මම බොහොම ආගමට දහමට කැමැති කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් කෙනකුගේ නම වෙතින් සිදුවන්නේ ඒ නම ඇති කෙනාට යහපතක් වීමයි. හැබැයි ඇයගෙ නම කීමෙන් ඇයට වගේම, ඇයව ආමන්ත්‍රණය කරන අයටත් වෙන්නෙ සෙතක් කියලා තමයි ඇය කියන්නෙ. ඇයගෙ නම සෙත්මා උමන්දි. මා හට සෙත් වේවා කියන අරුතින් තමයි ඇයට ඒ නම යොදා තිබෙන්නෙ. රංගන ශිල්පිනියක්, හඬකැවීම් ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස කටයුතු කරන සෙත්මා මේ දිනවල අපට හමුවන්නෙ ‘දෙකොන් මාරු’ නාට්‍යයේ නිවුන් සහෝදරියකගේ චරිතයකින්. ඒ විදියට හමුවන සෙත්මාගෙ හඬයි මේ.

සෙත්මා උමන්දි, ලස්සන නමක්. කියමුකො බලන්න එහි තේරුම?

මා හට සෙත් වේවා කියන අරුතත් තියෙනවා. සෙත්වේවා මා හට යනුවෙන්. මගේ නම කියන හැමෝටම වෙන්නෙ සෙතක්.

සෙත්මා කවුද?

හරිම සරල, ආදරණීයව කලාව එක්ක ජීවත්වන චරිතයක්.

සෙත්මා නියැලෙන්නෙ?

රංගන, නිවේදන හා හඬකැවීම් ශිල්පිනියක ලෙස.

වඩා කැමති සෙත්මාටද? උමන්දිටද?

සෙත්මා කියනවාටත් ආසයි. උමන්දිටත් ආසයි. අම්මගෙයි තාත්තගෙයි නම් දෙක එකතු කරලා තමයි උමන්දි කියන නම දාලා තියෙන්නෙ.

ගම?

උපන්නෙ නාවල. දැන් පදිංචිය අතුරුගිරියෙ.

ඉගෙන ගත්තෙ?

කොළඹ සිරිමාවෝ විද්‍යාලයෙන්.

සෙත්මා අරමුණු කරගත්තෙ?

කලා අංශයෙන් ඉදිරියට යාම අරමුණ වුණා. පාසලේදී, නාට්‍ය හා රංග කලාව, නිවේදන කටයුතුවලට වගේම මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කළා. නාට්‍ය සංගමයේ සභාපති වෙලත් හිටියා. නැටුම සංගීතය සමඟ බොහොම සමීපයි. දන්නා කියන කාලයේ ඉඳලම ජීවිතය එක්ක බැඳී තියෙන්නෙ කලාව. කුඩාම අවදියේ සිට රංගනය වාදනය ගායනය කළා. ඒ විදියට තමයි මේ දක්වා ගමනක් ආවෙ.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මොනවද කරන්න පටන්ගත්තෙ?

හින්දි භාෂාව හදාරන්න පටන්ගත්තා. ජපන් භාෂාවත් යම්තාක් දුරකට ඉගෙන ගත්තා. දැනට මානව සම්පත් කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා. මේ වනවිටත් හින්දි භාෂාව ඉගෙන ගන්නවා. භාෂා ඉගෙන ගන්න මම හරිම ආසයි. මාධ්‍ය ක්ෂේත්‍රයටත් එය වැදගත් වෙනවා. ඒ හැර මට තවත් ලොකු හීනයක් තියෙනවා.

මොකක්ද ඒ හීනය?

මගේම කියලා පෙර පාසලක් පටන් ගැනීම. දරුවො එක්ක කාලය ගත කරන්න මම හරිම ආසයි. ඉතින් ඒ අංශයේ වෘත්තියකට අමතරව කලා අංශයේ නියැලීම දිගටම කරගෙන යන්න උත්සාහ ගන්නවා.

රඟපෑම පටන්ගත්තෙ?

ඒ ගමනේදි සුරංග සතරසිංහ මහතාව ගෞරවයෙන් මතක් කළ යුතුමයි. එතුමා මට ගුරුවරයෙක්, පියෙක් වගේ වුණා. ඔහු තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මාව එකතු කරගෙන ආවෙ. චූටිම කාලයේදී නාටක මාරයි කොටසකට දායක කරවා ගත්තට පස්සෙ, පුතේ ඔයා පාසල් අධ්‍යාපනය එහෙම ඉවර වුණාම මම ඔයාව නිර්මාණවලට ගන්නම් කියලා සුරංග සතරසිංහ සර් කිව්වා. ඒ කිව්ව විදියටම පාසල් ජීවිතයෙන් පසුව ‘මුතුලෙන්දොර’ නාට්‍යයට මාව ගත්තා. එයින් පසුව ‘පියාඹන මූනිස්සම්’ සහ මේ දිනවල ‘දෙකොන් මාරු’ නාට්‍යයේ රඟපානවා.

මේ නාට්‍යයේ හැර වෙන නිර්මාණවලට ආරාධනා ලැබුණෙ නැද්ද?

