මම දැන් ඇමෙරිකාවට ගිහින් වසර 16ක්. මට සිංහල අමතකත් නැහැ, අපේ සංස්කෘතිය අමතකත් නැහැ
ටීෂා පෙරේරා මීට, වසර කිහිපයකට පෙරදී ප්‍රාසාංගික වේදිකාවට නැතිවම බැරි චරිතයක් විය. රන්වන් රන් මාල පලඳා, කිරිල්ලියක් වාගේ ඉගිළෙන්නට, දම් පාට හැන්දෑවේ (සොඳුරු සීතල යාමේ) ගීත සමග මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ඇය වසර ගණනාවක සිට වෙසෙන්නේ ඇමෙරිකාවේය. එහි සිට ගීත ඇල්බම් දෙකක් පමණ නිකුත් කළ ඇය මෙවර ලංකාවට පැමිණ සිටින්නේ 24 වැනිදා පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම වෙනුවෙනි. එලෙසින් පැමිණ සිටින ටීෂා සමග ඇමෙරිකාවේ ගෙවන ජීවිතය සහ අපට ඇමෙරිකාවෙන් ගත හැකි හොඳ දේ මොනවා ද කියා දැනගමු.
ටීෂා, ලංකාවට ආවේ කොච්චර කාලයකට පසුව ද?
“අවුරුදු දෙකකට පසුව.”
කොච්චර කල් වෙනවා ද ඇමෙරිකාවට ගිහින්?
“අවුරුදු 16ක් විතර වෙනවා. මේ සැරේ ආවේ ප්‍රසංගයක් තියෙන නිසා.”
කොහොම ද ඇමෙරිකාවේ ගෙවන ජීවිතය?
“ගොඩක්ම හොඳයි. සියලු සැප පහසුකම් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳම හොඳ ජීවිතයක් ගෙවන්නේ.”
ඒ කියන්නේ, ඒ විදිහට හොඳ වෙන්න හේතුව සුවපහසු ජීවිතයක් ගෙවන්න තියෙන වටපිටාව නිසා ද?
“සුවපහසුව, හොඳ කෑම බීම, නිදහස තියෙනවා. මිනිස්සු බොහෝ විට සොයන්නේ නිදහසනේ. ඉතින් ඒ නිදහස උපරිමයෙන් ගෙවන්න පුළුවන්. අපි ජීවත්වන වටපිටාවේ ඒ නිදහස, නිස්කලංක පරිසරය තියෙනවා. අසල්වාසීන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝටම ලොකු ඉඩමක් සහිත නිවසක් තියෙන්නේ. නිතරම ඒ අය දකින්නත් නැහැ. ඒක ඇත්තටම වචනයෙන් කියන්න බැරි තරමේ නිදහසක්. අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න, බලපෑම් කරන්න කවුරුවත් නැහැ. හැබැයි අසල්වාසී අපට සන්නිවේදනය කරන්න, අලුතින් මොනවා හරි වෙනවා නම් දැනගන්න අපි ගෲප් මැසේජ් එකක් හදාගෙන ඉන්නේ. හැමෝම එකිනෙකාට සහයෝගය උපකාර කරන්න කැමැතියි. හොඳම දේ කවුරුවත් ඕපාදූප හොයන්නේ නැහැ. අපි එළියට ගියත් උදව් අවශ්‍ය නම් උදව් කරන්න පැකිළෙන්නේ නැහැ. පෝලිම් කඩාගෙන කවදාවත් යන්නේ නැහැ. කාන්තාවන්ට මුල් තැන දෙනවා. කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා නම් ලස්සනයි කියන්න පැකිළෙන්නේ නැහැ. පොඩි ළමුන් දුටු විගස අපේ රටේ අය කරන්නේ ඒ ළමයා අතපත ගෑම. හැබැයි මෙහේ ඒවා තහනම්. වෛද්‍යවරයා වුණත් දරුවා ස්පර්ශ කරන්නේ අපෙන් අහලා. පොඩි ළමයකුගේ මූණ ස්පර්ශ කළාම විෂබීජ යනවානේ. ඒ වගේ අපට ගන්න පුළුවන් බොහෝම හොඳ දේ එහි තිබෙනවා. ඒ නිසා අපි හරි සැහැල්ලුවෙන්. අනික ඇමෙරිකාව කියන්නේ කාට වුණත් මොළේ තියෙනවා නම් දියුණු වෙන්න පුළුවන් රටක්.”
