මම හිතන විදිහට ජීවිතය කියන්නෙ හරිම සුන්දර දෙයක්. ඒ වටපිටාව හදාගන්න ඕනෑ අපිමයි
“මේ ‘ඇස්’ නාට්‍යයේ රඟපාද්දි මට මතක් වෙන්නෙ මගේ පාසල් කාලයයි. පාසල් ජීවිතයට සමු දීලා ගොඩක් කල් නෙවෙයි. ඒ නිසාම ‘ඇස්’ නාට්‍යයේ ජෙනීගෙ චරිතය ගොඩනගාගන්න මට ලොකු පහසුවක් වුණා. කොහොම වුණත් ජෙනීගෙ චරිතය නිර්මාණය කළේ හසුන් සමීර අයියා.”
මේ විදිහට කියන මේ සුන්දර ශිල්පිනිය ‘ඇස්’ නාට්‍යයේ සහ ‘කෝලම් කුට්ටම’ නාට්‍යයේ චරිතයත් සමග හමුවන ගෙනීෂා දිල්රුක්ෂි දන්දෙනියයි. සුන්දර පෙනුම වගේම ඇයගේ අදහසුත් හොඳයි කියලා තමයි ක්ෂේත්රයේ අය කියන්නේ. ඉතින් අපි බලමු කවුද මේ සුන්දර ශිල්පිනිය කියලා.
ගෙනීෂා දිල්රුක්ෂි දන්දෙනිය. ඔබට තවත් නම් තියෙනවා ද?
“මගේ නම ගෙනීෂා දිල්රුක්ෂි දන්දෙනිය. ගෙනීෂා දිල්රුක්ෂි කියලා තමයි කතා කරන්නේ. නමුත් යාළුවොත් කතා කරන්නේ ‘ජෙනී’ කියලයි. ෆීල්ඩ් එකේ අයත්, යාළුවොත් මාව දන්නෙ ‘ජෙනී’ කියලයි.”
ඔබ වඩා කැමැති?
“ජෙනී කියනවාට ආසයි. පාසල් කාලයේ සිටම යාළුවෝ මට කතා කළ නිසා ඒ නම මට සමීපයි. ක්ෂේත්රයේ අය ජෙනී කියන්න පටන් ගත්තේ ‘ඇස්’ නිසයි. ඇස් එකේ මගේ චරිතය ජෙනී.”
කවුද මේ ජෙනී?
“මගේ ගම බුලත්සිංහල. දැනට පදිංචිය පිටකෝට්ටේ. මම සා/පෙළ දක්වා ඉගෙන ගත්තෙ ගමේ පාසලෙන්, බෝතලේගම මහා විද්‍යාලයෙන්. ඒ/ලෙවල් කළේ හොරණ දොන් ප්රේදික් මධ්‍ය මහා විද්‍යාලයෙන්. අපේ පවුලේ මමයි, අම්මයි, අප්පච්චියි, මගේ නංගියි. අම්මා ගෘහණියක්. තාත්තා අපේ ඉඩකඩම් බලාකියාගෙන ඉන්නවා. සුන්දර පළාතක්. පරෙවිතොට, පාහියංගල, ඉංගිරිය, කළුවල ඒ වගේ හරිම ලස්සන තැන් තියෙනවා.”
ජෙනීගෙ අරමුණ වුණේ?
“පාසල් යන කාලයේ මගේ එකම අරමුණ වුණේ සරසවි යන්න. නර්තනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ තුන් පාරක් ලබාගත්තා. නර්තන ගුරුවරියක් වීමේ හීනය ඇති කළේ අපේ පාසලේ නර්තන ආචාර්යවරියයි. ඇයගේ නම කුමාරි ගුණරත්න. බොහොම ආදරයෙන් මම ඇයව මතක් කරනවා. ඒ වගේම දොන් ප්රේදික් පාසලේ ඉන්දුනී ගුරු මෑණියන්වත් ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.”
එතකොට ජෙනී දැන් නර්තන ගුරුවරියක් ද?
