මම වයසින් පොඩියි කියලා මාව අත්හැරලා දාලා නැහැ.
මැස්සා, දිගා, බුවා, ගලියා කියන්නෙ හොඳ යාළුවෝ හතර දෙනෙක්. මේ යාළුවෝ හතරදෙනා කරන්නෙ නම් ඉතින් හොඳ වැඩ නම් නෙවෙයි. හැබැයි ඒ එයාලගෙ සැබෑ ජීවිතයේ දී නම් නෙවෙයි. මැස්සා නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් විතරයි. දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, ජැනට් ඇන්තනි මැස්සා, දිගා, බුවා ලෙස රඟපාද්දී මේ තරුණයා රඟපාන්නෙ ‘‘ගලියා’’ නමැති චරිතයයි. මිනිහා තමයි ඒ හතර දෙනා අතර සිටින පොඩිම කොල්ලා. කාගේත් ප්‍රතිචාර ලබමින් මැස්සා නාට්‍යය විකාශය වන මොහොතක, එහි ‘‘ගලියා’’ වූ මේ දක්ෂ තරුණයා කවුද කියලා අපි බලමු.
ගලියා, ඉස්සෙල්ලාම ඇත්ත නම කියලා ඉමු?
විරාජ් මධුශාන්
වැඩිපුර භාවිත වෙන්නෙ?
‘‘විරාජ්’’.
කවුද මේ විරාජ් කියන්නෙ?
පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක්.
මොනවද කරන වැඩ?
ෆොටෝ ෂූට්ස්, ටෙලිඩ්‍රාමා සහ ඇඩ්ස්වලට දායක වෙනවා. ඊට අමතරව වීඩියෝ සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කරනවා.
මොකක්ද ප්‍රධානව කරන දේ ?
රඟපෑම, නිරූපනය සහ ඒ දේවල් කරන්නෙ මගේ විනෝදාංශයට. හැබැයි විනෝදාංශය කියලා ඒක සරලව හිතලා නෙවෙයි කරන්නෙ. රඟපෑම්වලට අමතරව නිදහස් විදියට වීඩියෝ එඩිටින් ශිල්පියකු ලෙස කටයුතු කරනවා.
රඟපාන්න පටන් ගන්නෙ ?
පොඩිකාලෙදිම වාගේ තමයි. එතකොට මම හිටියෙ හතර වසරෙ. ‘මැලිබන් රියල් ඩබල්’ දැන්වීම නිසා මුලින්ම මා ගැන වැඩි දෙනෙක් හොයන්න පටන් ගත්තෙ. මේ වන විට දැන්වීම් 50කට ආසන්න සංඛ්‍යාවක් කරලා ඇති කියල හිතනවා.
විරාජ්ගෙ ෆැමිලි එකේ සහ අනෙක් විස්තරත් කියන්න පුළුවන් ද?
මගේ ගම කොට්ටාව. පවුලෙ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි. අම්මා දැන් රැකියාවෙන් ඉවත්වෙලා ඉන්නෙ. තාත්තා රැකියාව කරනවා. පොඩිමල්ලි හෝටල් ක්ෂේත්රයේ පාඨමාලාවක් හදාරනවා. ලොකු මල්ලි යුද හමුදාවේ පාඨමාලාවක් හදාරනවා. පාසල් තුනකින් මම ඉගෙනගෙන තියෙනවා. හතර වසර දක්වා උඩහමුල්ල ඔක්ස්ෆර්ඩ් කොලේජ් එකෙන්. කොට්ටාවේ විද්‍යාදාන පාසලෙන් සහ උසස් පෙළට ගියේ කොට්ටාව ආනන්ද විද්‍යාලයට. එව්වා තමයි මගේ පවුලේ විස්තර.
අම්මා - තාත්තා කැමැති වුණේ විරාජ් මොන වගේ ගමනක් යනවට ද?
ලොකු බලපෑමක් කළේ නැහැ. මට කැමති දේ තෝරා ගැනීමේ නිදහස දීලා තිබුණෙ. හොඳ දෙයක් නම් ඒ දේ කරන්න තමයි උනන්දු කළේ.