කොහොමද ෆැමිලි ලයිෆ් එක?
“ෆැමිලි ලයිෆ් එක බොහොම හොඳයි. අපි හරි සතුටින්. පුංචි පුතෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු හතරයි. තව අපට සුනඛ සුරතලෙක් ඉන්නවා. ලයිෆ් එක මට නම් පර්ෆෙක්ට්.”
සමහරු කියන්නේ ඇමෙරිකාව හරිම විවෘත – සංකර පරිසරයක් තියෙන රටක් කියලනේ. කොහොම ද ඔබ ජීවත්වන පළාත? ළමයින්ට සුදුසු ද?
“විවෘතයි තමයි. සංස්කෘතිය වෙනස්. ඒත් අපි ළමුන් හදන විදිහ මොන පරිසරයකදී වුණත් හරියට කළ යුතුයිනේ. මම දැන් ඇමෙරිකාවට ගිහින් වසර 16ක්. මට සිංහල අමතකත් නැහැ, අපේ සංස්කෘතිය අමතකත් නැහැ. මම මගේ දරුවාව හදන්නේ හොඳ හැදියාවක් චර්යාවක් එක්ක. ෆෝන් එක පාවිච්චි කළත් එයාට බලන්න පුළුවන් ළමුන්ගේ (කිඩ්ස්) වැඩසටහන් විතරයි. අනවශ්‍ය දේ එයාට බලන්න බැරි විදිහට මාපිය අධීක්ෂණය යටතේ ඒවා වෙන්නේ. තවම එයා පාසල් යන්න පටන්ගත්තේ නැහැ. පූර්ව ළමා විය සඳහා අධ්‍යාපනය අපි දැනට ලබා දෙන්නේ ගෙදර සිට. ගුරුවරියක් ඒ වෙනුවෙන් එනවා. වයස 6 වුණාම තමයි එයාව පාසල් යවන්න ඉන්නේ. අනික වයස 6 දක්වා ගෙදරින් ළමයාට හොඳම දේ දුන්නාම ඒ ළමයා අනාගතයේදී කවදාවත් නරක දේ කරන්නේ නැහැ. නරක වචනයක් කිව්වොත් කවුරු හරි, එයා අපට ඇවිත් කියනවා. ඇත්තටම ඇමෙරිකාවේදී ළමයින් හදන විදිහ අමාරු නැහැ. ඒක තියෙන්න අපේ අතේ.”
කොහොම වුණත් ටීෂා ඇමෙරිකාවට ගියේ සංගීතයෙන් ජනප්‍රිය තරුවක වීමේ අරමුණ ඇතිව නේද? දැන් ඒ ගමනට මොකද වෙලා තියෙන්නේ?
“මියුසික් ඇල්බම් කරන සමාගමක් එක්ක මම නිර්මාණ කරමින් හිටියේ. ඒත් බබා ලැබෙන්න හිටපු නිසා තාවකාලිකව ඒවා නතර වුණා. දැන් ආයෙත් ඒ ගමන පටන් ගන්න කටයුතු කරනවා. මෙහිදී ජනප්‍රිය වූ නිසා මම ඇමෙරිකාවට ගියේ මට මෙහිදී ලැබුණ ඒ ජනප්‍රියත්වය ඇති කියලා හිතාගෙනයි. නමුත් අහම්බයකින් මට රෙකෝඩ් ලේබලයක් වෙනුවෙන් නිර්මාණ කරන්න ලැබුණා. ඉංග්‍රීසි සිංදුවක් කරලා රිලීස් කරන්නයි මට අවශ්‍ය වුණේ. කොහොම හරි පසුව එයාලා එක්ක වැඩ කරමින් ගීත 20ක් විතර එනම් ඇල්බම් දෙකක් කළා. තුන් වැනි එක කරන්න තිබියදී තමයි බබා ලැබුණේ. දැන් එයා ටිකක් ලොකුයි. මගේ තුන් වැනි ඇල්බම් එකට යන්න කාලය හරි.”
