මම හිතන විදියට, මේ වෙලාවෙ මිනිස්සු බොහෝ දෙනෙක් මානසික පීඩනයකට අසුවෙලා ඉන්නෙ
ඔහුගේ නම, කෝරළේ ගෙදර සමන්ය. නමුත් කලා ක්ෂේත්රයේදී ඔහුගේ නම භාවිතා වන්නේ, කෝරළගේ සමන් ලෙසය. කෝරළගේ සමන් යනු මෙරට නාට්‍ය වේදිකාවට මෙන්ම සිනමාවට සහ ටෙලි ක්ෂේත්රයට අමුත්තකු නොවෙයි. නිතර ප්‍රේක්ෂකයෝ අතර ඔහුගේ නම කියැවුණේ නැතත් චරිතාංග රංගනයෙන් විවිධ චරිත ඔස්සේ හමුවන සම්මානනීය රංග ශිල්පියෙකි. මේ දිනවල කෝරළගේ සමන් ගැන වැඩි දෙනා කතා වන්නේ පාරදිගේ නාට්‍යයේ ‘සිකුරා’ නිසාය. ඔහුගේ මෙතෙක් ආ රංගන දිවියේ බොහෝ දෙනා අතරට යාමට සිකුරා ලැබූ ‘සිකුරා’ ගේ චරිතයට සාපේක්ෂව අපි කෝරළගේ සමන් එක්ක අපූරු පිළිසඳරක යෙදෙමු.
කෝරළගේ, කෝරළේගෙදර කොයි පළාතෙද තියෙන්නේ?
ඒක අපේ අප්පච්චිගෙ ගම. නුවර තියෙන්නෙ. නමුත් අපේ ගම කොත්මලේ.
කෝරළගේ සමන්, කියන්නකො මේ දිනවල වැඩ කටයුතු ගැන?
වැඩ කටයුතු නම් බොහොමයක් කරන්න තිබුණත්, රටේ පවතින තත්ත්වය එක්ක තරමක් අඩපණ වෙලා තිබෙන්නෙ. බොහෝ වැඩ කල් ගියා.
වෘත්තියෙන් රඟපෑම විතරද කරන්නෙ?
වෘත්තියෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ගුරුවරයකු ලෙසත් කටයුතු කරනවා. මොකද මීට කළකට පෙරදි අපේ රටේ කලා ක්ෂේත්රය බොහොම සක්‍රියව, වටිනාකමක් එක්ක විකාශය වුණත්, පසුව බලපෑ ආර්ථික හා සමාජීයීය වටපිටාව එක්ක, කලාව විතරක් කරගෙන යාමේ නිදහස් අඩුවුණා. කලාව කරන්න නම් හොඳ නිදහස් පරිසරයක් වගේම, නිදහස් මනසක් තිබිය යුතුයි. එහෙම නැතුව කලාවට හොඳම පදාර්ථය දෙන්නත් බැහැ. ඒ වගේම කලාව මතම රැඳෙන්නත් බැහැ. තවත් වෘත්තීන් දෙක තුනක්වත් කරන්න වෙනවා. සෑම ක්ෂේත්රයකම විදිය එහෙමයි. ඒකට හේතුව රටේ දේශපාලන හා ආර්ථික යන කාරණා නිසයි.
කොහොම වුනත් ඉස්සර නළුවා කිව්වාම. බොහෝ විට ලස්සන සහ කඩවසම් පෙනුම තමයි බොහෝ විට මුල් වුණේ. ඒත් අද ඊට වඩා වෙනස් නේද? පෙනුමට වඩා දක්ෂතාවයට නේද තැන?
මට හිතෙන්නෙ නම් මේ ක්ෂේත්රය ඇතුළෙ පුහුණුවක්, පළපුරුද්දක් ඇති බොහෝ දෙනා සිටිනවා. ඒ අය හරියට වැඩ කරන්න උත්සාහ ගන්නවා. පියරු බබාලා වගේ එන්න පුළුවන්. ඒත් පවතින්නෙ නැහැ. පුහුණුව සහ පළපුරුද්ද එක්ක එන අයට හැඩය පසුව හදාගන්න පුළුවනි. එහෙම නැතුව බාහිර පෙනුම විතරක් තියාගෙන, අභ්‍යන්තරය හිස්ව ඇවිත්, අපට ඒ විෂය ඇතුළේ ජීවත් වෙන්න බැහැ.
