මම හොඳටම කලබලෙන් ඉද්දී ප්‍රේම් අයියා ලොව නිසසල වී අරන් ආවා - නිරංජලා සරෝජනී
කවුද ආවේ කවුද ආවේ..
ඔබට හොරා ඔබ හදේ ඇඳී හුන්
මිනිස් රුවයි ආවේ..
හැත්තෑව දශකයේ මුල් භාගයේදී එම ගීතය ගුවන්විදුලි සරල ගී පටිගත කිරීමක් වෙනුවෙන් ඇය ගැයුවේ විශේෂ අවසරයක් මතය. ගීතය ඇතුළත් වූයේ අබේවර්ධන බාලසූරිය නම් මෙරට ගී කලාවේ සදානුස්මරණීය ශිල්පියාගේ සරල ගී එකතුවකටය. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියා, ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කළ එම ගීය යුග ගීයකි. එය ගයන්නට තෝරාගත් නැවුම් හඬ හිමිකාරිනිය එවක පාසල් සිසුවියක වූවාය. එදා විශේෂ අවසරයක් ගෙන ගැයූ එම ගීතයෙන් ඇරඹි ගමන 2010 වසරේ මාර්තු 26 වැනිදා අඳුරු අහසට තම අවසන් සුසුම් පොද එකතු කොට ඔහු දිවියෙන් සමුගෙන යන තෙක් ඔවුහු එක්ව මේ ගමන එකටම ආහ. ඉඳින් ඔහුගේ මතක සුවඳ සමඟ තම හඬද ඔහු වෙනුවෙන්ම පුදා අද ගී නොගයන මියුරු කෝකිලාව සොඳුරු නිරංජලා විය. නොඑසේ නම් අද හදසර අපේ කතාබහ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී සමඟයි.
හිමිවීම්, අහිමිවීම් සියල්ල දරාගෙන ජීවිතයට මුහුණදෙන ඇය සෑම මසකම 26 වැනිදා බොරුල්ල කනත්තට ගොස් මල් කළඹක් පිළිගන්වා ඔහු සිහි කිරීම නිරතුරු සිදුවන්නකි. ඇය සැමවිටම පවසන්නේ ඔහු නිසා සිය ජීවිතයට උරුම වූ සියල්ලට තමන් සැමදා කෘතවේදී වන බවයි.
මම උපන්නෙ කොළඹ කාසල් රෝහලේ. මගේ පියා පත්‍ර කලාවේදියෙක්. ඔහු හැරිසන් පීරිස්. ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්වල තමයි ඔහු වැඩ කළේ. මගේ මව රෙජිනා පීරිස්. මගේ මවගේ මව ඉරාන ජාතිකයෙක්. සීයාට ඉරානයේදී තමයි ඇයව හමුවී තිබුණේ. පසුකාලීනව ඔවුන් ලංකාවට පැමිණ තියෙනවා. අපේ පවුලේ මට සහෝදර සහෝදරියන් පස්දෙනෙක් ඉන්නවා. කුඩා වියේදී එක් සොහොයුරෙක් සහ සොහොයුරියක් මිය ගිහින්. එයාලත් හිටිය නම් අපි අටදෙනෙක්. වැඩිමල් අක්කා මල්කාන්ති පීරිස්. ඇයත් ගී ගයනවා. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සමඟ ඇය විවාහ වුණා. ඊළඟ අයියා හිරන්තා නෙළුම්කුමාර. ඊට පසුව නිර්මලා අක්කා. ඇය විවාහ වුණේ ප්‍රවීණ තබ්ලා වාද්‍ය ශිල්පී විජයරත්න රණතුංග සමඟ. විජේ අයියා මේ වනවිට ජීවතුන් අතර නැහැ. නිර්මලා අක්කා ළඟට මම ඊට පසු සකුන්තලා නංගී හා පවුලේ බාලයා මනෝජ් මල්ලි. ඔහුත් කලාවට සම්බන්ධයි. තබ්ලා වාදකයෙක්, සංගීතඥයෙක් ලෙස කටයුතු කරනවා. ඉතාම සොඳුරු ළමා කාලයක් අපිට තිබුණා. අපි කතෝලික බැතිමතුන්. හැමදාම හවස හයට ඔරසන් කියනවා. පවුලේ සියලු දෙනාම ඊට එක් වෙනවා. තාත්තාට පුළුවන් බට්න් එකෝඩියන් එක වාදනය කරන්න. අම්මාට පුළුවන් මැන්ඩලීනය වයන්න. අපි පොඩි කට්ටිය ගායනා කරනවා. මම මුලින්ම පාසල් ගියේ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට. අට වසරෙදි සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයට ආවා. එහිදීත් මම පෙරදිග හා බටහිර තූර්ය වාදක කණ්ඩායම්වලත් හිටියා. ඉන්පසු උසස් පෙළ කරන්න තමයි පැපිලියාන සුනේත්‍රා දේවියට ගියේ. මම පාසල් තුනක ඉගෙන ගත්තා.
