මම පරම්පරා තුනක රංගන ශිල්පිනියන් එක්ක පෙම් චරිත කරලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්න පෙරේරා, නිතරම දකින්න නම් ලැබෙන්නෙ නැහැ. හැබැයි ඉතින් තවමත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට වගේම සිනමාවට ඔහු සිහින කුමාරයෙකි. ඒ සිහින කුමාරයාට ආදරය කරන බොහෝ දෙනාට හෙට අනිද්දා සිට දිවයින පුරා සිනමා ශාලාවල දී ඔහුව හමුවන්නට පුළුවනි. ඒ ඔහු විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින්, ප්‍රධාන චරිතයකට දායක වන ‘‘යුගාත්‍රා’’ සිනමා නිර්මාණය ඔස්සේය. මේ කතාබහ ඒ ආදරණීය චන්න පෙරේරා රංගන ශිල්පියා සහ නිර්මාණකරුවා සමගය.

චන්න කාලයකට පස්සෙ, කොහොමද ජීවිතේ?

ජීවිතේ නියමයි, මාරයි කියලා කියන්න පුළුවනි. ඉංග්‍රීසියෙන් උත්තර දුන්නොත් GREAT (ග්‍රේට්) කියලා කියන්න පුළුවනි. 

ජීවිතේ කොහොමද කියලා කාගෙන් හරි ඇහුවම ඔය විදියට නෙවෙයි කියන්නෙ. අනේ අපොයි කියලා වැඩක් නැහැ වගේ වචන. ඒත් ඔබට මාරයි, කොහොම ද එහෙම කර ගත්තෙ ?

ජීවිතේ පරිචයක් ලබනවනෙ. තාරුණ්‍යයෙන් දැන් මැදි වයසට ළං වෙලානෙ. ඒ එක්කම අපි වෙනස් විදියට හිතන්න ගන්නවනෙ. සෑම දෙයක්ම ගැනම සුබවාදී විදියට හිතන්න සහ සුබවාදී විදියට බාර ගන්නකොට ජීවිතේ පුදුම නිදහසක් දැනෙන්නෙ. බොහෝ බැඳීම්වලින් ඈත්වෙලා ඉන්නෙ. මට තියෙන ලොකුම බැඳීම දුවලා දෙන්නනෙ. ඒ හැර බැඳීම්වලින් තොරව සුබවාදී විදියට ජීවිතය දිහා බලද්දී ජීවිතය ලස්සන වෙනවා. ඒක තමයි ‘‘මාරයි’’ කිව්වෙ. ඒකට කියන්න තියෙන හොඳම වචනය ඒක. 

ඒ නිසාම ද මේ එන්න එන්නම ලස්සන වෙන හේතුව?

ජීවිතේ එකම විදියට ගලාගෙන ගියේ නැහැනෙ. ඒ ඒ කාලවල දී විවිධ හැල හැප්පීම් වෙලා, ආයෙත් ඒවා හරි ගිහිල්ලා. ඊට පස්සේ නිදහස් වෙනවනෙ. මම මේ ලොකු විග්‍රහයක් කෙටියෙන් කියන්නෙ. අපි හැප්පෙන්නෙ කාලය එක්කනෙ. එතකොට අපි කරන්නෙ ඒ ඒ කාලවල දී අර විදියට ඉන්න ඕනෑ. මේ විදියට ඉන්න ඕනෑය කියලා වයසත් හදාගෙන ඒ වයසට ගැලපෙන විදියට ඉන්න හදන එකනෙ. වියපත්වීම කියන එක අපි බලයෙන්ම වගේ හදාගත්ත දෙයක්. ජීවිතේ එහෙම නැහැනෙ. හැම දවසක්ම අලුත්. ඒ දවස ගෙවනවා. හෙටත් තව දවසක්. එතකොට අපි ඒ දවසත් ගෙවනවනෙ. ඒකත් අලුත් දවසක්. ජීවිතේ මම  ගත කරන්නෙ ඒ විදියට. එතකොට සැහැල්ලු බවක් දැනෙන්නෙ. වයසට යනවා, කාලය ගත වෙනවා කියලා එතකොට හිතෙන්නෙ නැහැ. එහෙම හිතන්න අවශ්‍ය නැහැනෙ. බුදු දහමට අනුවත් ගත්තාම කාලය කියන්නෙ ශූන්‍යයිනෙ. මායාවක් වගේනෙ. මේ මොහොත ක්ෂණය විතරයි පවතින්නෙ කියලා ප්‍රකාශ වෙනවනෙ. ඉතින් කොහොම වුණත් ඔබ ඔය කියන විදියෙ පෙනුම තියෙනව නම් ඒක මට සතුටක්. ස්තුතියි ඒකට.

ඔබ පොත්පත් හොඳින් කියවන කෙනෙක්. වැඩිපුර කියවන්නෙ ආධ්‍යාත්මයට සම්බන්ධ කරුණු ඇති පොත් ද?

