මම හිතන්නේ මැරෙනකම්ම ලස්සනට අඳින්න ඕනේ කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙමාපියන්ගේ උරුමයෙ නාමයෙන් ජීවිතයට වටිනාකම්  බොහොමයක් එක්කර ගත් ඇය , ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන්ගේ ගෞරවනීය ආදරයට පාත්‍ර වූ රණතුංග පවුලේ ආදරය එකම දියණියය. තවත් ආකාරයකින් හඳුන්වා දුන්න හොත් මාධ්‍යයේ දැවැන්තයෙකු වන නිහාල් වික්‍රම එදිරිසූරිය මහතා ගේ ආදරණීය බිරිඳ ය. අප අද හමුවන්නේ සෙව්වන්දි රණතුංග නම් සොඳුරු ඇයව ය. ලෙන්ගතු කතාවකින් විලාසිතා ගැන අපි බොහෝ දේ කථා කළෙමු.

මොනවද මේ දිනවල කෙරෙන්නේ ?

දෙරණ රූපවාහිනියෙ 60+ සංගීත  වැඩසටහනෙ විනිසුරුවරියක් ලෙසට  එකතුවෙන්න  ලැබීම නිසා හරිම සතුටින් එම වැඩසටහන කරගෙන යනවා. ඊට අමතර ව  ගායන කටයුතුත් කරගෙන යනවා. වෙනදට වඩා ටිකක් කාර්යබහුලයි .

ඔබ බොහොම ලස්සනට අඳින කෙනෙක් .විලාසිතා කියන්නේ මොකක් කියලද ඔබට හිතෙන්නේ ?

 විලාසිතා කියන දේ කාන්තාවන්ට විශේෂයි. ඒ වගේමයි මම හිතනවා තව කෙනෙකුගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් දැනෙන විදියට විලාසිතා කරන එක එක්තරා ආකාරයකට පින්කමක් කියලා.

ඔබ සාමාන්‍යයෙන් විලාසිතා කිරීමේ දී    සැලකිලිමත් වෙන්නේ කොයි විදිහට ද?

”‍මම තාම තරුණයි”‍ කියලා හිතේ තියාගෙන තමයි මම මට ගැලපෙනම විලාසිතා කොයි අවස්ථාවටත් තෝරාගන්නේ. පෞද්ගලිකව මම ඇඟ පේන විලාසිතා කරන්න කැමති නැති කෙනෙක්. මම සහභාගි වෙන තැන අනුව කුමන විලාසිතාවක් තෝරා ගත යුතු ද යන්න තීරණය කරනවා. ගැලපෙනම දේවල් තෝරා බේරා ගෙන විලාසිතා කරන නිසා අද වෙනකන් කිසිවෙකුගේත් සෘණාත්මක කතාබහකට ලක් වෙලා නැහැ .

විලාසිතා කිරීමේ දී නොකළ යුතු දෙයක් විදියට උඹ දකින්නේ කුමක්ද?

මම පෞද්ගලිකව හිතනවා අපි අපේ චරිත කඩාගෙන විලාසිතා නොකළ යුතුයි කියලා .

ඔබට වඩාත්ම ගැලපෙන විලාසිතාව ?

ඉන්දියානු සම්ප්‍රදායේ විලාසිතා මට ගොඩක් ගැලපෙනවා සාරිය නම් එච්චර ගැලපෙන්නේ නැහැ.(මට බොහොම පුංචි ඇඟක් තියෙන නිසා ) අම්මිත් මම සාරි අඳිනවා ට කැමති නැහැ.

විලාසිතා කිරීමේ දී වැඩිපුරම ආස පාට ?

මම ආසම පාට සුදු පාට .නමුත් ප්‍රසංග වේදිකාව දී වගේම රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේදීත් ආලෝකකරණයට අවශ්‍ය විදිහට තද පාට වලින් විලාසිතා තෝරා ගන්නවා.ඕන පාටක් මගේ ඇඟට ලස්සනයි .

ඔබ කරන විලාසිතා වලට නිහාල්ගෙන් ලැබෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද?

ඔහු නිතරම මාව අගය කරනවා .දුව යි,පුතා යිත් හරිම ආසයි මම ලස්සනට පිළිවෙලට ඇඳලා ඉන්නවට.

ඔබ කරන විලාසිතා ගැන අන් අයගේ අගය කිරීම කොහොමද?

අනේ හරිම සතුටුයි .”‍හරිම චාම් ,”‍”‍හරි ලස්සනයි”‍ කියන වචන නම් නිතර අහනවා. ඊට අමතරව සමහර අය ළඟටම ඇවිත් ඔබ කරන විලාසිතාව මමත් කරගන්නවා කියලා කියනවා .සමහර වෙලාවට මම ඇඳුම් ගන්න තැන් අහනවා. ඒ  වගේ ගොඩක් අය යහපත් ප්‍රතිචාර දක්වනවා .මම හරිම ආසයි හැමෝම ලස්සනට ඇඳල ඉන්නවා දකින්න .එ නිසා කෙනෙක් ඇහුවොත් මම ඇඳුම්  කොහෙන්ද ගත්තෙ කියලා මම ඒ අයට කියනවා. හංගන්න උත්සාහ කරන්නෙ නැහැ  කවදාවත් .

කෙනෙක්ව විලාසිතාවකින් මනින්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද ?