ලැබුණා. ඉදිරියේදී නාට්‍ය කීපයක රඟපෑමට සූදානමින් ඉන්නෙ.

සෙත්මාගෙ ජීවිතය මොන වගේද ඉතින්?

මම බොහොම ආගමට දහමට කැමැති කෙනෙක්. විශ්වයට ගරු කරන විශ්ව ශක්තිය ගැන හිතලා කටයුතු කරන කෙනෙක්. පවුලේ අම්මා තාත්තා මල්ලිට හරිම ලැදියි. ආච්චි ඇතුළු ගෙදර ඔක්කෝම එක්ක හරිම සතුටින් ජීවත් වෙනවා. අම්මා තාත්තාගෙන් ලැබුණු හැකියාවන් තමයි මම ඉදිරියට අරන් යන්නෙ. මගේ සීයාත් වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළ කෙනෙක්. මාත් වේදිකාවට හරිම ආසයි. විශ්ව ශක්තිය එක්ක ලොකු බැඳීමක් මට තියෙන්නෙ.

විශ්ව ශක්තියේ බලය සෙත්මාට තියෙනවා කියලා හිතනවද?

විශ්ව ශක්තිය, සොබාදහම විශ්වාස කරනවා වගේම ස්වභාවධර්මයට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. ලෝකයට ආදරය කරන නිසා ඒ දේවල් පෙරළා මටත් ලැබෙනවා කියලා මම දන්නවා.

සෙත්මාගෙ සැබෑ ආදරය මොන වගේද?

මම හරිම ආදරණීය කෙනෙක්. පුංචි දරුවන්ගෙ ආදරය තමයි මට වඩාත්ම දැනෙන්නෙ.

ප්‍රේමය?

දැන්මම ඒ ගැන කතා කරන්න හේතු නැහැ, ඉදිරියේදී ඒ ගැන කතා කරන්න ලැබේවි. තවම ඒ ගැන නිශ්චිත තීරණයකට එළැඹිලා නැහැ. ඉදිරියේදී තීරණයකට ඇවිත්, ඒ ගැන කතා කරන්න සූදානම්.

ප්‍රධාන වෘත්තිය ලෙස රඟපෑම විතරද කරන්න බලාපොරොත්තුව?

රඟපෑම විතරක් නෙවෙයි. ඩබින්, නිවේදනය ඇතුළු දේ කරනවනෙ.

ඔබ හඬකැවූ චරිත අතරින් වඩා ජනප්‍රිය වූ චරිත?

ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණවලට තමයි හඬ කැවීම් අංශයෙන් දායක වුණේ. හොටෙල් ට්‍රාන්සිල්වේනිය කාටුන් වැඩසටහනේ මෑතකදී චරිතයකට හඬ මුසු කළා. එකම කාටූනයකට කටහඬ කීපයකින් ඩබ් කරනවා. පොඩි බබාලගෙ නිර්මාණවලට ඒ විදියට දෙබස් කවලා තියෙනවා. සමහර ඒවායේ පිටපත් පවා ලිව්වෙ මම.

ජපන් භාෂාව ඉගෙන ගත්තනෙ. ලෝකෙට ආදරෙයි කියලා ජපන් භාෂාවෙන් කියන්නෙ කොහොමද?

මම ඒක හින්දිවලින් කියන්නද?

හොඳයි කියන්න බලන්න?

මේ දුනියායේ බොහොත් ප්‍යාර් කර්තේහු.

ලංකාව හැර ලෝකයේ කැමතිම රට?

ලෝකයේ බොහෝ රටවලට යන්න ආසයි. හැබැයි මම ඉන්දීය සංස්කෘතියට ඒ භාෂාවට එයාලගෙ විදියට මම හරි ආසයි.

ගෙදරදී සෙත්මා මොන විදියෙ චරිතයක්ද?

සරලයි. මල්ලි එක්ක හරි එකතුයි. සින්දු කියනවා, නටනවා. මගෙ අම්මත් ගුරුවරියක්. පොඩි බබාලට පන්ති කරනවා. ඒ දේවල් එක්ක සතුටින් ඉන්නෙ. හරිම සරල විනෝද දිවියක්. ජීවිතයට මොන ප්‍රශ්නය ආවත් සතුටින් කාලය ගත කිරීම අපේ පවුලේ විදියයි. මේ දිනවල කැම්පස් එකේ කරන විභාගය ළඟ නිසා ඒකට ලැහැස්ති වෙනවා.

සෙත්මා වැඩියෙන්ම දක්ෂ?

එකක් කියලා කියන්න බැහැ. ගැයුම, රැඟුම, වැයුම මේ ඔක්කෝම මට ලැබීම ඇත්තටම මගේ පිනක්.

ගායනයෙන් කළ දේ?

කෙටි චිත්‍රපටවලට ගැයුමෙන් දායක වෙලා තියෙනවා. ඒ හැකියාව මට අම්මාගෙන් එන්න ඇත්තෙ. ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්.

සඳුන් ගමගේ

හැඩගැන්වීම් - සමීර් සී. විජේතුංග