තම වැඩිමල් සොයුරියන් දෙදෙනා වන මල්කාන්ති සහ නිර්මලා දෙදෙනාම ගායනයට දක්ෂතා දැක්වුවද කුඩාම වියේදී තමන්ට එවන් හැකියාවක් නොවූ බව නිරංජලා සරෝජනී පවසයි. ඒ දෙදෙනාම ගුවන්විදුලියට එක්ව සිටි අතර වයස දහයක් පමණ වූ තමන්ට එවකට පැවතියේ තරමක් ගොරෝසු හඬක් වග ඇය පවසයි.
මේ කාලයේදී නන්දා අක්කා (ආචාර්ය නන්දා මාලනී) අපේ අක්කලගෙ හිතවතියක්. ගුවන්විදුලියෙදි හමුවෙලා. ඉතින් නන්දා අක්කා රුවැති ළඳක් කියලා ළමා ගීත නාටකයක් කරන්න ලෑස්ති වුණා. ඒ 1967 දී පමණ. මට වයස අවුරුදු දහයක් වගේ. ඉතින් මේ ගීත නාටකය වෙනුවෙන් අපේ ගෙදරින් අවසර ඉල්ලුවා මාවයි නිර්මලා අක්කවයි සම්බන්ධ කර ගන්න. ගෙදරින් ඉඩ දුන්නා අපට ඊට එක්වන්න. මේ වෙද්දි නිර්මලා අක්කට ගයන්න පුළුවන්. ඒත් මට බැහැ. මේ කාලෙ තමයි මගේ කටහඬ අවදි කරන්න පුහුණුවීම් පටන් ගත්තේ. අපි යනවා නන්දා අක්කලගෙ ගෙදරට. ඉස්සර ඇය හිටියෙ නාවල කන්දවත්ත පාරේ. ඉතින් ඇය මට සංගීතයත් උගන්වලා මගේ හඬ ටික ටික එළියට ගත්තා. පසුව මම තමයි කතානායිකාව හැටියට එහි ගායනා කරන්නෙ. රුවැති ළඳට හිටියෙ නිර්මලා අක්කා. පසුව විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දැක්වූ බොහෝ දෙනෙක් මේ ගීත නාටකයට එක්ව සිටියා. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ පුත්‍රයා වූ ජයන්තදාස්, සුනිල් ආරියරත්නගේ මල්ලි නිමල් දයාරත්න, ලංකා රාජිණී වගේ බොහෝ දෙනෙක් ඊට එක්ව සිටියා. හරිම සොඳුරු මතකයන්. එතැනදි තමයි මාව නිවැරදි පුහුණුවකින් පසු ගායනයකට මුලින්ම එකතු වුණේ.
නිරංජලා තම ආදරණීය ළමා විය ගැන මතක සිහි කරන්නේ එලෙසය. ඉන්පසු ගුවන්විදුලියේ ළමා පිටියට එක්වීමට ඇයට අවස්ථාව ලැබුණි.
මම එක්වුණේ 70 ළමා පිටියට. එය ඉතාම සරුසාර වැඩසටහනක් වුණා. අද කලා ලොවේ විවිධ ඉසව්වල ඉන්න සමන් අතාවුදහෙට්ටි, ගීතා කාන්ති, චිත්‍රා කුමාරි, නෙළුම්, දමයන්ති ජයසූරිය, ලංකා රාජිණී, ශ්‍යාමලී ලිවේරා, ලලිත් සිරිවර්ධන වගේ ගොඩක් අය. එතැනින් තමයි ළමා ගී ගයන්න ආරම්භ කළේ. හැම සතියෙම අපිට ගීත හයක් පුහුණු කළා. ප්‍රවීණ සංගීතඥයන් ගෙන්වා එම පුහුණුවීම් කළේ. සනත් නන්දසිරි, සරත් දසනායක, ඩී.ආර්. පීරිස්, නන්දා මාලනී වැනි අය. සංගීත සන්ධ්‍යාව තමයි ඒ වැඩසටහන. එදා අප පුහුණු වී ගයා පටිගත කළ ගීත තමයි අදත් ගුවන්විදුලියේ ළමා ගී ලෙස තිබෙන්නේ. මහින්ද අල්ගම සහ සුනෙත් ගෝකුල තමයි ඒ වැඩසටහන් නිෂ්පාදනය කළේ. ඉතින් 1970 සිට 73 පමණ වන තෙක් මම ළමා ගී ගැයුවා. ඉන්පසු 1974 දී තමයි මම ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණේ. මහාචාර්ය දීපාල් නාග් තමයි අපේ කටහඬ පරීක්ෂණය සිදු කළේ. එහිදී මට A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වෙන්න හැකිවුණා.
