මම බන්දු මහත්තයාගේ කිසිම දෙයක් කොපි කරලා නැහැ
බිංදු බෝතලේගම කියන්නේ පසුගිය කාලය තුළ ෂෝෂල් මීඩියා වල නිරන්තරයෙන් කතා බහට ලක්වුණ චරිතයක්. මීට වසරට ගණනකට ඉහතින් ඔහු මුදා හරිනවා සමාජ මාධ්‍යට හරි අපූරැ වීඩියෝවක්. ඒ වීඩියෝවත් සමග ඔහුගේ රංගන හැකියාවට වහ වැටිච්ච ලංකාවේ ප්‍රසිද්ධ චරිත ඔහුව සොයාගෙන යනවා . ඔහු නළුවෙක් වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබනවා . කාලය ගෙවෙනවා. බිංදුට නොසිතු ලෙස මහා බාධක ගොඩක් මැදදේ වාරණයකට ලක්වීමට සිදු වෙනවා. බිංදු ගැන කාලෙකට ඉහතදි කතා බහ වුණත් පසුකාලෙකදි බිංදුව ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී යනවා. රංගන කටයුතු තහනම් කළ උසාවි නියෝගයක් නිසා වසර නවයක් බිංදුට කලා අඩවිය තහනම් වෙනවා. හැඩරුවින් ,කතාබහින් ශරීරයෙන්, නළුකමින් ,බන්දු සමරසිංහයන්ට සමාන වුණ බිංදු බෝතලේගමට එරෙහිව බන්දු සමරසිංහයන් විසින් දැමුණ නඩුවේ තීන්දුව වසර නවයකට පසුව පසුගියදා හිමිවෙනවා. මේ බිංදු ගේ කතාවයි.
බිංදුගේ ඇත්ත නම?
මගේ උප්පැන්නේ නම වෙන්නේ බෝතලේගම රණවක ආරච්චිලාගේ ජනක කුමාර. මගේ ගම ඇඹිලිපිටියේ සෙවනගල. සෙවනගල කියන්නේ දුෂ්කර පරිසරයක් ඒ අව්වට කරකුටං වෙච්ච මම ඉස්සෙල්ලාම කොළඹට එන්නේ අවුරැදු 14- 15 දි මේසෙන් වැඩ රස්සාවට. ජීවිතේ ගෙවුණේ ඒ විදිහට.
ජනක බිංදු වුණේ කොහොමද?
කලාවට ආවට පස්සේ තමයි මගේ නම බිංදු වෙන්නේ. මම කලාවට ආපු අලුත ගොඩක් දෙනා පොඩි බන්දු කිව්වා. ලෝකල් බන්දු කිව්වා. මම එහෙමවත් බන්දු සමරසිංහ මහත්මාට අගෞරවයක් වෙනවට කැමති වුණේ නැහැ. මම ඒ නිසා බිංදු කියලා කලාව ඇතුලේ මගේ නම මම හදාගත්තා. පොඩි බන්දු කියනවට වඩා බිංදු කියනවට මම කැමතියි.
බිංදුව ජනප්‍රිය වෙන්නේ බිංදුම සමාජමාධ්‍යයට දාපු වීඩියෝවක් නිසා.