ඇමෙරිකාවේදී ගායිකාවක ලෙස තරුවක් වෙන්න අමාරු ද?
“ඇත්තටම ඔව්. ලංකාව වගේ නෙවෙයි, ලොකු තරගයක් තියෙන්නේ. එක්කෝ රෙකෝඩ් ලේබල් එකක් එක්ක ගිවිසුම්ගත වෙන්න ඕනෑ. මාත් එහෙම කළා. ඒත් එහිදී එයාලගේ නීති-රීති මාලාවක් යටතේ ගිවිසගෙන ඒ වැඩේ දිගටම කරන්න හරි අසීරුයි. ප්‍රසංගයකදී මට ආසා කරන රසිකයින් මා ළඟට එන්න හැදුවාම එන්න දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේ නිසා එක්තරා විදිහකට කලකිරීමක් ඇති වුණේ. විවාහ වෙන්න බැහැ, ළමයින් හදන්න බැහැ, රසිකයින් එක්ක ෆොටෝස් ගන්න බැහැ. තනිකරම රෙකෝඩ් ලේබල් එක යටතේ කැප වෙලා වැඩ කරන්න වෙනවා. ඒ කොහොම වුණත් රෙකෝඩ් ලේබලයක් යටතේ නැතුව කරළියට එන්නත් බැහැ. ඒ කාරණා නිසා පැන්ඩෝරා වගේ රේඩියෝ ස්ටේෂන් එකක් සමග වැඩ කරන්නයි දැන් මගේ බලාපොරොත්තුව.”
ඇමෙරිකාවේ ජීවිතය ගත කරද්දී සැමියා විතරක් ජොබ් කරලා හරියන්නේ නැහැ නේද? හැබැයි ඔබගේ සැමියා ව්‍යවසායක චරිතයක් නිසා ඔබට ඒ ප්‍රශ්නය නැතුව ඇති?
“ඔව්. මට නම් ඒ ප්‍රශ්නය නැහැ. මගේ සැමියාට කම්පැනි දෙකක් මෙහි තියෙනවා. අපේ ෆැක්ටරීස් තියෙන්නේ ලංකාවේ. රටවල් 66කට විතර අපේ නිෂ්පාදන යවනවා. එක් කම්පැනියක වැඩ බලන්නේ මම. සතියකට දින දෙකක් විතර ගිහින් මම එහි වැඩ කරලා එනවා.”
එහි සිටින ලාංකිකයින් කොහොමද ලංකාවේ විදිහටම ද එහිදීත් ගත කරන්නේ?
“ලංකාවේ මිනිස්සු ඉතින් කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැනේ නේද? ඉතින් එක – එක විදිහයි.”
ඔබගේ විදිහ මොන වගේ ද? එහි ගත කරන ජීවිතය?
“මම හිතන්නේ මම ටිකක් වෙනස්. තව කෙනකුගේ ජීවිතය ගැන කතා කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් ඕපාදූපවලට මම ආසා නැහැ. හැබැයි කෙනෙක් මගෙන් උදව්වක් ඉල්ලුවොත් මම ඒ උදව්ව කරනවා. තව කෙනෙක් තවත් කෙනෙකුගේ වැරැදි කතා කරනවා නම් හෝ අඩුපාඩු කියන තැන්වල මම ඉන්නේ නැහැ. ඒවාට මම කැමැතිත් නැහැ. විශේෂයෙන් අපි සිටින පැත්තේ ලංකාවේ අය නැහැ.