මම හිතන්නේ බැහැ සමහර වෙලාවට අපි අපේ කැමැත්ත අනුවම නොවේ විලාසිතා කරන්නේ සහභාගි වන තැන අනුව කරන්න තියෙන වැඬේ අනුව විලාසිතා තෝරා ගන්න සිද්ධ වෙනවා .සමහර වෙලාවට තෝරගන්න චරිත අනුව විලාසිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. එහෙම බැලු‍වහම ඇඳුමක් දිහා බලලා කෙනෙක් ව අපිට  මනින්න බැහැ .

ගැලපෙන විදිහට විලාසිතාවක් කළ විට මොන වගේ සතුටක් ද හිතට දැනෙන්නේ?

හිතට ලොකු සතුටක් වගේම ආත්ම තෘප්තියකුත්  ලැබෙනවා. ලස්සනට ඇඳලා කන්නාඩියක් ඉස්සරහට ගියහම ඒ ලබන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඇත්තටම ඒ සිතිවිල්ල තවත් අපගෙ තරුණ භාවය රැක ගන්න උදව් කරනවා.

කරන විලාසිතාවට ගැලපීම සිද්ධ කරන්නේ කොහොමද ?

සපත්තු, ජුවලරි  ,කරන විලාසිතාව අනුව ගලපා ගන්නවා. මම ගොඩක් කැමතියි රත්‍රන් පාට සපත්තු දාන්න. කොයි විදිහට විලාසිතා  කරත් මේකප් කරන්න නම් මං හරිම අකමැතියි. ලිප්ස්ටික් ටිකක් විතරයි ගාන්න කැමති. කොණ්ඩෙ ලූස් එයා දානවා. ඒක තමයි කොයි ගමනටත් ගැලපීම වෙනුවෙන් කරන්නේ නම්.

ඔබ ආභරණ පලඳින්න කැමති කෙනෙක් ද ?

බොහොම පුංචි සරල මෝස්තරේ රන් ආභරණ කිහිපයක් නම් පළඳිනවා. ඒ හැරෙන්න මම ආසම ඔරලෝසු පලදින්න. තාත්ති ඉන්නකොටත් ලෝකයේ කොයි රටකට ගියත් මට ගේන්නේ ම වටිනාම ඔරලෝසු ඒ නිසා අදටත් කීය උනත් මම ආසම ඔරලෝසු මිලදී ගන්නවා .

විලාසිතාවක් තෝරා ගැනීමේදී මුදල ගැන සැලකිලිමත්ද ?

නැහැ. මට  ගැළපෙන විලාසිතාවකට මම ගොඩක් කැමැති වුණොත් කීය වුණත් මම ඒ විලාසිතාව වෙනුවෙන් මුදල් වියදම් කරනවා.

විලාසිතා කරන්න වයස බලපානවා කියලා ඔබ හිතනව ද ?

නැහැ. මම හිතන්නේ මැරෙනකම්ම ලස්සනට අඳින්න ඕනේ කියලා. දුවක්, මවක්, බිරිඳක් කියන ජීවන වේදිකාවේ රඟ දක්වන විවිධ චරිත තවත් ලස්සන කරන්න, වටිනාකමක් දෙන්න විලාසිතාවලින් ලොකු එළියක් ලැබෙනවා

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුකරණය කරන්න උත්සාහ කරනවා ද ?

කවදාවත් නැහැ .මම කවදාවත් කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මම හැමදාම විලාසිතා කළේ මට   ගැළපෙන විදිහට .මට ඕන විදිහට නමුත් මම හැමෝම කරන විලාසිතා දිහා බොහොම ආදරෙන් බලන් ඉන්නවා. පුළුවන් හැම වෙලාවකම ඒ අයව අගය කරනවා .සමහර විලාසිතා මගේ ඇඟේ හැඩය ට ගැලපෙන්නෙ නෑ කියලා දුක් වෙන්නේත් නැහැ .

විලාසිතාවකින් අපිට ප්‍රතිරූපයක් මවා ගත හැකි යි කියලා ඔබ හිතනවාද ?

විලාසිතාවකින් වෙන්නේ අපි ගොඩනඟා ගත්ත ප්‍රතිරූපයට තව පොඩි එලියක් ලැබෙන එක විතරයි .

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය කොහොමද මතකයේ තියෙන්නෙ ?

පුංචි කාලේ මම බෝනික්කෙක් වගේ ලස්සනයිලු‍ .මගේ නැන්දලා ට (තාත්තිගේ නංගිලාට) හරිම ලස්සනට ඇඳුම් මහන්න පුළුවන්. එයාලා ඉතින් ලස්සන ලස්සන ඇඳුම්  මහලා මට අන්දවලා මාව  බෝනික්කෙක් වගේ ලස්සනට හැඩ කරනවා. ඉස්සර මම හරිම ආසයි මේකප් කරගෙන කණ්නාඩි ඉස්සරහට වෙලා හැඩ බලන්න .අම්මියි, තාත්තිත් මට කොහේ ගියත් මාව එතැනට ගැළපෙන විදිහට බොහෝම ලස්සනට එක්කන් ගියා  කියන එක මතකයි .කොහොමටත් මම පුංචි කාලේ ඉඳලාම හරිම ලස්සනට අඳින්න ආස කෙනෙක් .....ඒ ආභාෂය මට ලැබෙන්න ඇත්තේ මගේ  අම්මි ගෙන් .....අදටත් ඇය බොහොම ලස්සනට පිලිවෙලට පිරිසිදුව ඉන්න කෙනෙක්.

අසුන්තා එදිරිසූරිය