මම හිතන්නෙ කලා ලෝකයේ ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගත කරන යුවළක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍ය පෙළ විභාගයේ දී සියලුම විෂයයන් වෙනුවෙන් විශිෂ්ට සමාර්ථ (D) ලබාගත් ඔහු උසස් පෙළ සමත් වූයේ ද විශිෂ්ට සමාර්ථ සමගය. එලෙසින් උසස් පෙළ සමත් වී මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත්ව සිටිය දී පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාව බලා ගිය ඔහු උපාධි තෙක් උසස් අධ්‍යාපනය ලැබුවේ එහි සිටය. පසුව phd (දර්ශන ආචාර්ය) උපාධිය දක්වා හදාරා ඇති ඔහු ආචාර්ය ලක්ෂිත සූරියසේනය. හේ අන් කවරකුවත් නොව ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයේ සදාදරණීය චරිතයක් වන ප්‍රියා සූරියසේන ප්‍රවීණයාගේ පුතණුවන්ය. ගීතයෙන් සංගීතයෙන් සුවහසක් දෙනා හට ආදරණීය රසයක් ගෙන දුන්, ප්‍රියාදර ප්‍රියා සූරියසේනයන් හට අධ්‍යාපනයෙන් ඉහළටම ගිය ඔහුගේ පුතු ගැන කොතරම් නම් අභිමානයක් සතුටක් ඇති ද? ඕනෑම මවක හෝ පියකු දරුවකු වෙතින් ලබන ඉහළම සතුට වන්නේ එයම නොවේ ද? අද තාත්තයි - පුතයි විශේෂාංගය හැඩ කිරීමට අප ඇරයුම් කළේ ප්‍රියා සූරියසේන ප්‍රවීණයාගේ පුතු ආචාර්ය ලක්ෂිත සූරියසේන හටය.

ලක්ෂිත, සම්පූර්ණ නම ?

ලක්ෂිත සූරියසේන ලියනගේ. අපේ අප්පච්චි භාවිත කරන්නේ සූරියසේන කොටස විතරයි. අප්පච්චිගේ නම අන්තිමට ලියනගේ ලෙස යෙදෙන්නෙ.

ලක්ෂිත ඉගෙන ගත්තෙ?

පළමු පන්තියේ සිට උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. පසුව මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. එහි වසරක් විතර සිටියදී තමයි ඇමරිකාවේ සරසවියකින් පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණෙ. ගුවන් ප්‍රවේශ පත්‍රය පවා ලබා දුන්නේ ඒ සරසවියෙන්. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයෙන් සහ භෞතික විද්‍යා අංශයෙන් උපාධි ලැබුවා.

ඒ කියන්නේ එක්වර උපාධි දෙකකටම හිමිකම් ලැබූ චරිතයක් ?

උපාධි දෙකක් ලැබුවා.

ආචාර්ය උපාධිය නිම කළේ?

ස්ටැන්ෆර්ඩ් සරසවියෙන්.

ලෝකයට හොඳ උගතුන් බිහිකළ ලෝ ප්‍රකට සරසවියක් නේද?

ඔව්. ‘සිලිකන්වැලි’ නිම්නයේ සිටින විශිෂ්ටයින් බොහෝමයක් ඉගෙන ගෙන තිබෙන්නේ ස්ටැන්ෆර්ඩ් සරසවියෙන්. එහිදී මම ඉගෙන ගත්තේ නැනෝ තාක්ෂණ විද්‍යා අංශයෙන්. ඉන්පසුව මෙම අංශයේ රැකියා කළා. ඉන්ටෙල් ආයතනයෙත් සේවය කළා. දැන් නැවත කොළරාඩෝවල ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ලෙස සේවය කරනවා.

ඇමරිකාවට ගිහින් කොච්චර කල් වෙනවද ?

අවුරුදු 20 ක් විතර වෙනවා. එළැඹෙන අගෝස්තු  මාසයේ දී නැවත ලංකාවේ පදිංචියට එන්න හිතාගෙන ඉන්නෙ.

ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔබට ලෝකයෙන් මෙච්චර ඉල්ලුමක් තිබියදී බොහෝ දෙනෙක් ලංකාව දාලා යද්දී ඇයි ඔබ එන්න හදන්නේ?

ලංකාවෙන් ඈත් වෙලා කාලයක් ජීවත් වුණානේ. අම්මයි, අප්පච්චියි ළඟින් සිටිය යුතු කාලය වගේම ඒ දෙන්නට ළඟට වෙලා උදව් කළ යුතු කාලය කියලා මම හිතනවා. ඒ වගේම අප්පච්චිගේ ගීත වලට සෑහෙන ඉල්ලුමක් තියෙන්නේ. අසනීප තත්ත්වය නිසා අප්පච්චි වේදිකාවට එන්නෙ නැහැ. ඉතින් අප්පච්චිගෙ ගීතවලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඒ ගැනත් හිතන්න කාලය දැන් හරී. බොහෝ දෙනෙක් මගෙන් අහන්නෙ ඇයි අප්පච්චි දැන් සිංදු කියන්නේ නැද්ද? ඔයා කිව්වොත් හොඳයි නේද? කියලයි. ඊට අමතරව අපි ලංකාවෙ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගත් නිසා මම උගත් දැනුම ලංකාවට ලබා දෙන්න ඕනෑ. නැනෝ ඉලෙක්ට්‍රොනික අංශයෙන් ලංකාවට බොහෝ දුරක් යෑමට අවශ්‍ය සේවය ලබා දීමට හිතාගෙන ඉන්නෙ. ලංකාවේ සරසවියක ආචාර්යවරයකු ලෙස සේවය කරන අතරේ ඒ ඉලක්කයට අපට යන්න පුළුවනි. හැමෝම එන්න එපා කිව්වට මම එන්න හදන්නෙ ලංකාවට සේවය කරන්න තියෙන කැමැත්තෙන්.

ලක්ෂිත විවාහකයි ද?

ඔව්. මගේ බිරිඳත් මොරටු සරසවියේ. ඇයගේ පශ්චාත් උපාධියට මේ දිනවල මෙහේ ඇවිත් ඉගෙන ගනිමින් ඉන්නෙ. අපට අවුරුද්දක් වයසැති සිඟිති පුතකු ඉන්නවා.

ගෙවී ගිය කාලයේදී අප්පච්චි ඇමෙරිකාවට එහෙම ආවද?

2020 ට කලින් ඇවිත් ගියා. එදා අපි දෙන්නම කැනඩාවේ ප්‍රසංගයක දී ගී ගැයුවා.

ලක්ෂිත පවුලේ කී වැනිය ද?

මම තුන්වැනියා, අක්කලා දෙන්නයි, මමයි නංගියි ?

තාත්තා ගැන නැත්නම් ඔබගෙ අප්පච්චි ගැන මුල්ම මතකය නැගෙන්න?

මගේ පොඩිම කාලයේ දී මට මතකයි අප්පච්චි සර්පිනාව වයමින් ගෙදර සංගීත කටයුතු කළ හැටි. අපි ඒ දිහා බලා සිටියා. තනු නිර්මාණය කරමින් ඒවා සටහන් කර ගන්නා හැටි දුටුවට ඒ මොනවද කරන්නෙ කියලා වැටහුණේ නැහැ. අප්පච්චිගෙ බොහෝ නිර්මාණවලට යොදාගන්නේ අප්පච්චිගෙ සංගීතය. ඒක සුවිශේෂී දෙයක් වග අපි පසුව වටහා ගත්තෙ.

අප්පච්චිට ඔබ කෙතරම් සමීපද? ඔබට ඒ කාලයේ දඟවැඩවලට දඬුවම් දීලාත් ඇති?