ඒ වසරේදී ඇය තම කුළුදුල් ගී නිර්මාණ හතර පටිගත කළාය. දයා ද අල්විස් ලියා ආචාර්ය නන්දා මාලනී සංගීතවත් කළ අකලට වට මහ වරුසාවක් සේ, ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කළ ලොව නිසසල වී, දිය පිට ඇන්දා, සමාවන්න මට යනු ඒ ගී හතරයි.
මගේ මුල්ම සරල ගී වැඩසටහනත් මට අමතක නොවන සිදුවීම් ගොඩක් එක්ක මතකයේ රැඳිලා තියෙන්නේ. ඒ දවස්වල ප්‍රේම් අයියා (ප්‍රේමකීර්ති ද අල්විස්) ගොඩක් කාර්යබහුලයි. එයාලා ඔක්කොම මගේ සහෝදරයන්ගෙ මිත්‍රයෝ. එනිසාම මගේ සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න කියලා මම ඉල්ලුවා. පටිගත කිරීමේ දවස වෙනකල්ම මට ප්‍රේම් අයියා ගීතය ලියලා දී තිබුණේ නැහැ. මම ගොඩක් කලබල වෙලා හිටියේ. හැබැයි එදා උදේ වික්ටර් අයියලගෙ ගෙදරට මට එන්න කිව්වා. මාත් අබේත් එහි ගියා. ඉතින් උදේ 6.30ට පමණ තමයි ගීතය මට ලැබුණේ. ඒ වෙලාවෙ පුහුණුවීම් කරලා උදේ 8.30ට ගුවන්විදුලියට ඇවිත් ගීතය පටිගත කළා. අදටත් ලොව නිසසල වී ගීතය ඇහෙද්දී මට ඔය සිදුවීම සිහියට නැගෙනවා.* ඇය පවසන්නීය.
නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය සමඟ සිය යුග ගීය ගයන්නට ඔහුව දැන හඳුනාගත්තේ පාසල් වියේදීමය.
ඉස්සර අබේ සනත් අයියාව හම්බවෙන්න තමයි අපේ ගෙදර එන්නෙ. එතකොට අප කා සමඟත් හිතවත් වුණා. ඉතින් මම අබේ අයියා කියලා තමයි කතා කළේ. අබේගෙ සරල ගී වැඩසටහනකින් තමයි මා ගායිකාවක බවට පත් වුණේ. මගේ සංගීත ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සුන්දර කළ ආදරණීය මිනිසා ඔහු. ඔහු සමඟ යුග ගී දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මා ගැයුවා. 1981 වසරෙදි අපි විවාහ වුණා. අපි කතෝලික. අබේලා බෞද්ධ. ඉතින් විවාහය පල්ලියේ සිදු කරන්නට හැකි වුණේ නැහැ.අබේ ඊට අකමැති වූ නිසා. මේ හේතුවෙන් මගේ පවුලෙන් නිර්මලා අක්කා සහ විජේ අයියා හැරුණුකොට කිසිවෙක් මගේ විවාහයට ආවෙත් නැහැ. ඒක වුණේ අබේට අකමැත්තක් නිසා නෙවෙයි. ආගමික පසුබිම මතින් පැන නැගුණු ගැටලු නිසා. නමුත් පසුව අපේ පවුලේ සියල්ලම අපිට ආශිර්වාද කළා. අප දෙදෙනා විදේශ ප්‍රසංග විශාල ප්‍රමාණයකට එක් වුණා. මම ඒ වෙද්දිත් ගුවන්විදුලියේ සහන නිවේදිකාවක්. 1979 සිට 1987 වෙනකල් සහන නිවේදිකාවක් ලෙස හිටියා. ඒ වගේම 1984 දී රූපවාහිනී ප්‍රවෘත්ති කියන්නත් පටන් ගත්තා. 1989 වෙනකල්ම වැඩ කළා. ඒ කාලෙ ගුවන්විදුලි නාට්‍ය හරිම ජනප්‍රියයිනෙ. මුවන්පැලැස්ස නාට්‍යයේ පිනාගෙ දුව සමදරා, මොණරතැන්නෙ ලසඳිගෙ දුව උමා, ගජමුතු එකේ මුතූ, වජිරා එකේ මධුරි වගේ ගොඩක් චරිතවලට මම හඬ දුන්නා. රෑපවාහිනියෙන් අපිට දකින්න කලින් ගුවන්විදුලියෙ අපේ හඬින් අපිව මිනිසුන් හඳුනා ගත්තා. නමුත් 89 දී රට තුළ ඇතිවූ කලබල සමඟ අපට නොයෙකුත් තර්ජන ආවා. අබේත් මාත් රටින් ගියා. ඔහුත් ඒ වෙද්දි රෑපවාහිනියේ අධ්‍යක්ෂ තනතුරක් දැරුවා. ඒ සියල්ල අතහැර ගොස් කලකට පසු අප යළි මෙරටට ආවේ.