“උසස් පෙළ කළේ කලා අංශයෙන්. දොන් ප්රේදික් පාසලට ආවෙම අපේ ගමේ ඉස්කෝලෙ හිටපු නර්තන ගුරුවරියගෙ සහෝදරිය සිටි නිසා. ඇයත් නර්තන ගුරුවරියක්. ඒත් සරසවි සිහිනය මගහැරුණා.”
ඊට පස්සේ?
“මගේම ව්‍යාපාරයක් ලෙස රූපලාවන්‍ය ශිල්පිනියක් වී යමක් කරන්න අරමුණු කරගත්තා. ඒ/ලෙවල්වලින් පසුව NVQ-4 දක්වා රූපලාවන්‍ය පාඨමාලාව කළා. පසුව ගෙදර සිට රූපලාවන්‍ය වැඩකටයුතු පටන් ගත්තා. ඒ කාලයේදී නිරූපණයෙන් ෆොටෝ ෂූටින්වලටත් සම්බන්ධ වුණා. පටන් ගත්තෙ ඒ විදිහට.”
අද ඔබ රඟපානවා. කොහොම ද ඒකට සම්බන්ධ වුණේ?
“ෆොටෝ ෂූට්ෂ්වලට දිගටම පෙනී සිටියදී නිරූපණය නිකම්ම කරලා හරියන්නෙ නැහැ, හදාරන්න ඕනෑ කියලා හිතුවා. එහෙම හිතලා ලීසා පෙරේරා මහත්මිය පවත්වපු ශ්‍රී ලංකා Next to Model තරගයට සහභාගි වුණා. ඒ පැජන්ට් එක ගැන මාව දැනුවත් කළේ, විස්තර ලබා දුන්නේ දසුන් විජේසිංහ අයියා. එම තරගයේ දෙවැනි ස්ථානය ලැබුණෙ මට. මගේ කලා ජීවිතයේ හැරැවුම ඇති වුණේ එයින් පසුවයි. ඒ ගමන එන්න මගේ පවුලේ උදවිය වගේම ලලිත් පැරකුම් සර් මට හරියට උදව් කළා. කලා ක්ෂේත්රයේ විවිධ අංශවල අය හඳුනා ගන්න පුළුවන් වුණේ මේ පැජන්ට් එක නිසයි.”
එතකොට රඟපෑමට මුලින්ම සම්බන්ධ වුණේ?
“ප්‍රියා විජේරත්න කියන මගේ මිතුරිය මම හඳුනා ගත්තෙ ෆේස්බුක් නිසයි. ඒ හඳුනා ගැනීමත් එක්ක එයාලා කැම්පස් එකේ නිර්මාණයකට මට ආරාධනා කළා. එයාලට හොඳ කණ්ඩායමක් හිටියා. ඒ පිරිස එකතු වෙලා කළ නිර්මාණයෙන් තමයි මගේ ගමන පටන් ගත්තේ. ඒක යූටියුබ් එකට කළ සීරිස් එකක්. ෆාතිමා කියන චරිතය එයාලා මට ලබා දුන්නා. ඒ තමයි මගේ රංගනයේ ආරම්භය. රංගන ශිල්පිනියක වීමේ ආසාව තිබුණත් මට අවශ්‍ය වුණේ රංගනය ගැන යම් තරමකට හෝ හදාරලා එන්න. ඒ විදිහට සිටියදී තමයි ඒ අවස්ථාව මට ලැබුණේ. එහිදී මුණගැසුණු සබඳතා එක්ක නිර්මාණවලට දායක වීමේ අවස්ථාව ලැබුණා. ඒ ආ ගමනේදී ධනුෂි දිසානායක සහ තනුජාවි විජේවික්‍රම, දමින්ද නන්දරත්න, ජනිදු ජයංගන මගේ ගමනට උදව් කළා. ඒ කියන්නේ මගේ පළමු රංගන අත්දැකීම සාර්ථක කරගන්න එයාලා නිසා පුළුවන් වුණා. එයාලා ඔක්කෝම ආදරයෙන් සිහිපත් කරන්න ඕනෑ.”
ටෙලිනාට්‍යයක රඟපෑ පළමු රංගනය?
“ඉරේෂ් ලොකුබණ්ඩාර අයියාගෙ ටෙලිනාට්‍යයක. ඒකෙ නම ‘වරමද්ද’. එය විකාශයට නියමිතයි. දෙවැනියට සම්බන්ධ වුණේ ‘ඇස්’ නාට්‍යයට.”
