මම රඟපානවට නෝනා වැඩිය කැමැති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරාන් යට්ටෝවිට, මේ දිනවල අපට හමුවන්නෙ තිසුලදීප තඹවිට අධ්‍යක්ෂණය කළ බුද්ධිනි ජයවර්ධනගෙ කතාවකට අනුව නිර්මාණය වූ ‘බන්ධනා’ නාට්‍යයේ, චරිතයක් සමගය. දන්නවනෙ මේ හිරාන් කවුද කියලා? එයා ලංකාවේ සිටින ප්‍රවීන නිරූපන ශිල්පිනියෙක්. රංගනයෙන් අන්තිමට අපට හමුවුණේ කැලුම් පාලිත මහීරත්නගෙ ‘විසුල අහස යට’ නාට්‍යයෙන්. එය විකාශය වුණේ මීට වසර හතකට විතර පෙරදියි. එයින් දිගු නිහැඬියාවකට පසුව හිරාන් අද අපට හමුවන්නෙ මේ විදියට ‘බන්ධනා’ නාට්‍යයේ චරිතය සමගය. කොහොම වුණත් අද වන විට ‘හිරාන්’ ගැන රටම දන්නා අනෙක් විශේෂ හේතුව වන්නේ, ශ්‍රී ලාංකීය දේශපාලනයේ කැපී පෙනෙන කාන්තා චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා වන නිසාය. කලකට පසුව මේ විදියට අපට හමුවන ‘හිරාන්’ගෙන් බන්ධනා සමග නැවත රංගනයට ආ හැටි සහ ‘හිරුණිකා - හිරාන්’ කැදැල්ලේ විස්තරත් අපි ඔහුගෙන් අහමු.

 

විසුල අහස යටට පසුව නේද මේ විදියට හමුවන්නෙ?

විසුල අහසට පසුව ‘අහස්’ නාට්‍යයේ රඟපෑවා. ඒත් ඒ නාට්‍යය විකාශය වුණේ නැහැ. ඉන්පසුව රඟපෑමට එක්වුණේ නැහැ. විවාහයෙන් පසුව කොහොමටත් කලා කටයුතු එක්ක කාර්යබහුල වෙන්න මට අවශ්‍ය වුණෙත් නැහැ. මේ නාට්‍යයට සම්බන්ධ වුණේ බුද්ධිනී අක්කා ආරාධනා කළ නිසයි. එයා පුද්ගලිකව මගේ බිරිඳ හිරුණිකාවත් දන්නවා. මේක ඇත්තටම හොඳ වැඩක්. ඒත් මේ නාට්‍යයේ මේ විදියට රඟපෑවාට ඊට පෙර මට ලැබුණු ආරාධනා බාර නොගත්තෙ මම රඟපානවට නෝනගෙන් වැඩි කැමැත්තක් තිබුණෙ නැති නිසයි. ඇත්තටම මේ වැඩේ හොඳයි. ඒ නිසයි වැඩිපුරම මේ චරිතය බාර ගත්තෙ.

පසුගිය කාලයේ හිරාන් මොනවද කළේ?

මම උනන්දු වුණේ ආර්ථික අතින් ස්ථාවරයක් ගොඩ නගාගන්න. ඒ නිසා මගේ දේපළ හා සම්බන්ධ ව්‍යාපාරික කටයුතු දියුණු කරන්න මහන්සි වුණා. ඒ අතරේ මගේ නෝනගෙ දේශපාලන කටයුතුවල දි එයාගෙ පිටුපස සිටිමින්, එයාට උදවු කළා. ඒක මගේ යුතුකමක්.

ඇයි හිරුණිකා, හිරාන් රඟපානවට අකමැති?

එයාගෙ අකමැත්තටත් වඩා මුලදි මට අවශ්‍ය වුණේ අපේ ෆැමිලි ලයිෆ් එක හොඳට ගෙන යන්නයි. බබාලා තුන් දෙනාගෙ වැඩත් එක්ක මාත් හිරුණිකාට සහයෝගය දෙන්න ඕනෑ කියලා හිතුවා. නෝනත් බිසි වෙලා මාත් බිසි වුණොත් ෆැමිලි ලයිෆ් එක සමබර වෙන්නෙ නැහැ. එයා පොලිටික්ස් එක්ක මටත් වඩා බිසි නිසා මම කැපවීමක් කළොත් හොඳයි කියලා හිතුවා. ඒ නිසා ඒ වගකීම මම ආසාවෙන් බාර ගත්තෙ. පවුලක් ලස්සන කරන්න නම් සියලු වගකීම් බිරිඳට විතරක් පවරලා හරියන්නෙ නැහැ. එහෙම වුණාම වෙන්නෙ බිරිඳ හෙම්බත් වෙන එකයි. මට එහෙම කරන්න ඕනැ වුණේ නැහැ.

විවාහ වෙලා කොච්චර කල් වෙනවද?