මම දඟ චරිතයක් වුණේ නැහැ. අප්පච්චියි මමයි හරිම සමීපයි. අප්පච්චි ක්‍රීඩාවලට හරිම ලැදි චරිතයක්. අපි පොඩි කාලයේදී අපි එක්ක වොලිබෝල්, ෆුට්බෝල් ක්‍රීඩා කළා. සතියකට වතාවක් අපි කට්ටිය එක්කගෙන ගල්කිස්සෙ මුහුදු වෙරළට ගිහින් සෙල්ලම් කළා. මුහුදේ නෑව හැටි තාම මතකයි. ඒ විදියට අප්පච්චි අපට බෙහෙවින් සමීප චරිතයක්.

ඒ කාලයේ ඇත්තටම හරිම සුන්දරයි. ප්‍රසංගවලට යද්දී අප්පච්චි තනියම ගියේ නැහැ. අපි පවුලම එක්කගෙන ගියා. ඒ දවසට අපට හරි සතුටුයි. වාහනයේ දාගෙන යද්දී අපට මගදී කෑම අරන් දුන්නා. නුවර ෂෝ එක ඉවර වෙලා ඊළඟට මාතර ගිහින් තවත් කොහේ හරි ගිහින් ගෙදර ආවේ. අප්පච්චි ගිය සංගීත ප්‍රසංග වුණත් ඒවා පවුලේ සංචාර බවට පත්කර ගත්තා. ඉතින් ඒ කාලය ඇත්තටම අදටත් සුන්දරයි. අප්පච්චිගෙ නම කියනවා. ස්ටේජ් එකට නගිනවා, එතැනින් තව ප්‍රසංගයකට යනවා. ඒවා හරිම සුන්දර මතකයන්. සමහරදාට කොහේ හරි නතර වෙනවා.

‘අම්මයි - අප්පච්චියි’ අතර බැඳීම මොන වගේද?

ඉතාම හොඳ, ඉතාම ආදර්ශවත් පවුල් ජීවිතයක්. මම හිතන්නෙ කලා ලෝකයේ ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගත කරන යුවළක්. අම්මා පංසල් ගියත්, අප්පච්චි කීයට හරි කෑම කන්නෙ අම්මා ආවාම. අපි කෑම කන්න කියලා කියද්දිත් ඔයගොල්ලො කන්නකො, මම පස්සෙ කන්නම් කියනවා. අම්මයි අප්පච්චියි විවාහ වෙලා තියෙන්නේ ප්‍රේම සම්බන්ධයකින්. විවාහ වෙලා අවුරුදු හතළිස් ගණනක් වෙනවා. ඉතාම ආදර්ශවත් බැඳීමක්. හරිම ආදරණීය යුවළක්.

අප්පච්චිගෙන් ඔබ කුඩා කාලයේදී උගත් හොඳම දේ?

මගේ පොඩිම කාලයේදී මට මතකයි, අප්පච්චිට කෙනෙක්ගෙන් ඇමතුමක් ආවා. එයා මිනීපෙට්ටි සාප්පුවක කෙනෙක්. ‘අයියෝ අප්පච්චි ෂෝ එකට ආරාධනා කළේ මිනී පෙට්ටි සාප්පුවක කෙනෙක්ද? අයියෝ වැඩක් නැහැනෙ කියලා මම කිව්වා. ‘එහෙම කියන්න එපා සෑම කෙනෙකුගේම රස්සාව හරිම වැදගත්. අපි මැරුණාම අපිව පෙට්ටියක දාලා සකසන්නෙ එයාලනෙ කිව්වා. ඒ රස්සාව කොච්චර වැදගත් ද කියලා කිව්වා. එදා මගේ පොඩි මනසට  ඒ අදහස ලොකු බලපෑමක් කළේ. මිනිස්සුන්ට තරාතිරම නොබලා තනතුර නොබලා ගරු කරන හැටි මම ඉගෙන ගත්තෙ එදා අපේ අප්පච්චිගෙන්. අප්පච්චි අපට නිතර ඔවදන් දුන්නෙ නැහැ. ක්‍රියාවෙන් යහපත් දේ ගැන වටහා දුන්නා. අප්පච්චි කවුරුවත් වෙන්කරලා ඇසුරු කළේ නැහැ. සැම තරා තිරමක අය ඇසුරු කළා.