1972 වසරේ ඇරඹි ස ප්‍රසංගයේද නිරංජලා සරෝජනී වික්ටර් රත්නායකයන් සමඟ යුග ගී ගැයූ අතර ස ප්‍රසංගය නතර කරන තෙක්ම ඈ ඊට එක්වූවාය.
ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, කේ.ඩී.කේ. ධර්මවර්ධන තුන්දෙනා තමයි එහි නිවේදකයන් වුණේ. නමුත් ඔවුන් කාර්යබහුල වෙද්දි මමත් නිවේදන කටයුතු කළා. කුලේ අයියත් (කුලරත්න ආරියවංශ) පසුව ඊට එක් වුණා. රට වටේම ප්‍රසංගවලට සහභාගි වෙමින් අත්දැකීම් ගොඩක් ලැබුවා.
ඇය එලෙස පවසද්දී බොහෝ දෙනෙකුගේ හිතේ ඇති පැනයක් මම ඇයට යොමු කළෙමි. ඈ ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.
අබේ හා මා දෙදෙනා කවදාකවත් මෙන්න මෙලෙස ගීයක් ලියා දෙන්න කියලා ඉල්ලලා නැහැ. එහෙත් අපිට ගීත ගොඩක් ලියුවේ අප වටා සිටි ගීත පද රචකයන්. ඔවුන් අපේ ජීවිතය දැන සිටියා. රත්න ශ්‍රී අයියා (ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ) ලියූ සිරිපාදේ වන්දවන්න* ගීතය, ප්‍රේම් අයියා ලියූ පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා ගීතය වගේම අප මුලින්ම ගැයූ කවුද ආවේ ආදී ගීත අද අප දෙස බලා ඔවුන්ට දැනුණු දේ එක්කොට ලියූ ගීතයයි. අප දෙදෙනා ඒ ගීතය පටිගත කරද්දී ආදරය කරන්න අරන්. ඉතින් මහාචාර්ය සුනිල් ආරියරත්න ඒ වග දැන සිටියා. ඔහු වගේම ඉතින් අබේත් මාත් එක්ව අබේ නිරංජලා විශිෂ්ඨ ගී නමින් ගී එකතුවක් කළා. එය ගී එකතු 13ක් දක්වා අප නිකුත් කළා. අබේට 2008 දී පමණ ස්නායු ආබාධ තත්ත්වයකට මුහුණ දෙන්න වුණා. ඔහුට හඬ අහිමි වුණා. පසු කලකදි කියන්න අවශ්‍ය දේ ඔහු මට ලියලයි දුන්නේ. වෛද්‍යවරුන් කිව්වා අවුරුදු තුනක් පමණ තමයි ජීවිතය රුඳෙන්නේ කියා. ඔහුගේ හඬ අහිමිවීම නිසා අබේ දැඩි වේදනාවකින් හිටියේ. ඒ වග මට හොඳින්ම දැනුණා. ඉතින් ඒ නිසා මා තීරණය කළා ඔහු ජීවිතයෙන් සමුගත් පසු යළි ගී නොගයන්න. 2010 මාර්තු 26 අබේ සදහටම මගෙන් සමුගත්තා. එදා සිට මා සජීව ගායනයක් සිදුකොට නැහැ.
ජීවිතය යනු මෙය යැයි හැඟේ. ඔවුන් එක්ව මැවූ චමත්කාරය මෙරට ගීත කලාව පවතින තුරුම රුඳෙනු ඇත. එතරම් සොඳුරු ගී ගඟුලක් මෙරට රසිකයා වෙත ඔවුහු තිළිණ කළහ. සසර සැරිසරන තෙක් ඔවුනොවුන් හමුවේවායි හදසර අපි ප්‍රාර්ථනා කරමු.
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
මොනිකා සේරසිංහ
සේයාරූ I සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්