගේ ඇවිදින්න යනවා.
වැඩිපුරම Travel කරන්න කැමති ලංකාවේද පිටරටද ?
මම ගොඩක් වෙලාවට ලංකාවට වඩා පිටරටවල සංචාර කරන්න තමයි කැමති.
ලංකාවේ වැඩිපුරම Travel කරන්නේ කොහෙද ?
ලංකාවේ නම් නුවර, නුවර එළිය, ගාල්ල, මාතර වගේ තැන් වල තමයි ගොඩක් වෙලාවට ඇවිදින්න යන්නේ. ඒ අතරින් මම නුවරට හරිම කැමතියි. නුවර හරිම ලස්සනයි. වැව රවුම තියෙනවා, ඒ වගේම පොටෝ ගහන්න ලස්සන තැන් තියෙනවා, නුවර කියන්නේ ඉතින් ලංකාවේ සංචාරය කරන්න තියෙන ලස්සනම තැනක්.
Travel කළ පිටරටවල කැමතිම රට මොකක්ද ?
මම ගියපු රටවල් වලින් මම කැමතිම රට ඕස්ට්‍රේලියා. ඕස්ට්‍රේලියා වල ලස්සන තැන් ගොඩක් තියෙනවා. නමුත් මට එහෙම විශේෂයෙන් මතක නැහැ ඒ තැන් ගැන. ඒ රටවලට ගියාම අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනෝද වෙන්න, කෑම කන්න තැන් ගොඩක් තියෙනවා. අපේ රටේදී අපි ට්‍රයි කරලා නැති කෑම වර්ග අපිට එහෙදී කාලා බලන්න පුළුවන්. ඒ වගේම ඒ රටට ආවේණික කෑම වර්ග ගොඩාක් තියෙනවා. නමුත් ඒ අතරින් මෙල්බන් වලට මම ගොඩක් කැමතියි. මොකද හස්බන්ඩ් ඉන්නෙත් එහෙ නිසා. මම ගොඩක්ම ට්‍රැවල් කරන්නේත් ඔහුත් එක්ක. නැත්නම් ගොඩක් වෙලාවට මම තනියම ට්‍රැවල් කරන්න යන අවස්ථාත් තියෙනවා.
මේ අවුරුද්දේ යන්න බලාපොරොත්තු වෙන තැන් මොනවද ?
මේ අවුරුද්දෙත් වෙනදා වගේම ඕස්ට්‍රේලියා යන්න බලන් ඉන්නවා. අවස්ථාව අනුව විවේකයක් ලැබෙන වෙලාවක නිදහසේ කොහේ හරි ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙනකොට ඩුබායි, ඕස්ට්‍රේලියා, සිංගප්පූරු, මැලේසියා, වියට්නාම්, තායිලන්තය වගේ රටවල් කීපයකම සංචාරය කරලා තියෙනවා. ඒ වගේ සුන්දර මතකයන් එකතු කරගෙන තියෙනවා.
ජීවිතේ කවදාහරි යන්න ආසාවෙන් ඉන්න තැන් තියෙනවද ?
ඔව්, මම හරිම ආසාවෙන් ඉන්නවා පැරිස් යන්න. මොකද අපි හැමෝම දන්න පැරිස් වල අයිකන් එක තමයි අයිෆල් කුළුණ කියන්නේ. ඉතින් එතනට ගිහින් පොටෝ එකක් ගන්න එක හැමෝගෙම ආසාවක් ඒ වගේම හීනයක්. ඒ වගේම මමත් ආසයි කවදාහරි පැරීසියේ සංචාරය කරන්න. ඒ වගේම බාලි යන්නත් අසාවෙන් ඉන්නවා. මොකද මම ගිහින් නැති නමුත් සංචාරය කරන්න කැමති තැනක් නිසා.
Travel කරන මතක අස්සේ තියෙන අමතක නොවෙන මතක මොනවද ?
Travel මතකයන් එක්ක අමතක නොවෙන මතකයන් තියෙන්නේ ලංකාවේදී සංචාරය කරලා. අපි සාමාන්‍යයෙන් Travel කරන්නේ මැප් එක දාගෙනනේ, එක දවසක් මැප් එකත් දාගෙන යද්දී අතුරු පාරක ගියේ. ඇත්තටම වාහනේ ගානටම පාර පොඩියි. ඒ වටේටම ගස් කොළන් පිරිලා කැලෑවක් වගේ. වාහනේ පිටිපස්සට ගන්නත් බැහැ හරවන්නත් බැහැ හිරවෙලා එක තැන. ඒ පාරේ ඒ මොහොතේ තව වාහනයක් ආව නම් අදටත් මම එතැන හිරවෙලා. එදා අපි ගිහින් තියෙන්නේ වැරදි පාරක අපිට ඒ තැනට යන්න වෙනම ලස්සන පාරක් තිබිලා තියෙනවා. ඒ වගේ භයානක නමුත් විනෝදාත්මක අත්දැකීමක් තමයි ලංකාවේ අමතක නොවෙන දේකට Travel කරද්දී තියෙන්නේ. පිටරටදී අමතක නොවෙන මතකයකට තියෙන්නේ සිංගප්පුරුවේදී. මොකද මගේ හස්බන්ඩ් මට ප්‍රපොස් කරලා විල් යු මැරි මී සප්‍රයිස් එක තිබුණේ සිංගප්පුරුවේදී. ඉතින් ඒක තමයි පිටරක දී මට අමතක නොවෙන මතකයකට තියෙන්නේ.
Travel කරන එක ගැන මොකද හිතෙන්නේ ?
ට්‍රැවල් කරන එක ගොඩක් හොඳ දෙයක්. අපි එක තැනකට කොටු වෙලා ඉන්නේ නැතිව අපිට පුළුවන් විදියට අපි කැමති තැන් වල ඇවිදින්න, බලන්න යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ දේවල් වලිනුත් හොඳ අත්දැකීම් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඒක ඇත්තටම හරි ලස්සන මතක සටහනක් විදියට ඒ ගත්තු පින්තුර එහෙම බලලා සතුටු වෙන්න පුළුවන්.
අමා අලහකෝන්