මම විවාහ වෙන්න තව අවුරුදු කිහිපයක්ම යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ මෑත කාලයේ දුටු අභිලාෂි සංතුෂ්කා වර්තමානයේ බොහෝ පිරිසකගේ ආදරය දිනු නවක රංගන ශිල්පිණියකි. මේ නිසාම මෙවර අප ඇය වෙනුවෙන් මෙසේ ඉඩක් වෙන් කළා. මනාලියක් ලෙස කිහිප වතාවක් හැඩ වි ඇති අභිලාෂි ඒ පිළිබඳව අපට විස්තර කළේ මෙලෙසිනි.

මුලින්ම අභිලාෂි මනාලියක් විදිහට හැඩවුණ දවස මතකද?

මම මුලින්ම මනාලියක් විදිහට හැඩවුණේ මට වයස අවුරුදු විස්සේදි. එතකොට මම කලාවට සම්බන්ධ වෙලා හිටියේ. හැබැයි ඊට කලිනුත් ඔය වගේ අවස්ථා මට ආවා. නමුත්, මම භාරගත්තේ නැහැ. කලාවට සම්බන්ධ වුණාට පස්සේ මුලින්ම මම මනාලියක් ලෙස හැඩ වුණේ සුභාෂ් අබේවික්‍රම අතින්.

දැනට කී වතාවක් අභිලාෂි මනාලියක් ලෙස හැඩ වෙලා තියෙනවාද?

දැනට නම් දෙපාරයි මම මනාලියක් විදිහට හැඩ වෙලා තියෙන්නේ. උඩරට මනාලියක් විදිහට මම මුලින්ම සුභාෂ් අතින් හැඩ වුණා. ඊට පස්සේ සංගීත් අයියාගේ සැලෝන් ප්‍රභු එකෙන් බටහිර මනාලියක් මාව හැඩ ගැන්වූවා. මම හිතන්නේ නැහැ ආයෙත් පාරක් මම මනාලියක් විදිහට හැඩවෙයි කියලා. මොකද, තරුණියකගේ ජීවිතේ සොඳුරම දවස තමයි විවාහ වෙන දවස. ඒ නිසා මම හිතුවා ආයෙත් මාව මනාලියක් විදිහට හැමෝටම දකින්න ලැබෙනවා නම් ඒ මම විවාහ වෙන දවසේදි තමයි කියලා.

අභිලාෂි වැඩිපුරම කැමති වැඩිපුරම මොන විදිහේ මනාලියක් විදිහට හැඩ වෙන්නද?

කලින් සඳහන් කල විදිහට මම තවම දෙපාරයි මනාලියක් විදිහට හැඩ වෙලා තියෙන්නේ. එක පාරක් උඩරට විදිහටත්, අනිත් පාර බටහිර විදිහටත්. ඔය දෙකෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති උඩරට මනාලියක් විදිහට අඳින්න. මම පළවෙනි පාරට මනාලියක් විදිහට හැඩවුණ අවස්ථාවේදි ගොඩක් අය කිව්වා මාව උඩරට මනාලියක් විදිහට හරි ලස්සනයි කියලා. හැබැයි ඉතින් ඒ හා සමානව බටහිර මනාලියක් විදිහට හැඩවුණ අවස්ථාවෙත් මම ගොඩක් ලස්සනට හිටියා. ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

ආයෙත් පාරක් හිතුණොත් මනාලියක් විදිහට අඳින්න?

එහෙම හිතුණොත් මම ආසම ඔසරියට සාරියට හැඩවුණ මනාලියක් වෙන්න. දමිල, ඉන්දියන්, බටහිර මනාලියක් විදිහට හැඩ වෙන්නත් ආසයි මම. මොකද, මම හිතනවා ඒ හැම සාරි විලාසිතාවකටම ගැළපෙන රූපයක් මට තියෙනවා කියලා. මම ලංකාවේ සංස්කෘතියට ගොඩක් කැමති කෙනෙක්. ඒ හින්දා මම ආයේ පාරක් අඳිනවා නම් තෝරගන්නේ උඩරට විදිහට අඳින්න.

වෙනසකටත් දමිල හරි මුස්ලිම් විදිහට හරි මනාලියක් විදිහට අදින්න කැමති නැද්ද?

ඒවාත් හරිම ලස්සනයි. හැබැයි මම දේශීයත්වයට වගේම ලංකාවේ අපේ සංස්කෘතියට ගොඩක් මුල්තැන දෙන කෙනෙක් හින්දා මම ගොඩක්ම අවධානය දෙන්නේ අපේම දේවල්වලට. ඉතින් මම ආසම ඔසරියට සාරියට උඩරට ක්‍රමයට අඳින්න. ඒ වගේම පහතරට විදිහටත් අඳින්න.

මනාලියක් විදිහට හැඩවෙලා මුහුණ දුන් අමතක නොවන සිදුවිම් තියෙනවාද?

මනාලියකට අඳිනවා කියන දේම අමතක නොවන සිදුවිමක් තමයි මට නම්. විශේෂයෙන්ම උඩරට මනාලියක් විදිහට අඳින එක. අනික උඩරට විදිහට අඳිනවා කියන්නේ පැය කිහිපයක් එකම තැන ඉන්න ඕනා. අනික ආභාරණ එහෙමත් ගොඩක් පළඳින්න තියෙනවා. ඒවාත් දරාගෙන උඩරට විදිහට ඡායාරූපවලට පෙනී ඉන්නවා කියන්නේ විශාල අභියෝගයක්. මට පුදුම මෙච්චර දේවල් දරාගෙන කාන්තානවෝ කොහොම මනාලියක් විදිහට හැඩ වෙලා ඉන්නවද කියලා. හැබැයි කාන්තාවකට තියෙන ලොකුම හීනයක් තමයි කවදාහරි උඩරට විදිහට මනාලියක් ලෙස පෙනී ඉන්න එක. මටත් එහෙමයි. ඉතින් මට හිතෙනවා මගේ අමතක නොවන සිදුවිම් අතරට උඩරට මනාලියක් විදිහට ඇදපු සිදුවිමත් එකතු කරගන්න. 

අභිලාෂිව අපිට ඇත්තටම මනාලියක් විදිහට දකින්න ලැබෙන්නේ කවද්ද..

මාව ඇත්තටම මනාලියක් විදිහට දකින්න තව ගොඩක් කල් තියෙනවා. මට තවම අවුරුදු විස්සයි නේ. මම හිතන විදිහට තව අවුරුදු හයක්, හතක් විතර යයි කියලා. මොකද, එහෙම කිසිම සුදානමක් තවම නැහැ මම. කොටින්ම කියනවා නම් හිතලාවත් නැහැ ඒ ගැන තවම. බලමු ඉතින් තව අවුරුදු හයක් හතක් ගියාම සමහර විට දකින්න ලැබෙයි සමහර විට දකින්න නොලැබෙයි.

බුද්ධික සේනාධීර

ඡායාරූප - ආවර්ජනා

හැඩ ගැන්වීම - සැලෝන් ප්‍රභු