බොහෝ දුරට ඔබ හරි. කාලයක් බෞද්ධ දර්ශනය, තාවෝවාදය, හිංදු දර්ශනය ඔය විදියට එක් එක් කාලවල දී විවිධ දර්ශනයන් ගැන ලියැවී ඇති පොත් කියෙව්වා. ක්වොන්ටම් වාදය ගැන කියෙව්වා. ලෝකය ගැන සහ මොනවද වෙන්නෙ කියන දේ ගැන දැන ගැනීමට ඇති කුතුහලය නිසා ඒ සම්බන්ධ පොත පත තමයි කියෙව්වේ.

චන්න, අපි රංගනය ගැන කතා කළොත් ටෙලිනාට්‍යවලට කැමතිම නැද්ද ?

අකමැත්තකට වඩා දීර්ඝ කාලයක් විකාශය කෙරෙන නාට්‍යවල රඟපාන්න අකමැතියි. මොකද ඒ විදියට රඟපාද්දී මටත් එපා වෙනවා. ප්‍රේක්ෂකයන්ට වුණත් එපා වෙනවනෙ. කොටස් පණහක – හැටක වගේ නාට්‍යයක මට මගේ හදවතට දැනෙන චරිතයක් ලැබුණොත් කරනවා. අන්තිමට මම රඟපෑවෙ 2016දී විතර විකාශය වූ ‘‘රතු අහස’’ නාට්‍යයේ. ඒකට මම සම්මානත් ලැබුණා. එහෙමයි කියලා මිනිස්සුන්ගේ ආදරය අඩුවෙලා නැහැ. ඒක මම සසරේ ගෙන ආ පිනක් වෙන්න ඇති. වසර තිහකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා. මිනිසුන්ගේ ඒ ආදරය මට අඩුවෙලා නැහැ. ඒ වගේම මම ඒක අවභාවිතා කරලත් නැහැ. ඒ නිසාම වෙන්නැති මිනිස්සු මට ආදරේ. චිත්‍රපට – ටෙලිනාට්‍ය කියලා මම වෙන් කරගෙන නැහැ. දැනෙන – හැඟෙන දීර්ඝ නොවූ ටෙලිනාට්‍යයක් ලැබුණොත් බාරගන්නවා.

යුග්‍රත්‍රා ෆිල්ම් එකේ ඔබගේ චරිතය, අධ්‍යක්ෂණය ගැන සහ ෆිල්ම් එක ගැනත් කතා කරමු?

මේ වන විට චිත්‍රපට 5ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මේක මගේ හතරවැන්න. ෆිල්ම් කරද්දී මට නිතරම අවශ්‍ය වුණේ උඩුගං බලා යන්න වෙනසකින් කරන්න. මේකත් ආත්ම දෙකක් ඔස්සේ දිවෙන ආදර කතාවක්. මනෝමය ත්‍රාසජනකයන් රැගත් තේමාවක්. මෙහි උඩු පෙළ ගැන කතා කළොත් සරල සුන්දර, ආදරය, හදවතට දැනෙන කතාවක්. යටිපෙළ ගත්තාම ලෝකය කියන්නෙ හීනයක්, මායාවක් නම්, අපේ හිතේ ඇදෙන දෙයක් නම් ඒ ශූන්‍ය වූ හිස් ලෝකයේ මවාගත් දේ තමයි අපි දකින්නෙ. ඇත්තම කිව්වොත් ජීවිතය කියන්නෙ මායාවක්. සිහිනයක් වගේනෙ. ඒ යථාර්ථය කියැවෙන්නෙ. ඒත් දර්ශන හෝ සංකල්ප බලන්න නෙවෙයි. මිනිස්සු එන්නෙ. ඒ නිසා ලස්සන ආස්වාදජනක, වින්දනීය විදියට මිනිස්සුන්ට නරඹන්න පුළුවන් විදියෙ ෆිල්ම් එකක් යුගාත්‍රා අප්‍රේල් 20 වැනිදා ඉඳලා EAP සිනමා ශාලාවල යුගාත්‍රා නරඹන්න පුළුවනි.

යුගාත්‍රා ෆිල්ම් එක හදන්න වෙච්ච මහන්සිය මොන වගේ ද?