කලා ලෝකයේ අප්පච්චිගෙ හොඳම යාළුවො  වුණේ?

මිල්ටන් අංකල් සහ ක්ලැරන්ස් අංකල්. අපි අප්පච්චි එක්ක ඒ ගෙවල්වල ගියා. රනිල් අයියා, අපි එහෙම හරි එකතුයි. රනිල්ගෙ අම්මා ස්ව්ර්ණා ඇන්ටි සහ අපේ අම්මා හරි යාළුයි. ඒ වගේම නිරංජලා ඇන්ටි සහ අබේව්ර්ධන අංකල්ගෙ ගෙදර ගියා. ඒ විදියට සෑහෙන පිරිසක් එක්ක තාත්තා මිත්‍රශීලියි.

අප්පච්චි කෙරෙහි ලොකුම ගෞරවයක් ඔබට ඇති වූ අවස්ථාව සිහිපත් කළොත්?

අර එදා මට මිනිස්සු වර්ග කරන්න එපා කියලා ඔවදන් දුන්න දවස. ඒක කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ.

මොන වගේ තෑගිද අප්පච්චි ඔබට එදා ගෙනැල්ලා දුන්නෙ?

මම කොහොමටත් ඉලෙක්ට්‍රොනික් මෙවලම්වලට ආසා කළ නිසා ෂෝ වලට ගිහින් එද්දී අප්පච්චි මට කාර් එහෙම ගෙනැල්ලා දුන්නා. මම ඉතින් ඒවා එක්ක සෙල්ලම් කරද්දී ඒවා කැඩුවා, හැදුවා. ඉලෙක්ට්‍රොනික අංශයට හිත ගියෙත් ඒ වගේ දේ නිසයි.

ඉගෙනීම් කරන්න කියලා බලපෑම් කළාද?

කවදාවත් නැහැ. අම්මයි, අප්පච්චියි කටයුතු කළේ සංගීත ගුරුවරු විදියට. අපි කාටවත් සංගීතය කරන්න කියලාවත් බලපෑම් කළේ නැහැ. ඔයාලා කැමති ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒ අංශයෙන් ඉහළටම යන්න කියලා තමයි කිව්වෙ. ඉගෙනීම් කරගෙන යන්න අම්මත් අපට බොහෝම උදවු කළා.

සා/පෙළ  'D'-10 ක් උසස් පෙළ A සමාර්ථ ගත්තාම අප්පච්චි කොහොමද සතුට ප්‍රකාශ කළේ?

අප්පච්චි ගොඩාක් සතුටු වුණා. ඒත් ඕනෑම දෙයකින් සීමාව ඉක්මවා ගිහින් අප්පච්චි හැසිරිලා නැහැ. මතුපිටින් පෙන්නනවාට වඩා අප්පච්චි නිහඬව ඒ සතුට බුක්ති විඳි කෙනෙක්. හොඳයි හොඳටම හොඳයි කියලා පිටට තට්ටුවක් දැම්මා. ‘අප්පච්චිටත් හරිම සතුටුයි, හරිම ෂෝක් කියලා.’ අම්මා තමයි ප්‍රකාශ කළේ.

අප්පච්චි ගැන ඔබ ගීතයක් නිර්මාණය කර ඇති වගක් දැන ගන්න ලැබුණා?

ඔව්, ඒක පිය පුතු සෙනෙහස ගැන ප්‍රකාශ වෙන ගීතයක්.
පිය සෙනෙහස ඇයි දෝරේ ගලන්නේ
මව මෙන් නැහැ ඔබ කඳුළු සලන්නේ.
සිරුරේ දා බිඳු රහස් කියන්නේ.
මතු භවයෙත් මා ඔබව පතන්නේ...
මේ ගීතය මම නිර්මාණය කළේ 2019 දී. එය මියුසික් වීඩියෝවක් ලෙස මේ අගෝස්තුවේ ලංකාවට ආවාම එළිදක්වන්න හිතාගෙන ඉන්නේ.

සඳුන් ගමගේ