විරාජ්ගෙ කැමැත්ත වුණේ ?
කුඩා කාලයේ ඉඳලම මගේ කැමැත්ත වුණේ වීඩියෝ සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමට. හැබැයි දැන්නම් ආසාව තියෙන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණාත්මක දේ කරන්න.
මැස්සා නාට්‍යයේ ගලියා ගැන කොහොමද කියන්නෙ?
මැස්සා කණ්ඩායමේ සිටින යාළුවො හතර දෙනාගෙ පොඩිම එක්කෙනා. ලොකු දැනුමක් එයාට නැහැ. ඔය කරන්නන් වාලේ පොඩි ළමයි වගේ වැඩ කරන කෙනෙක්. එයාට හිතුණොත් ඒ දේ කරන කෙනෙක්.
මේ ගලියාගෙ චරිතය රස්තියාදුකාර ගණයටනෙ වැටෙන්නෙ? විරාජ් කොහොමද මේ චරිතය එක්ක ඒ විදියට වුණේ ?
මටත් විවිධාකාර විදියෙ යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඊට අමතරව දසුන් අයියා, චතුර අයියා සහ ජෙනට් අයියා මට ගලියාගෙ චරිතය හදා ගන්න එක එක දේ කියලා දෙනවා. මෙහෙම කළොත් හොඳයි, අර විදියට කළොත් හොඳයි, එහෙම කියලා එයාලා එයාලගෙ අදහසුත් කියනවා. ඒ විදියට තමයි මම ගලියා වුණේ.
කොහොමද බාහිර සමාජයේදී ගලියාට ලැබෙන ප්‍රතිචාර?
ටෙලිඩ්‍රාමා නොබලන මගේ යාළුවො පවා මේ නාට්‍ය නරඹන බව පෙනෙනවා. යූ ටියුබ් එකට ගිහින් හරි මේක නරඹනවා කියලයි කියන්නෙ. ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියන ඉවසිල්ලක් නැතිකම තමයි එයාලට තියෙන්නෙත්. කොහෙ හරි ගියාම මාව නොදන්නා අය පවා ළඟට ඇවිත් මගෙන් අහන්නෙ ඉස්සුවා නේද ෆෝන් එක කියලයි. දසුන් අයියා, චාමර සහ ජෙනට් අයියා ගැනත් ඒ වගේ අවස්ථාවලදී මගෙන් අහනවා.
සැබෑවට එයාලා එක්ක තියෙන මිත්‍රත්වය මොන වගේ ද?
මම වයසින් පොඩියි කියලා මාව අත්හැරලා දාලා නැහැ. එයාලා කොහේ ගියත් මාත් එයාලා එක්කම වගේ ඉන්නෙ. සමහර දිනවලදී ෂූටිං තියෙන දවස්වලදී අපි හතර දෙනා ඉන්නෙ දසුන් අයියලගෙ ගෙදර.
ගලියා සහ විරාජ් අතර සම – සම වූ දේ මොනව ද?
මෙහෙමයි, ගලියා තැන – නොතැන නොබලා කියන්න තියන දේ මූණටම කියන කෙනෙක්. කිසිම දෙයක් හිතන්නෙ - බලන්නෙ නැතුව සැහැල්ලුවට ඉන්න කෙනෙක්. ගලියා නිතරම බලන් ඉන්නෙ හොරකමක් කරන්න. සැබෑ ජීවිතයේ දී මම එහෙම නෙවෙයි. මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.
සැබෑ ජීවිතයේදී කවදාහරි විරාජ්ගෙ පොකැට්ටුවට කවුරු හරි විදලා තියෙනවද? ඒ කියන්නෙ හොරකම් කරලා?
එහෙම වෙලා නැහැ. මගේ යාළුවොන්ගෙ කමීසයක් මම අරන් ඒවා එයාලා මගේ කමීසයක් ගෙන යෑම වගේ දේ හැර වෙන සිදුවීම් නම් වෙලා නැහැ.
මැස්සා හැර තව වෙන මොනවද විරාජ්ගෙ රඟපාන නාට්‍යය?