අද කෝරළගේ සමන් ගැන පාරදිගේ ‘සිකුරා’ නිසා බොහෝ දෙනා කතා කළත් කෝරළගේ සමන් ඊට පෙර කළ බොහෝ දේ තියෙනවනේ. අපි ඒ අතීතය ටිකක් මතක් කරමු නේද?
සම්පූර්ණ වශයෙන් ගත්තොත් මගේ ගමනට සෑහෙන කාලයක් වෙනවා. එහිදී මුල පිරුවේ වේදිකාවේ, වේදිකා කළමනාකරණ අංශයෙන්. ඉන්පසුව මම නිල නාට්‍ය දෙකකට රාජ්‍ය සම්මාන සහ යෞවන සම්මාන හිමිවුණා. එය හොඳම නිෂ්පාදනය වුණා. ඉන්පසුව හෙන්රි ජයසේන ශූරීන්, ඉන්දික ෆර්ඩිනැන්ඩු, තුසිත ලක්නාත් ඇතුළු සෑහෙන නිර්මාණකරුවන් පිරිසක් එක්ක වැඩ කළා. ඒ අතරේ චරිත බොහොමයකටත් දායක වුණා. වේදිකාවට අමතරව මේ දක්වා ටෙලිනාට්‍ය 50 කට විතර දායක වෙලා තියෙනවා. පසුගිය කාලයේ විකාශය වූ මෙට්‍රෝ හීන, තුම්පනේ, අඳුන්ගිර ප්‍රධාන වූ චරිත රඟපෑවා. තව ටෙලිනාට්‍ය කීපයක්ම විකාශයටත් පෙළගැසී තියෙනවා. සිනමා රංගනය ගැන කතා කළොත් මම දායක වූ චිත්‍රපට හතක් විතර එන්න තියෙනවා.
අපි පාරදිගේ ‘සිකුරා’ ගැන කතා කරමු. සිකුරා නිසා මේ දිනවල කෝරළගේ සමන්ගෙ චරිතාංග රංගනයට සිකුරා ලබලා වගෙයි නේද? එච්චරටම ප්‍රතිචාර නේද?
මම හිතන විදියට, මේ වෙලාවෙ මිනිස්සු බොහෝ දෙනෙක් මානසික පීඩනයකට අසුවෙලා ඉන්නෙ. සිකුරා කියන මේ චරිතය ඇතුළෙ ඇති සමහර දේ මිනිසුන්ගෙ අභ්‍යන්තරයෙ තියෙන දේවල්. ඒ අභ්‍යන්තර ලක්ෂණ සහ මනෝභාවයන් චරිත වෙතින් නිරූපණය වෙද්දි මිනිස්සු ආදරයෙන් ඒ චරිත වැළඳ ගන්නවා. ‘සිකුරා’ කියන්නෙ බොහොම සරලව සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කෙනෙක්.
ඩාලිං ඩාලිං මට දැන් එපා
වෙලා ඉන්නෙ ඩාලිං
සල්ලි කීයක් හරි දෙනවද
සල්ලි ටිකක් පේන්න
තියාගන්නොන ඩාලිං...
බන්දටවත් කාටවත්
සෙකන්ඩ් වෙන්නෝනැනෙ ඩාලිං....
සිකුරාගේ ඒ වචන දිහාම බලන්න.
‘සිකුරා’ මිය ගිහින් මිනී පෙට්ටියෙ ඉන්න වෙනවා. මේ දර්ශන රූගත කරද්දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා. ඒවාට සමහරු බැනලත් තිබුණා නේද? ඇත්තටමත් සමහරු මේ විදියට ෆොටෝස් අරන් සමාජ මාධ්‍යයේ පළකිරීම ඔබ දකින්නෙ මොන විදියටද?
මේ නාට්‍ය බලලවත්, මිනිස්සු අවබෝධ කරගත්තොත් හොඳයි මේ සමාජය ඇතුළෙ මේ වගේ දේ වෙනවාය කියලා. මීට වඩා අතිශය දරුණු දේත් සමාජය ඇතුළෙ වෙනවා. නමුත් මේක ගත්තොත් නාට්‍යයක්, ඒ නාට්‍ය ඇතුළේ කතාවට අනුව අපිට කළ යුතු බොහෝ දේ කරන්න වෙනවා. ප්‍රේක්ෂකයින් එය අවබෝධ කරගන්නවා නම් හොඳයි.
ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය ඔබ දකින්නෙ මොන විදියට ද? සමාජයට හොඳද? නරකද වෙන්නෙ?
මම හිතන්නෙ හොඳ නරක දෙකටම මැදි වූ තැනක් අල්ලා ගන්න පුළුවනි. කොහොම වුනත් මිනිහෙකුට බුද්ධිය හදාගන්න පුළුවන් හොඳම තැනක්.
‘කෝරළගේ සමන්’ කියන චරිතය මොන වගේද?
බොහෝම සන්තෝෂයෙන් ඉන්න කැමැති කෙනෙක්. මගේ ආසම දේ මිනිස්සු හම්බ කිරීමයි. හතර වටේ ඇවිදින්න කැමැති කෙනෙක්. එක තැනක ඉන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. යන්න ඕනෑ හැම තැනකම යන්න ආසයි.
කැම්පස් එකෙන් ආ චරිතයක් ලෙස, ගත්තොත්, එදා කැම්පස් ජීවිතේදී තිබුණෙ මොන වගේ අරමුණක්ද?
නළුවකු වීම හැර වෙන අරමුණක් තිබුණෙම නැහැ. නළුවකු විදියට ඒකට අවශ්‍ය දේ ඉගෙන ගන්නවාය කියන අරමුණ තමයි තිබුණෙ. උපාධිය ඉවර කළාට තවම ඉගෙනීම් ඉවර කරලා නැහැ. තව වැඩිදුර ඉගෙන ගැනීමේ අරමුණක් තියෙනවා.
‘ආදරය – ප්‍රේමය’ කෝරළගේ දකින විදිය කොහොමද?
ජීවත්වීම කියන්නෙම ආදරය තමයි. ආදරය තමයි අපිව ජීවත් කරවන්නෙ. ආදරය නැතිව මිනිස්සුන්ට ඉන්න බැහැ. කොහෙන් හෝ ආදරය ලැබෙන්න ඕනෑ. ආදරයේදී මම බොහෝම විවෘත කෙනෙක්. ආදරය හොඳටම ඕනෑ කෙනෙක් මම.
ඒ කාලයේ කැම්පස් ජීවිතේදී, අරගල කිරීමේ, සමාජ පෙරැළි කිරීමේ රුදාවක් එහෙම තිබුණෙ නැද්ද?
මටත් තිබුණා. සමාජ ක්‍රියාකාරිකයකු ලෙස වැඩ කරමින් යම්කිසි දෙයක් දකින්න උත්සාහ කළා. ඒක සරසවියෙ කියලා වෙනස් වුණේ නැහැ. ඒ මතවාදය සරසවි ජීවිතයේදීත් තිබුණා.
ඒ කළ කී දේ ගැන පසුව පසුතැවීමක්ද ඇතිවුණේ? නැත්නම් මොන වගේ හැඟීමක්ද?
මම කළ කී දේ ගැන මම සතුටු වෙනවා. ඒ සෑම අවස්ථාවකින්ම ජීවත් වීමට ජීවිතයට අවශ්‍ය දේ මට ලැබී තිබෙනවා. මිනිස්සුන්ට සරසවියෙ අධ්‍යාපනයක් වගේම ඉන් පිටත එළියෙ අධ්‍යාපනයකුත් තියෙනවා. ඒ දෙකම මිනිස්සුන්ට අවශ්‍යයි සහ වැදගත්. න්‍යායාත්මකව ඉගෙන ගන්න බැරි සමාජයෙන් ඉගෙන ගෙන සාර්ථක වන මිනිස්සු අපට මුණ ගැහෙනවා. න්‍යායාත්මක වගේම ප්‍රායෝගික වැදගත්කමක් මිනිසුන්ට අවශ්‍යයි.
අපි ‘සිකුරා’ ගෙන්ම මේ පිළිසඳර හමාර කරමු? කොහොමද සිකුරා වීම නිසා සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර?
හරිම ආදරණීය ප්‍රතිචාර ලැබෙන්නෙ. මේ දක්වා නාට්‍ය ගණනාවක වැඩ කළාට මේ චරිතයෙන් පසුව තමයි තවත් බොහෝ දෙනා මා ගැන දැන ගත්තෙ. ඉතින් ඒකට ස්තූතිවන්ත වෙන්නට ඕනෑ ‘සිවගුරුනාදන්’ මහත්තයාට තමයි.
සඳුන් ගමගේ