අවුරුදු 7ක් වෙනවා.

කොහොමද විවාහ දිවිය, රහයිද?

ඔව්, නැත්නම් අවුරුදු 7ක් මේ විදියට ආදරණීය ගමනක් එන්නත් බැහැනෙ. සතුට, දුක, වාද-විවාද, මේ ඔක්කෝම තියෙනවා. ඒ සියල්ල එක්ක ගෙවී යන ජීවිතය සුන්දරයි. මම හිතපු විදියෙ මම කැමති කෙනෙක් මට හම්බ වුණා. එයත් එයාට කැමති කෙනා හැටියටනෙ මාව තෝරා ගත්තෙ. අපි දෙන්නා අතර අන්‍යොන්‍ය සම්බන්ධය, වටහා ගැනීම හරියට ගැළපෙනවා. ඒ වටහා ගැනීම නිසාම තමයි, මම මගේ කලා කටයුතුවලින් පවා ඈත් වුණේ.

දරුවො ගැනත් කියමු?

ලොක්කා පුතා. ඊළඟට දුවලාම දෙන්නෙක් ඉන්වා. ඒක ඇත්තටම හරි සුන්දර ලෝකයක්. අපි දෙන්නා අන් සියල්ලට වඩා මුල්තැන දෙන්නෙ එයාලගෙ වැඩවලට. එයාලගෙ ළමා කාලයේ දී මව්පියන් ලෙස එයාලා ළඟින්ම ඉන්න එක වඩා හොඳයි. අපි දෙන්නා ඒක කරන්නෙ බොහොම කැමැත්තෙන්. කොහොමටත් අපි දෙන්නා උදේ 8ට ගිහින් හවස 4ට වැඩ ඇරිලා ගෙදර එන දෙන්නෙක් නෙවෙයිනෙ.

හිරාන්, හිරුණිකාට ආදරේට කතා කරන්නෙ?

ඩාර්ලිං කියලා. එයා මට කතා කරන්නෙ ‘බබා’ කියලා.

දේශපාලනයට වගේම හිරුණිකා, ගෙදර වැඩවලටත් දක්ෂයි ද?

අපොයි ඔව්, විවාහ වූ මුල් කාලයේ දී අපට උදව්වට කවුරුවත් හිටියෙ නැහැ. අපි දෙන්නම තමයි උයා පිහාගෙන කෑවේ. අනෙක් සාමාන්‍ය මිනිස්සු වගේම තමයි ගෙදරදි අපි දෙන්නා. අපි හරිම සාමාන්‍යයි. සරලයි. සමහර කෑම ජාති හරි රසට එයාට උයන්න පුළුවනි. විවේකයක් ලැබුණාම නෙට්ෆ්ලික්ස් ඔස්සේ ෆිල්ම්ස් බලනවා.

හිරුණිකා, දේශපාලනය කරනවට හිරාන් කැමතිද?

මම එයා විවාහ කර ගත්තෙම ඒ බව දැනගෙනනෙ. එතකොටත් එයා දේශපාලනයට ඇවිත් හිටියෙ. මාත් දේශපාලන පවුලකට අයත් කෙනෙක්. අපේ අම්මගෙ පැත්තෙ අය දේශපාලනය කළ බව කියන්න පුළුවනි. කලා පැත්තට මම ආවාට, මටත් දේශපාලනය පුරුදුයි. මගේ කලා ක්ෂේත්‍රයට වඩා දේශපාලන ක්ෂේත්‍රයෙදි එයා ගොඩක් දක්ෂයි. ඒ නිසාම තමයි එයාට ඒ ගමනට ඉඩදීලා මම මගේ ඉඩකඩම් ටික බලාගෙන, ඒවා දියුණු කරගෙන ඉන්න තීරණය කළේ. ඇත්තම කිව්වොත් බන්ධනා නාට්‍යයෙ රපඟාන්න කියලා කිව්වෙත් එයාමයි. කලාව ඇඟේ තියෙන නිසා, එයාට හිතෙන්න ඇති අපරාදෙනෙ මම එක්තැනකට සීමාවෙලා ඉන්නෙ කියලා. ඉදිරියේදි සිනමාවේ මට දැනෙන චරිත ලැබුණොත් බාර ගන්නවා. අතිශය කාර්යබහුල නොවී ඉඳහිට ඉතා හොඳ චරිතයකට දායක වෙන්න පුළුවන් වේවි.

 

අපි ආයෙත් ගෙදර ජීවිතය ගැන කතා කරමු. දෙන්නා වාව විද කර ගන්නවද? ඒ මොනවගේ දේ නිසාද?

මම ටිකක් පිළිවෙල අඩු කෙනෙක්. මොකක් හරි පොතක් හෝ භාණ්ඩයක් ගත්තාම ගත්ත තැන තියන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට එයා නම් හරිම පිළිවෙලයි. ඉතින් ඒ නිසා මගේ අපිළිවෙල දුටුවාම එයාට කේන්ති යනවා ඇති.