ඒකට මම කැමැතියි. මොකද කාලය නිකරුණේ ගත කරන්න මම අකැමැතියි. ටෙක්සාස්හි සවුත් ලේක් ප්‍රදේශයේ අපි පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු 7ක් මෙහේ පදිංචියට ඇවිත්. මේ පළාත හරිම වැදගත් පළාතක් කිව්වොත් හරි. කලින් සිටි මේරිලන්ඩ් ප්‍රදේශයේ මිනිස්සුත් මෙහි සිටින මිනිස්සු වගේම හරිම හොඳයි. එහිදීත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අනෙක මෙහේ අපේ වැඩ තනියම අපිමනේ කරගන්නේ. පුතාට උගන්වන කෙනා උදේට ඇවිත් සවසට යනවා.”
පුංචි පවුල වුණාම පාළුවක් දැනෙන්නේ නැද්ද?
“මම හිතන්නේ එහෙම ඉන්නකොට පවුලේ බැඳීම වැඩියි. මායි මහත්තයයි අපේ පුංචි පුතයි, සුනඛ සුරතලයි. ඉතින් අපි හතර දෙනා හොඳටම ඇති මේ ගෙදරට. අනෙක කට්ටිය ගොඩක් එක්ක ඉන්නවාට වඩා තනියම ඉන්න තමයි මම වැඩිපුර ආසා. එතකොට හරි නිදහස්. ටීවී බලනවා, මියුසික් අහනවා. එතකොට පාළු නැහැ. මියුසික් ලස්සන නම්, අරුතක් තියෙනවා නම් ඒවා තමයි මම වැඩිපුර අහන්නේ. රැප් මියුසික් අහන්නේම නැති තරම්. ඒවායේ වචන හොඳ මදි. ළමයි එක්ක ඒවා අහන්නත් හොඳ නැහැ.”
ලංකාවේ කලාකරුවෝ ද වඩා එකමුතු? එහේ සිටින කලාකරුවෝ ද?
“ඇමෙරිකාවේ සිටින කලාකරුවෝ එකමුතුයි. එහේ අය එක්කෙනෙක් කපා ඉදිරියට එන්නේ නැහැ. එකිනෙකා කෙරෙහි ඇති ගරුත්වය ඉහළයි.”
පිටරටවල වෙසෙන බොහෝ ලාංකිකයින් මොන ප්‍රශ්නය තිබුණත් ලංකාවට එන්න බලාගෙන ඉන්නේ? ටීෂා අද ලංකාවේ දකින වෙනස මොකක් ද?
“ලංකාව මගේ රට නිසා මම ගොඩාක්ම ආදරෙයි. ඒ වුණාට එදා අපි ජීවත් වූ රට ද මේ කියලා හිතෙන තරමට ලංකාව පිරිහිලා. සංස්කෘතිය කියන දේ හොයා ගන්න බැරි තරම්. ඉස්සර අපි කලාකරුවෝ එකිනෙකාට හරියට ගරු කරගත්තා. කාගේවත් චරිත ඝාතනය කළේ නැහැ. අදත් අපි එහෙමයි. ඒත් ලංකාව දියුණු වෙනවා කියලා අද ලංකාවේ සමහර අය කරන්නෙ සංස්කෘතිය විනාශ කර දැමීම කියලයි මට හිතෙන්නේ. ලංකාවේ සමහර ගැහැනු ළමයි අද බොනවා. ගීත විකෘති වෙලා. ඒ සියලු දේ දිහා බලද්දී මට මේ සැරේ මෙහේ ආවාම හරි දුකක් ඇති වුණේ. අපි දියුණු වෙනවා කියන්නේ මේවාට නෙවෙයි. සැබෑ දියුණුව කියලා කියන්නේ මනසින් දියුණු වීමටයි.
එෆ්.එම්. චැනල් එකක සිංදුවක් ඇහුවොත් තනිකරම කියන්නේ වැඩි හරියක්ම හරසුන් වචන. අනාගත පරපුර අහන්නේ මේවානේ. ගෙදරදී කියන්නේ, පාසලේදී කියන්නේ මේ ගීතනේ. මේවා දකිද්දී ලංකාව ගැන හරියට කලකිරිලා ඉන්නේ.
සඳුන් ගමගේ