මෙහි රූගත කිරීම් නිම කරන්න අවුරුදු දෙකක් වගේ කාලයක් ගත කළා. ලංකාවේ ලස්සනම, සුන්දරම පළාත්වල රූගත කළේ. ඒ වගේම හරිම දුෂ්කර වුණා. අධික ශීතලේ, විශේෂයෙන්ම මස්කෙළිය වගේ ප්‍රදේශවල වැස්ස එක්ක ෂූට් කරද්දී ඒක අපි හැමෝටම අධික වෙහෙසකර අවස්ථාවක් වුණා. මාෂි සිරිවර්ධන ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයකින් පෙම්වතිය ලෙස හඳුන්වා දෙන්නේ මේ චරිතයෙන්. ඊට අමතරව අසංක් ද සිල්වා මීට පෙර රඟපාලා තිබුණෙ රෂ් ෆිල්ම් එකේ විතරයි. ඇය යුගාත්‍රා ෆිල්ම් එකේ සුවිශේෂී චරිතයක් රඟපානවා. මේ දෙන්නා සිනමාවට අලුත් කියන්න බැරි විදියට ඉතාම ප්‍රවීණ විදියෙ රංගනයන් ඉදිරිපත් කරන්නෙ. ඊට අමතරව නදීකා ගුණසේකර මහත්මිය සෑහෙන කාලෙකට පසු ඉතා අපූරු චරිතයක් රඟපානවා. සනත් ගුණතිලක අයියා ප්‍රබලම චරිත රංගනයක යෙදෙනවා. ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රවීණයාත් ඉතාම ආකර්ශනීය චරිතයක් රඟපානවා. ඒ වගේ මේ ෆිල්ම් එකෙන් ප්‍රථම වතාවට මර්වින් පෙරේරා කියන නවකයා මම හඳුන්වලා දෙනවා. දිනේෂ් සුබසිංහ තමයි මෙහි සංගීතය කරන්නෙ. අනිවාර්යයෙන්ම ඔහුට මෙහි පසුබිම් සංගීතයට සම්මානයක් ලැබේවි. එච්චරටම විශිෂ්ඨ තේමා සංගීතයක්. උරේෂා රවිහාරි, සෙනහා රණසිංහ, සංඛ දිනෙත් ගායනය කරනවා.

ඔබටත් ගීතයක් ගයන්න තිබුණනෙ? මොකද ඔබට හොඳ ගායන හැකියාවකුත් තියෙන නිසා?

මෙහි ගීතයක් රචනා කළා. ඒත් චිත්‍රපට පසුබිම් ගායනය කියන්නෙ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රගුණ කරලා කළ යුතු දෙයක්.

අධ්‍යක්ෂවරයකු ලෙස මේ චිත්‍රපටය කරද්දී ඔබට අනෙක් කළ චිත්‍රපටවලට වඩා අසීරු වුණා ද? නැතිනම් මොන වගේ ප්‍රයත්නයක් ද දැරුවෙ ?

අධ්‍යක්ෂණය කරමින් රඟපෑම ලෙහෙසි දෙයක් නම් නෙවෙයි, මේකෙ නිෂ්පාදකවරු ඉන්නෙ පිටරටවල. ඉසුරු විජේසිංහ, ජානක ඉදිරිසූරිය, ශ්‍රියානි සේනානායක නිෂ්පාදනයෙන් දායක වෙනවා. ඒ නිසා ඒ කටයුතු සංවිධාන කටයුතු කරන්නත් සිද්ධ වුණා. ඒ නිසා අධ්‍යක්ෂණය කරමින්, රඟපාමින්, නිෂ්පාදන කළමනාකරණය කරමින් දායක වීම ඉතා අසීරු කටයුත්තක්. ඒක වෙහෙසකර කටයුත්තක් වුණත් මම ඒ අභියෝගය ජයගත්තා. මම ෆිල්ම් කරන්නෙ නිෂ්පාදකවරු අමාරුවෙ දාන්න නෙවෙයි.

යුගාත්‍රා ෆිල්ම් එකෙන් ඔබගෙ චරිතය ගැනත් කියමු ?

මෙහි ආත්ම දෙකක චරිතයක් රඟපාන්නෙ. පළමු ආත්මයේ, විසල් ජයසූරිය නම් ගෘහ නිර්මාණ ශිල්පියා. ඊළඟ ආත්මයේ සාගර දිද්දෙණිය. වෙනස් ස්වරූපයේ චරිත දෙකක්. ත්‍රාසය, කුතුහලය එක්ක අවසානය දක්වා නිගමනය කළ නොහැකි ලෙස කතාව ගලා යන්නෙ. අධ්‍යක්ෂණය කරමින් මේකෙ රඟපෑම මට අභියෝගයක් වුණා.

මාෂි, මේ ෆිල්ම් එකේ ඔබගෙ පෙම්වතිය ලෙස රඟපාන අතර, අසංකිත් රඟපානවා. ඒ දෙදෙනාගේ චරිතවලට පෙම්වතාගෙ චරිතය ඔබ කරද්දී මොන විදියෙ රංගන අත්දැකීමක් ද ලැබුවේ.

මට හිතෙන විදියට මම පරම්පරා තුනක රංගන ශිල්පිනියන් එක්ක පෙම් චරිත කරලා තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට එනකොට අසංකි, මාෂි ඉපදිලාවත් නැතුව ඇති. ඉතින් කොහොම වුණත් ඒ සුසංයෝගයට රංගනයේදී ආකර්ශනයක් ප්‍රේක්ෂකයාට ගෙන දෙන විදියට රඟපෑ  වග යුගාත්‍රා නරඹද්දී ඔබට දැනේවි. ‘‘මාෂි සහ අසංකි’’ ට මගේ ප්‍රසාදය ගෞරවය හැමදාටම තියේවි. ඒ දෙදෙනා අපේ සිනමාවේ ඉතා දිගු ගමනක් යාවි.

සඳුන් ගමගේ