හිරුණිකා, හරි ලස්සනට, පිළිවෙලකට අඳින පළඳින කාන්තාවක්නෙ. හිරාන් කැමති එයා වැඩිපුර මොන විදියට අඳිනවද?

එයා ගවුම අඳිනවට මම හරි ආසයි. ගවුමට එයා හරි හැඩයි.

හිරාන්’ට ගෙදර වැඩත් පැවරිලා ඇති?

එහෙම කියලා නැහැ. අපි දෙන්නා අපි දෙන්නා ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. අපි දෙන්නා අතර රහස් නැහැ. ගෙදරට අවශ්‍ය දේ ගේන්න මාර්කට් එකට පවා යන්නෙ එයා. එක්කෝ මම යනවා. ගෙදර අපි අතිශය සාමාන්‍ය චරිත.

හිරුණිකා, නැත්නම් ඔයාගෙ ඩාර්ලිං, හට ඔයාට වැඩිපුර ආදරේ හිතෙන්නෙ ඇයගෙ මොන වගේ විශේෂිත ප්‍රකාශයක් නිසාද?

එයා ඕනෑම දෙයක් ගැන කෙළින් කතා කරන කෙනෙක්. කියන දේ කාට හෝ මුණටම කියන කෙනෙක්. බොරුවෙන් ජීවත්වන කාන්තාවක් නෙවෙයි. දේශපාලනයේ දී වේවා, ගෙදරදි වේවා, එයා හරි විවෘත අදහස් තියෙන කෙනෙක්. බොරු රඟපෑම් නැති කාන්තාවක්. එයාගෙ ඒ ගතිගුණවලට මම හරි ආසයි. සරලව කිව්වොත් බොරු සෝබන චරිතයක් නොවෙයි. අපි දෙන්නම එහෙමයි. ඒ නිසා තමයි අපි දෙන්නා හොඳටම ගැලපුණේ.

හිරාන් සහ හිරුණිකාට එකට රඟපෑමට ආරාධනා ලැබුණොත්?

එහෙම වුණොත් කොහෙත්ම අපට ඒක කරන්න බැරි වේවි. මොකද දෙන්නාට දෙන්නා මූණු දිහා බලන් හිනා වේවි. මම රඟපාන තැනට එයා එන්න හදනවා. ඒත් මම එන්න දෙන්නෙ නැහැ. එහෙම වුණොත් රඟපෑම කෙසේ වෙතත් හිනාවෙවී ඉන්න වේවි.

හිරුණිකාට සිංදු කියන්නත් පුළුවනිද?

හොඳට පුළුවන්. මා ළඟ කැරෝකේ සෙට් එකක් තියෙනවා. විවේක වෙලාවලදි එයා ගීත ගයනවා. මම හරි ආසයි එයා ගයන ගීත අහන්න. එයාට හිංදි සිංදු ලස්සනට ගයන්න පුළුවනි. ලතා මංගේෂ්කාර් මහත්මියගේ ගීතවලට එයා හරිම ආසයි.

බන්ධනා’ නාට්‍යයේ ‘හිරාන්’ගෙ චරිතය ගැන කියමු?

ඒකේ මම රඟපාන්නෙ පෙම්වතකු ලෙස නම් නෙවෙයි. එයා දඟකාර, ටිකක් දඩබ්බර චරිතයක්. දුෂ්ඨයා නොවුවත්, ටිකක් විතර ඒ වගේ චරිතයක්. ඒ වෙනස නිසාම තමයි මම ඒ චරිතයට කැමති වුණේ.

කාලයක් ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන්ගෙ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයෙත් රඟපෑවා නේද?

ඔව්, රංගනය ඉගෙනීමට මට ඒ අවස්ථාව ලොකු අවස්ථාවක් වුණා.

හිරාන්’ ට වැඩි කැමැත්තක් තියෙන්නෙ?

දන්න කියන කාලයේ ඉඳලම මට ඕනෑ වුණේ ඉතා හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න. මම ඒකට හරිම ආසයි. බලාපොරොත්තු වූ විදියටම මට ලැබුණෙ හොඳ ගුණ යහපත් බිරිඳක්. අඩුවක් කියලා කියන්න බැරි හොඳ කාන්තාවක්. මම බලාපොරොත්තු වූ දේ සියයට සියයක්ම නොතිබෙන්න පුළුවන්. ඒක ඕනෑම කෙනෙකුගෙ ජීවිතයට උරුම දෙයක්. ඒත් අපි දෙන්නා ගෙදර නැතත් දෙන්නට දෙන්නා කෝල් කර ගන්නවා. හැම මොහොතම ඒ නිසා අපිදෙන්නා දුරස්ථ නැහැ. යාළුවෝ අපට විහිළු කරන්නෙ, උඹලා දෙන්නා තවමත් පෙම්වතුන් වගේනෙ කියලයි.

සඳුන් ගමගේ