හරියට හරි . මේසෙන් වැඩ කර කර හිටපු මාව ඒ දාපු වීඩියෝව නිසා කවදාවත් කැමරාවක් ඉස්සරහට නොගිහින් තිබුණ මට නළුවෙක් වෙන්න වාසනාව ලැබුණා. ගමේ අය මම බන්දු සමරසිංහ මහත්තයා වගේ කියලා කියන්න ගත්තා. ගමේ අය මාව පොඩි පොඩි මියුසිකල් ෂෝ වලට නැග්ගුවා. ඒ වයෙ කියපු සිංදු කෑලි කරපු කියපුවා මගේ යාළුවෝ සමාජ මාධ්‍ය වල දැම්මා. ඊට පස්සේ දෙරණ නාලිකාවෙන් මාව දැකලා චතුර අල්විස් මහත්මා මාව වැඩසටහනකට ගෙන්නවා. ඒකෙන් පස්සේ මට නාට්‍ය වලට චිත්‍රපට වලට කතා කරන්න ගත්තා. ඒ විදිහට තමයි මාව ජනප්‍රිය වුණේ. මගේ රූපය, හඩ එතුමා වගේ දෙවියෝ මවපු විදිහ ඒක . ඒකට ඉතින් මං මක්කරන්නද? මම රඟපාන කාලේ බන්දු සමරසිංහ මහත්තමයා කියලා රැවටිලා මාත් එක්ක කතා කරපු අය ගොඩාක් ඉන්නවා. මම එතුමා නෙමෙයි මම බිංදු කියලා කියන්න කියන්න පිළිනොගන්න අයත් ඉන්නවා.
හැඩරුව කටහඩ පැත්තකින් තිබ්බොත් බිංදු දත ගැලෙව්වේ බන්දු වෙන්නද?
ඇත්තම කියනවනම් මගේ දත බන්දු මහත්තයා වගේ වෙන්න හිතලා කඩා ගත්ත එකක් නෙමෙයි. මගේ දත නැති වෙන්නේ පාසල් කාලේ ගඟේ නාන්න ගිහින් ගලක වැදිලා මගේ දත පුපුරනවා. පස්සේ විෂබීජයක් ගිහින් ඒ පුපුරපු දත ගලවන්න වුණා. එහෙම නැතුව මම ඒක හිතාමතා ගලවපු දතක් නෙමෙයි. අනිත් එක බන්දු මහත්තගේ නැත්තේ දකුණු දත. මගේ නැත්තේ වම් දත. මම අදටත් කියන්නේ කිසිම දේකින් මම එතුමාව අනුකරණය කරන්න ගිහින් නැහැ.
ඔය විදිහට ඉතින් රඟපාන වැඩ එක්ක ජීවිතේ හරිම සුන්දරව ගෙවුනා. අවුරුදු දෙකහමාරක් රඟපෑවා. ඩීවීඩී පනහක් විතර කළා. ෆිල්ම් දෙකක ප්‍රධාන චරිත රඟපෑවා. ඊට අමතරව රංජන් රාමනායක මහත්තයාගේ ඩොක්ටර් නවරියන්, උදයකාන්ත මහත්තයාගේ "වින්දනය”, "ඇලඩින් සහ පුදුම පහන”, "ගින්දරී", "සාජන් පුඤ්ඤසෝම 2 " තව මොණර කිරිල්ලී ෆිල්ම් එකක අවස්ථාවක් ලැබුණා. මේ දවස්වල ඒ චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. ටෙලි නාට්‍ය පැත්තෙනුත් අංකල් සෑම්, උතුම් පැතුම් කියලා නාට්ය්යක් කළා.
බිංදුට වැඩ ලැබීගෙන එනකොට නඩුවක් වැටෙනවා පහුගිය කාල සීමාවේ බිංදුට ඇත්තටම මොකද වුණේ?