හරි, අපි ‘ඇස්’ ගැන කතා කරමු?
“ඒකෙ මගේ නම ජෙනී.”
කොහොම ද ජෙනීට ලැබෙන ප්‍රතිචාර?
“හොඳයි. පාසල් ජීවිතයට සමු දීලා ටික කාලයයි. ඒත් ජෙනී රඟපාද්දි මට දැනුණේ ආයෙත් පාසල් සමයට ගියා වගෙයි.”
ජෙනී ටික් කෑදරයි නේද?
“එහෙමම නැහැ. ‘ඇස්’ නාට්‍යයේ ජෙනී හොඳ යෙහෙළියක්. එයාගෙ අනෙක් යෙහෙළියන්ට වඩාත් සමීප කෙනෙක්. ටිකක් දඟකාරයි. නිතරම පිරිමි ළමුන් එක්ක පැටලෙන්න යන කෙනෙක්. මගේ පාසල් ජීවිතයේදීත් මම සැබෑවටම එහෙම කෙනෙක් වුණා.”
එතකොට අදත් කොල්ලො එක්ක පැටලෙනවා ද?
“අපෝ දැන් නම් නැහැ.”
ජෙනී කොහොම කෙනෙක් ද?
“මම සැබෑ ජීවිතයේදී බොහොම ආදරණීය කෙනෙක්. ආදරණීයයන්ට හරිම ආදරෙයි. සතුන්ට බොහොම ආදරෙයි. හැබැයි ටිකක් සැරයි. ඉක්මනට සමහර වෙලාවල්වලදී කේන්ති යන කෙනෙක් සහ හරිම සරල කෙනෙක්.”
කිව්වනෙ ආදරණීය කෙනෙක් කියලා. කොහොම ද ජෙනීගෙ ආදරේ?
“ඔව්, මම ආදරවන්තියක්. ඉතාම සුන්දරව ගෙවීගෙන යනවා.”
ජෙනී ලස්සනයි කියලා නේද හැමෝම කියන්නේ?
“ඔව්. හිත ලස්සන වුණාම අපිත් ලස්සනයි. මගේ ආදරේ මට ලොකු සහයෝගයක් ලබා දෙන්නේ. ඒ තේරුම් ගැනීම මට හරි වැදගත්. නවකයකු ලෙස මට ඉදිරියට යන්න මගේ ආදරෙන් ලැබෙන තේරුම් ගැනීම හරි වැදගත්.”
මේ දිනවල ‘ඇස්’ නාට්‍යයේ ජෙනීගෙ චරිතය විතර ද?
“නැහැ, සවර්ණවාහිනියේම විකාශය වන කෝලම් කුට්ටම නාට්‍යයේ ‘දිල්රුක්ෂි’ ලෙස රඟපානවා. ‘ඇස්’ නාට්‍යයේ මගේම නම වූ ජෙනී ලෙසත්, ඊළඟට මගේ නමේ ඉතිරි කෑල්ල වන දිල්රුක්ෂි ලෙස ‘කෝලම් කුට්ටමේ’ රඟපාන්න ලැබීමත් ලොකු සතුටක්. ඒ චරිත දෙක එකකට එකක් හාත්පස වෙනස්.”
ජෙනීෂා හෙවත් ජෙනී අවංක චරිතයක් ද?
“ඔව්, බොහොම අවංක කෙනෙක්.”
ජෙනීට ජීවිතය ගැන හිතෙන්නෙ?
“මම හිතන විදිහට ජීවිතය කියන්නෙ හරිම සුන්දර දෙයක්. ඒ වටපිටාව හදාගන්න ඕනෑ අපිමයි. ඒක හරියට සංචාරයක්, චාරිකාවක් වගෙයි. ඒ සංචාරය සුන්දර හෝ අසුන්දර වෙන්නෙ අපි යන්න තෝරාගත් පාරවල් අනුවයි. ඒ සංචාරයට මුහුණ දෙන්න අපට ශක්තිමත් මනසක් තියෙන්න ඕනෑ.”
සඳුන් ගමගේ