මේ දිනවල නම් මැස්සා හැර මම පෙනී සිටින දැන්වීම් තමයි තියන්නෙ.
ඉගෙනීම් නතර කරල ද? තවදුරටත් ඉගෙන ගන්නව ද?
විලාසිතා නිර්මාණකරණය අංශයෙන් ඉගෙන ගැනීමට ආසාවක් තියෙනවා. ඒ අංශයෙන් උපාධියක් වගේ කරන්න ආසයි. ඒ ගැන සොයා බලමින් ඉන්නෙ.
කලා හැකියාව විරාජ්ගෙ පවුලෙ අයගෙන් තියෙන්නෙ විරාජ්ට විතර ද?
අපේ තාත්තාට ගයන්න පුළුවනි. අම්මාට රඟපාන්න පුළුවනි. ඉස්සර රඟපාලාත් තියෙනවා. අපේ මාමා අධ්යක්ෂණයට සම්බන්ධ වෙලා හිටියා. අපේ චූටි මල්ලියි මමයි පාසලේ දී සමස්ත ලංකා අංශවල දී සහතික අරගෙන තියෙනවා. චූටි මල්ලිත් රඟපානවා. සිහින හොයන සමනල්ලු එකේ ප්‍රධාන චරිතයක් එයා කළා.
විරාජ් රඟපෑම සහ ජීවිතය ගැන හිතන්නෙ මොන විදියට ද?
රඟපෑම අත්හරින්න නම් අදහසක් නැහැ. දිගටම රඟපෑම් කරගෙන යන ගමන් හිතේ තියෙන ප්ලෑන් ටික සාර්ථක කර ගන්නත් උත්සාහ ගන්නවා. මගේම විලාසිතා බ්‍රෑන්ඩ් එකක් කරන්නත් කියලා හිතාගෙන ඉන්නෙ. ඩිග්රි එක කළාට පස්සෙ තමයි ඒ දේවල් පටන් ගන්න ඉන්නෙ.
‘විරාජ්’ට කොහොමද ආදරේ එහෙම දැනෙන්නෙ?
අනේ මන්දා...
කලා අංශයට හැර විරාජ් වැඩිම කැමති?
යාළුවො එක්ක ඉන්න.
ඒ විදියට යාළුවො එක්ක එකතු වුණාම?
ක්‍රිකට් ගහනවා, නැත්නම් කොහේ හරි යනවා.
විරාජ්ට හොඳ ගායන හැකියාවක් තියෙනවනෙ. ගීත ඇසීමේ දී මේ දිනවල වඩා ආස ගීතයක් තියෙනවද?
ගයාන් පෙරේරා අයියගෙ ගීතවලට ආසයි. මම ගීතයක් ගැයුවොත් ආසා කරන්නෙ හද මන්දිරේ වගේ ගීතයක් ගයන්න. දයාන් හේවගේ ගයන පෙම් සිතුවම් ගීතයටත් ආසයි. කියන්න කැමති මා නුඹට පෙම් කළේ ගීතය.
විරාජ්ට තව මොනවද කියන්න තියෙන්නෙ ?
මේ වෙලාවෙ මගේ අම්මවයි, තාත්තාවයි, පවුලේ අයවයි මතක් කරන්න ඕනෑ. ඒ වගේම මම මේ ක්ෂේත්රයට මුලින්ම ආවෙ වසන්ත ඥානාප්රිය සර්ගෙ ක්ලාස් එකෙන්. මැස්සා ටෙලිඩ්‍රාමා එකේ ඉන්දික අයියා, ජනක අයියා, අපිව බලා ගන්න වසන්ත අයියා වගේම, දසුන් අයියා, චතුර, ජෙනට් අයියලා සහ මැස්සා එකේ හැමෝම ආදරයෙන් මතක් කරනවා. මේක් අප් කරන නිලා, කැමරා අධ්‍යක්ෂණය කරන ප්‍රභාත් අයියා බොහොම මහන්සි වෙනවා. ඒ ඔක්කෝටම තෑන්ක් යූ. අපට ආදරේ කරන අයට සහ මගේ යාළුවන්ටත් තෑන්ක් යූ.
සඳුන් ගමගේ