ඒ හැමදේම මට සංතෝසයක් වුණා. සන්තෝසෙන් ජීවිතේ ගෙව්වා. මම ජනප්‍රිය වුණා කියලා මම වෙස් මූණක් දාගත්තේ නැහැ. මම ජීවිත් වුණේ වෙනදා වගේමයි. 2015 දි මම බන්දු සමරසිංහ මහත්මයාව අනුකරණය කරනවා කියලා බුද්ධිමය දේපල පනත යටතේ අනුකරණය කිරීම සම්බන්ධයෙන් එතුමා මට දානවා නඩුවක් වන්දි ඉල්ලලා. එතුමාගේ බුද්ධිමය දේපලක් මම මංකොල්ලා නොකාපු නිසා උසාවියට ඔප්පු කරන්න සාක්ෂියක් නැති වුණා. පස්සේ නිශ්පාදකවරුන්ටයි, අධ්‍යක්ෂකවරුන්ටයි නඩු දැම්මා මාව යොදාගෙන එතුමාට පහර ගහන්න හදනවා කියලා. මම ඉතින් බලාගෙන හිටියා. මගේ සියළු රංගනයන් තහනම් කරන්නත් වාරණ නියෝගයක් ගෙනාවා. මම බන්දු මහත්තයාගේ කිසිම දෙයක් කොපි කරලා නැහැ. ඒ නිසා නඩුව දිනයි කියන විශ්වාසය මට තිබුණා. මම එයා වගේ කියලා මට ප්‍රෙක්ෂකයෝ ආදරය කරනවා. හැබැයි මම එතුමාව අනුකරණය කරලා නිර්මාණ වලට දායක වුණේ නැහැ.
ගෙවුණ අවුරැදු 9 බිංදු මොකද කළේ?
අවුරුදු නමයක් මම ගතකළේ දුෂ්කර කාලයක්. මම ඉගෙන ගෙන නැහැ ලොකු රස්සා කරන්න. උසාවි නියෝගයත් එක්ක රංගනයට අවස්ථාව නැති වුණ ගමන් නැවත ජීවිත් වීමට මම මගේ සුපුරුදු මේසන් වැඩ රස්සාව, ටයිල් වැඩ, කුලීවැඩ කළා. ගොවිතැන් කළා ගමට ගිහින්. ඒ කාල සීමාව ගැන දුකක් නෑ කියන්න බැහැ. ඒ ගෙවිලා ගියේ මගේ හොඳම කාලය. . හැබැයි මම ඒ ගැන දුක්වෙන්නේ නැහැ.
ආයේ කලාවට එන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
මම කිසිම දෙයක් අතෑරියේ නැහැ. මම අල්ලගෙන හිටියා. අවුරුදු නවයකට පස්සේ ජනවාරි 4 වෙනිදා නඩුවෙන් මාව නිදොස් කොට නිදහස් කළා. මම දැන් නිදහස් මිනිහෙක්. දැන් ටික ටික නිර්මාණ ලැබෙමින් තියෙනවා. නඩුව දිනපු දවසේ ඇත්තටම මට ලොකු සතුටක් දැණුනා. කවදාහරි සත්‍ය ජයගනී කියලා. හැමෝම මට කිව්වේ මම බන්දු වෙන්න යනවා, බන්දු මහත්තයාව අනුකරණය කරනවා කියලා. මගේ කතාව ඇත්ත කතාව දන්නේ මමයි උඩ ඉන්න දෙයියොයි විතරයි. කොහොම වුනත් මගේ අමාරු කාලේ මට වචනයකින් හරි ශක්තිය වුණ මම වෙනුවෙන් කතා කරපු හැම කෙනාටම ස්තූති කරනවා. දැන් මම නැවත ඉදිරියේදී රංගනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නීති ප්‍රශ්න තිබුණ නිසා ගොඩක් දෙනා මාව නිර්මාණ වලට ගන්න බයෙන් හිටියා. නමුත් දැන් මම ඒ සියළු වාරණයන්ගෙන් නිදහස්. නැවත අධ්‍යක්ෂවරැන් සමග වැඩ කරන්න ලැබුණොත් එය මට විශාල අවස්ථාවක්.
බන්දු සමරසිංහ මහත්තයාව දවසක් හරි මුණ ගැහිලා කතා කරලා තියෙනවාද?
නැහැ. එතුමා මා එක්ක කතා කරන්නේ නැහැ. හැබැයි මගේ හිතේ එතුමා ගැන තරහක් වෛරයක් එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි මේ ඉන්න ටික කාලයට මොන තරහ මරහද, ජීවත් වෙන්න අපිට ඕන සතුටයි ආදරයයි විතරයි.
නදීශා අතුකෝරළ